2025දී මත්තල ගුවන් තොටට වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක්….

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2025 වසර තුළ වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත් වී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.

2013 වසරේ ගුවන්තොටුපොළ ආරම්භයෙන් අනතුරුව වාර්තා වූ ඉහළම ගුවන් මගී සංචලන සංඛ්‍යාව මෙය වන අතර, 2025 වසර තුළ ගුවන් මගීන් 140,614 දෙනෙකු මෙහෙයවීමට හැකි වී ඇති බව එම සමාගම සඳහන් කරයි.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ දත්ත අනුව, 2025 වසර තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවීමටද හැකි වී ඇත.

එමෙන්ම පසුගිය වසර තුන පුරා මත්තල ගුවන්තොටුපොළ ගුවන් මගී හැසිරවීමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වෙයි.

නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්තල ගුවන්තොටුපොළ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන හේතුවක් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පෙන්වා දෙයි.

අතීතයේදී මත්තල ගුවන් තොටුපොළ ආශ්‍රිත වනජීවී ගැටලු හේතුවෙන් ආරක්ෂක කරුණු මත ගුවන් සමාගම් මෙහි ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වා තිබුණි.

එම ගැටලු විසඳීමට නව රජය ගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 2025 වසරේදී ගුවන්යානා පැමිණීමේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිළිබඳ විශ්වාසය පළ කරමින් 2025 වසර තුළ යුරෝපය, මැදපෙරදිග සහ දකුණු ආසියාව සම්බන්ධ කරමින් ගුවන්සමාගම් කිහිපයක් මෙහි ගුවන් වාර ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව රුසියාවේ Red Wings, බහරේන් හා පාකිස්තානයේ සිට SkyUp, ඩුබායි සිට Fly One, උස්බෙකිස්තානයේ සිට Centrum Air සහ Uzbekistan Airways, බල්ගේරියාවේ සිට Bulgaria Air යන ගුවන් සමාගම් මත්තල දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම බෙලරූස්හි මින්ස්ක් නගරයෙන් Belavia ගුවන් සේවය 2025 වසරේදී ප්‍රථමවරට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමද විශේෂත්වයකි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දේශීය සංචාරක ගමනාන්ත රැසකට පහසුවෙන් ළඟා විය හැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහාද එය වැදගත් භූමිකාවක් ඉටු කරයි.

එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින අධික තදබදයට විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපොළ උපායමාර්ගික වශයෙන්ද විශේෂ වැදගත්කමක් දරයි.

මහජන මුදල් බිලියන ගණනක් වැය කර ඉදිකර අභාවයට යාමට ඉඩ හැර තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2025 වසරේදී වාර්තාගත ගුවන් මගී පැමිණීමක් වාර්තා කිරීම, ගුවන්තොටුපොළ පිළිබඳ නව බලාපොරොත්තු නංවන වැදගත් සන්ධිස්ථානයක් බවද වාර්තා වේ.

නුවරඑළියත් Agoda ගමනාන්ත ලැයිස්තුවට….

ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda වෙබ් අඩවිය මේ වසර සඳහා නම් කළ ”හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට” ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළියත් ඇතුළත් කර තිබේ.

මිලියන සංඛ්‍යාත පිරිසක් පරිශීලනය කරන Agoda වෙබ් අඩවිය, ලෝකයේ විශාලතම සංචාරක වෙබ් අඩවි අතරින් එකකි.

ඔවුන් එමගින් නුවරඑළිය හඳුන්වාදී ඇත්තේ පුංචි එංගලන්තය ලෙසය.

සෞම්‍ය කාලගුණයක් ඇති නුවරඑළිය උසස් තත්ත්වයෙන් යුතු තේ වගාකිරීම සම්බන්ධව කීර්තියක් උසුලයි.

එහි හරිත පැහැ තේ වගාවන් සහ යටත්විජිත කාලයට අයත් ගොඩනැගිලි අතර සංචාරය කිරීම තුළින් සංචාරකයින්ට වඩාත් විනෝදාත්මක අත්දැකීමක් විඳගත හැකි බව Agoda වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

Agoda කඳුකර ගමනාන්ත ලැයිස්තුවට නුවරඑළිය නගරයට අමතරව ඉන්දියාවේ ශිම්ලා කලාපයත්, එරට මුන්නාර් කඳුකරයත්, මැලේසියාවේ කැමරූන් උස් කඳුකරයත් ඇතුළත් වේ.

එමෙන්ම ඒ අතරට වියට්නාමයේ සපා කඳුකරය , ප්‍රංශ යටත්විජිත ආභාසය ලත් ඩලාත් , ඉන්දුනීසියාවේ බන්ඩුන් කලාපය මෙන්ම භූතානයේ තිම්පු පුරවරයත් ඇතුළත්ව ඇත.

භාෂා 39කින් සේවා සපයන Agoda වෙබ් අඩවිය ඔස්සේ ලැයිස්තුගත කර ඇති හෝටල් සහ සංචාරක නවාතැන් පොළ සංඛ්‍යාව මිලියන 6කට අධිකය.

