මෙරට මුහුදු තීරයේදී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව තවදුරටත් විමර්ශන….

මෙරට මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව රජයක් ලෙස තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රජා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අද (07) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ සිදුකළ පහරදීම සම්බන්ධව සොයා බැලීම සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාවට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයටද මෙම පහරදීම සම්බන්ධව සොයා බලන ලෙස අමාත්‍යාංශය දැන්වූ බවය.

මෙම පහරදීම සම්බන්ධව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කළ බවත් එහි සඳහන්ව ඇත්තේ මෙම පහරදීමට ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරලාරක්ෂක බළකාය සම්බන්ධ වි නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ සිදුවීම සම්බන්ධව තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා තවදුරටත් අමාත්‍යාංශය පියවර ගන්නා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා,

“පහුගිය දවස්වල ලංකා මුහුදු තීරයේ අපේ ධීවර යාත්‍රා දෙකකට පහරදීමක් සිද්ධ කරලා තියෙනවා.. ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා අපේ ආසන්නම රටේ ඉන්දියාවේ වෙරළාරක්ෂක බළකායෙන් පහරදීමක් කළා කියලා. අපි මේ ගැන හොයලා බලන්න ඕනේ මොකද අපි රජයක්. ඒ නිසා අපි නාවික හමුදාවටයි, විදේශ කටයුතු අමාත්‍යාංශයටයි කියුවා මේ ගැන හොයලා දෙන්න කියලා. සොයා බැලුවා, පහරදීමේ ස්වභාවය බැලුවා, පොලීසිය පරීක්ෂණ පැවැත්වුවා ඉන්දියානු මහකොමසාරිස්තුමා කිව්වා නෑ ඉන්දියානු වෙරළාරක්ෂක බළකායවත්, ඉන්දියානු නාවික හමුදාවෙන් වත් නෙමෙයි මේ දේ සිද්ධ වුණේ කියලා. නමුත් රජයක් විදිහට, අමාත්‍යාංශයක් විදිහට තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. විමර්ශනය කරන්න බාර දීලා තියෙන්නේ විමර්ශනය කරලා අපිට අවශ්‍යයි මේ රටේ ධීවර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. අපිට අවශ්‍යයි මේ සම්බන්ධව සොයලා බලලා නිවැරදි වාර්තාව ගන්න. මේක විදේශ රටකින්ද, අපේම අයද, වෙනත් කල්ලියක්ද, නිල කණ්ඩායමක්ද නොනිල කණ්ඩායමක්ද කියලා හොයලා බලනවා. ඒක තමයි අපි කරන්න ඕනේ” 

අත්අඩංගුවට ගත් සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්ට ඇප….

සිංහරාජ රක්ෂිතයේ ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.බී. දසනායක මහතා විසින් නියෝග කර ඇත.

එමෙන්ම සැකකරුවන්ට එරෙහි නඩුව මාර්තු 26 වැනි දිනට යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

සැකකරුවන් දෙදෙනා ඊයේ (06) දිනයේදී කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ළමා අපචාර දාමයකට හසුවූ එප්ස්ටීන්ගේ ලිපිගොනුවල ශ්‍රී ලංකාවේ නමත්…..

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අමෙරිකානු ජාතික එප්ස්ටීන් පිළිබඳ එරටදී ප්‍රසිද්ධ කළ නව ලිපිගොනු මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ද ස්ථාන 182ක සඳහන් වේ.

කෙසේවෙතත් ඒ කිසිදු ස්ථානයකට මෙරට තුළ ඔහුගේ වැරදි සිදුකර ඇති බවක් සඳහන් වන්නේ නැත.

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අමෙරිකාවේ වැරදිකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට අදාළ නව ලේඛන මිලියන ගණනක් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ  ප්‍රසිද්ධ කරන ලදී.

ඒ සමඟ,  මේ වන විට හෙළිවී ඇති, එප්ස්ටීන් හා සම්බන්ධතා පැවැත්වූ ලොව අතිශයින් ම ධනවත් හා බලවත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව තවදුරටත් දීර්ඝ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“එප්ස්ටීන් ලිපිගොනු” ලෙස හඳුන්වන ලද මෙම ලේඛනවල නවතම නිකුතුව ඉකුත් ජනවාරි 30 වන දින එළිදැක්වුණු අතර, එහි පිටු මිලියන තුනක්, ඡායාරූප 180,000ක්, වීඩියෝ 2,000ක් ඇතුළත්ය.

එමෙන්ම බිලියනපතියන් වන රිචඩ් බ්‍රැන්සන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කිහිපයක් ද ඊට ඇතුළත්ව තිබේ.

එම ලේඛනවලට ඔවුන්ගේ නම් ඇතුළත් වූ පමණින් කිසියම් වරදක් සිදු කර ඇති බවට ඉන් ඇඟවෙන්නේ නැත.

එවන් පසුබිමක එප්ස්ටීන් ලිපිගොනු වල ශ්‍රී ලංකාව පිළිබඳ අවස්ථා 182ක සඳහන් වේ.

එහි දැක්වෙන  ඔහුගේ ‘ලිට්ල් සේන්ට් ජේම්ස්” හෙවත් ඔහුගේ රහස් දූපත ගොඩනැගීම සඳහා  ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ අසමසම නිර්මාණ ශෛලීය ආභාසය ගැනීමට උත්සාහා දරා ඇති බවය.

අධිකරණය හමුවේ හෙළි වූ ඊමේල් පණිවුඩවලට අනුව එප්ස්ටීන්ගේ සමීපතමයෙකු වන ජූලියන් ලීස් විසින් ජෙෆ්රි බාවාගේ සුවිශේෂී ගෘහ නිර්මාණවල ඡායාරූප ඇතුළත් විද්‍යුත් ලිපියක් ඔහු වෙත යොමු කර තිබේ.

ස්වභාවධර්මය සහ ගොඩනැගිලි අතර අපූරු සංයෝගයක් ඇති කරන බාවාගේ නිර්මාණ ශෛලීය, තම දූපත තුළ ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

ජූලියන් ලීස් යනු 80-90 දශකවල ප්‍රබල බ්‍රිතාන්‍යය ආයුධ වෙළෙන්දෙකු වූ ඩග්ලස් ලීස්ගේ පුත්‍රයා වේ.

එප්ස්ටයින්ගේ ලේඛන තුළ ජූලියන්‍ගේ නම සටහන්ව ඇත්තේ හුදු මිතුරෙකු ලෙස පමණක් නොව, එප්ස්ටයින් සමග ව්‍යාපාරික සාකච්ඡාවන් සිදුකළ සමීපතම හවුල්කරුවෙකු ලෙසය.

ජූලියන් ලීස් දිර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කරගෙන සිට ඇති බවද එම වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණ වෙයි.

කෙසේවෙතත් එප්ස්ටීන් හා ජූලියන් ලීස් මෙරට තුළ කිසිඳු අපරාධ ක්‍රියාවක් සිදුකර ඇති බවක් ආදළ වාර්තාවල නොමැති අතර ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශවලට ද අනාවරණ වී නැත.

මොකක්ද මේ අලුතින් එන කුලී නිවාස නීතිය?

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ  පනත් කෙටුම්පත හරහා නිවෙස් හිමිකරුවන් බරපතළ අගතියකට ලක්වන බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරයි.

කෙසේවෙතත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ මෙම කෙටුම්පත පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවය.

කුලී සහ බදු පදනම මත නිවාස හා වෙනත් පරිශ්‍ර බාහිර පාර්ශ්ව වෙත ලබාදීම ඕනෑම සමාජයක සුලබ ක්‍රියාවලියකි.