ජනපති හෙට මහනුවරට….

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ආරම්භ කිරීම, වන්දි ප්‍රදානය කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට මෙන්ම පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

දිට්වා සුළි කුණාටුවෙන් තම කර්මාන්ත ස්ථාන හෝ යන්ත්‍රෝපකරණ ආදියට හානි සිදු වූ පුද්ගලයන්ට ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් මෙහිදී ලබා දීමට නියමිතය.

කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ වශයෙන් භේදයකින් තොරව ලියාපදිංචි කර ඇති සියලු ව්‍යාපාර සඳහා මෙම මූල්‍ය ප්‍රදානය ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදු කෙරේ.

එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූ පවුල් සඳහා නව නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලබා දීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ.

තමන්ටම හිමි ඉඩමක හෝ රජය විසින් ලබා දෙන ඉඩමක නිවස ඉදිකරන පුද්ගලයන් මෙම යෝජනා ක්‍රමයට අයත් වේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ නිවාස හානි වූ සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ප්‍රදානය සහ වන්දි ලබා දීම හෙට (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම, නිවාස අර්ධ හානි වූ පවුල් සඳහා කඩිනම් සහන සැලසීමේ අරමුණින් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ. නව නිවාස ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව නව නිවසක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

මේ අතර, මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ (A-009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතුද හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

එසේම, දිගු කාලයක් ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමද හෙට පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

නව විගණකාධිපති, කථානායක ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි…..

නව විගණාකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (5) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදීම සිදුවිය.

මෙරට 42 වැනි විගණකාධිපති ලෙස පත්වූ ඇය එම ධුරයට පත් ප්‍රථම කාන්තාව වේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ගැන හෙළිවූ අලුත්ම කරුණු…..

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය සම්බන්ධයෙන් අනාවරණය කරගත් කරුණු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) අධිකරණයට දැනුම් දී තිබේ.

ඇය සම්බන්ධයෙන් වන පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ, ඇය අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී පොලිස් භාරයට ගනු ලැබූ රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනාකමකින් යුත් හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය වෙනත් අයෙකුගේ නමින් තිබුණද, එය එම නීතිඥවරියට අයත් වාහනයක් බවය.

එම රථය විල්ප්‍රඩ් දිසානායක යන අයගේ නමින් තිබුණ ද, ඔහු විසින් ලබාදී ඇති ප්‍රකාශවලට අනුව අදාළ රථය මෙම නිතිඥවරිය ඇයගේ මුදල්වලින් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.

සැකකාර නීතිඥවරියට එම වාහනය මිලදී ගැනීම සඳහා මුදල් යොදා ඇත්තේ කුමන ආකාරයෙන්ද යන කරුණ පිළිබඳ විමර්ශන සිදු කරන බව දැනුම්දී ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ඇයගේ බැංකු ගිණුම්වල සංසරණය වී ඇති මුදල් ගැන විමර්ශන සිදු කරන බවද මෙහිදී අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සැකකාර නීතිඥවරිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බවත් අදාළ නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

ගනේමුල්ල සංජීව ඝාතනය සිදුකළ බව කියන වෙඩික්කරුට මෙම නීතිඥවරිය විසින් ආධාර අනුබල දී ඇතැයි පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෙඩික්කරුට අවශ්‍ය ටයි පටි 2ක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන්වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ 2ක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවටක් කරුණු අනාවරණය වී ඇති බව වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොලැබෙන ලකුණු….

වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිවන් ඔහු සඳහන් කළේ, වැටුප වැඩිවීමට පෙර පැවතියේ කිලෝ 20ක  ප්‍රමාණයක් බවය.

“වතු සේවක වැටුප සම්බන්ධයෙන් ආණ්ඩුව කියලා තියෙනවා රුපියල් 400ක් දෙන්න කියලා. මේ මාසේ 10 වෙනිදා තමයි ඒක හම්බෙන්නේ. නමුත් පඩි වැඩිකරන්න කියපු ගමන් කොම්පැනි කට්ටිය දැන් කිලෝ 20ක් ගත්ත කට්ටිය 25ක් ගෙන්න කියනවා. වත්තේ කළමණාකරුවන්ට ඕන විදිහට වත්තේ වැඩ නතර කරනවා. අද මස්කෙළියේ වත්තක 7 දෙනෙකුගේ වැඩ නතරකලා. වැඩ නතර කරපුවාම කොහොමද ජීවත් වෙන්නේ ඒ අය. ඒ නිසා මම ආණ්ඩුවට කියන්න කැමතී වහාම මේ කොම්පැනි එක්ක සාකච්ඡා කරලා මේකට විසඳුම් දෙන්න. එහෙම නැතිනම් අපිත් එකක් තරහා වෙන්න එපා අපි වෘත්තීය සමිති එකතු කරගෙන අපි උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. වැඩවර්ජන පටන් ගන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. අපි බලයේ ඉන්නකොට මේ වගේ කම්පැනිකාරයේ නැටුවේ නැහැ. කම්පැනිවලට හොඳ ලාභ තියෙනවා. කම්පැනිකාරයෝ බොරු කියන්නේ. ලාභ නැත්නම් කම්පැනි දීලා යන්න පුළුවන්නේ. ඒ බොරුව කරන්නේ. හැමතිස්සෙම ලාභ විතරයි බලන්නේ.”

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්….

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවය.

පෙත්සමේ සඳහන්වෙන්නේ, කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ වුවත්, එහි සංග්‍රහණය නිසා ඉඩම් හිමියන්ට සහ නිවාස හිමියන්ට අගතියක් සිදුවන බවය.

එමෙන්ම, අදාළ පනත් කෙටුම්පතේ අංක 01 සිට 14 දක්වා වූ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංශ 3 සහ 4 මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු චෝදනා කර ඇත.

ඒ අනුව, අදාළ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දීමට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස ඇමති විජිත හමුවෙයි…

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

අද (05) එම හමුව සිදුව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමත්‍යාංශ පවසයි.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ නිල සංචාරයකදී කළ ඉල්ලීමකට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මඟපෙන්වීම යටතේ, ගුජරාට් ප්‍රාන්තයේ තැන්පත් කර තිබූ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කළ බවය.

ගුජරාට් ප්‍රාන්ත ඉතිහාසය තුළ, පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ විදේශ රටකට වැඩම කරවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය සහ ඓතිහාසික සබඳතාව විදහා දක්වන වැදගත් සන්ධිස්ථානයක් බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවේ අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, මෙම ඓතිහාසික ධාතු වන්දනාව සංවිධානය කිරීම සඳහා ගුජරාට් ප්‍රාන්ත රජය ලබා දුන් දායකත්වයට සිය ස්තූතිය පළ කළ අතර, එය ශ්‍රී ලංකාව සහ ගුජරාටය අතර පවතින දිර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව ද පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවේදී, ඉන්දියාවේ ප්‍රමුඛතම කාර්මික මධ්‍යස්ථානයක් වන ගුජරාටය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශවයේම අවධානය යොමු විය.

ඒ අනුව, අමුල් (Amul) සහ ටාටා (Tata) වැනි ගුජරාටයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ පවතින කාර්මික සහයෝගීතාව පුළුල් කිරීම, දෙරටේ බෞද්ධ ජනතාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සහ සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවර්ධන අවස්ථා පිළිබඳව ද මෙහිදී සුබවාදී එකඟතාවන්ට එළඹ තිබේ

කළගුණ නොසැලකීම ගැන ෂම්මිගෙන් පාකිස්තානයට ලිපියක්…..

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු – පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය අප්‍රසාදය පළකර තිබේ.

ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, පාකිස්තානය  මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාදුන් සහාය අමතක කර ඇති බවය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් ඉන්දු – පාකිස්තාන තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් පාකිස්තාන රජය ඉකුත්දා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, ඉන්දියාව සමග පැවැත්වෙන එම තරගය පාකිස්තානය වර්ජනය කරන බවය.

පාකිස්තානය රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ, පෙබරවාරි  15වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙන්ම ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ද ඉහළ බලාපොරොත්තු තබා සිටි තරගයක් බවය.

එම තරගයට අවශ්‍ය සියලු වාණිජ මෙහෙයුම් සේවා සැපයුම් සහ ආරක්ෂාවට අදාළ විධිවිධාන සියල්ල සලසා අවසන් කොට තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඉන්දු – පාකිස්තාන තරගය සඳහා වන ප්‍රවේශපත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බවත්, එම ප්‍රවේශපත්‍ර සීඝ්‍රෙයන් අලෙවි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

ඉන්දු පාකිස්තාන තරගය සඳහා වෙනත් කිසිදු තරගයකට නොවූ විරූ ජනතා උද්යෝගයක් පැවතුනා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම මෙරට ආර්ථිකයටද වාණිජයමය වශයෙන් මෙම තරගයෙන් විශාල රුකුලක් සිදුවන්නට ඉඩ තිබු බවද පෙන්වා දී ඇත.

මේ නිසා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ඕනෑම තරගයක් අවලංගු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැවැන්ත මූල්‍යමය පාඩුවක් ඇති කරනවා මෙන්ම මෙරටට අපේක්ෂිත සංචාරක ආගමනයට බලපෑමක් ඇති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එම ලිපියෙන් පවසයි.

පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී සහ සංවේදී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  කිහිපවතාවක්ම පාකිස්තානයේ සංචාරවල නිරත වූ බවද ෂම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබේ.

මාලදිවයින් මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම් හමුවෙයි…

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් H.E. Masood Imad මහතා, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය.

අද (05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී එම හමුව සිදුව තිබුණි.

මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

දෙරට අතර සමීප සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන් ආරක්‍ෂක ලේකම්වරයා, මාලදිවයින සමඟ පවතින ආරක්‍ෂක සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළිත් තහවුරු කළේය.

මෙම සාකච්ඡාව සඳහා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Fathimath Ghina මහත්මිය ද සහභාගී වූවාය.