මෙහිදී හිමිකරුවන් හා ගැනුම්කරුවන් අතර ඇතිවිය හැකි ගැටලු වැළැක්වීම සඳහා මෙම ක්‍රියාවලියට නීතිමය පදනමක් සකස් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2023 අංක 1 දරණ, ” බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ගැනීමේ විශේෂ විධිවිධාන පනත” ඇතුළු නීතිමය රාමු කිහිපයක් දැකගත හැකියි.

මෙවන් තත්ත්වයක වත්මන් ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පදිංචිකරුවන් ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැඩි කතාබහක් මතුව තිබේ.

එහි පූර්විකාවට අනුව කෙටුම්පතේ මූලික අරමුණ වශයෙන් හඳුනාගත හැක්කේ පරිශ්‍රවලින් පදිංචිකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහිව නීතිමය ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම‍ය.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත පිරිසකට හානිදායක බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කළ අතර මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා මෙය හැඳින්වූයේ යකාගේ නීතියක් ලෙසය.

මෙම කෙටුම්පතේ 2 වැනි වගන්තියට අනුව යම් පරිශ්‍රයක නීත්‍යනුකූලව රැඳී සිටින එනම්, බදු ගිවිසුමක් හෝ කුලී ගිවිසුමක් යටතේ බැඳුණු බදු ගැනුම්කරුවෙක් හෝ කුලී නිවැසියෙක් වන අයෙකුට මෙය අදාළ වේ.

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සැකසී ඇති මෙම කෙටුම්පතට අනුව පදිංචිකරුට කලින් ලබා දී ඇති ඕනෑම පහසුකමක්, අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් අත්හිටුවීම හෝ නැවැත්වීම, එවැනි සේවාවක් අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම ඉඩම් හිමියෙකුට කළ නොහැකිය.

මෙහි 4 වන වගන්තිය මගින් පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් සනාථ කර ඇත්තේ ගෙහිමියා හෝ ඔහු විසින් බලය දෙනු ලබන තැනැත්තෙකුට පදිංචිකරු එම පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිණිස සෘජුව හෝ වක්‍රාකාරයෙන් අලාභ හානි සිදුකිරීම, හැරයාම සඳහා පෙළඹවීම සිදු නොකළ යුතු බව ද සඳහන් කරමිනි.

එසේම 5 වන වගන්තියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අධිකරණ ආඥාවක් මත මිස පදිංචිකරුවෙකු පරිශ්‍රයෙන් නෙරපීම සිදු නොකළ යුතු බවය.

එමෙන්ම එවැනි ක්‍රියා සඳහා ඉඩම් හිමියකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පදිංචිකරුවකුට බලය පවරා තිබේ.

මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ද පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් අවසන් පියවරකට එළඹ නොමැති බවය.

එෂාන් වෙනුවට ප්‍රමෝද් T20 ලෝක කුසලාන සංචිතයට…..

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

2032 දක්වා වාර්ෂිකව ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණයන් මෙන්න….

ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු ණය සේවාකරණයන් සම්බන්ධයෙන් අනාවරණයක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (06) දින සිදුකළේය.

ලංකා වාණිජ මණ්ඩලය විසින් අද පෙරවරුවේ සංවිධානය කර තිබූ “Economic Growth in the AI and Digital Era” ඉසව්වේ ප්‍රධාන ආරාධිත දේශනය සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අවතීර්ණ වීමෙන් පසු සිදුකළ වැඩිම ණය සේවාකරණය 2025 වසරේ දී සිදුකළ බවත් එය ඩොලර් බිලියන 3.935ක් බවත්ය. ඊට මහ බැංකුව විසින් කළ ඩොලර් බිලියන 1.3ක හා ශ්‍රී ලංකා රජය විසින් කළ ඩොලර් බිලියන 2.6ක ගෙවීම් ඇතුළත්ව ඇත.

මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසූ පරිදි මෙම වසරේ සිට 2032 දක්වා ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව සිදුකළ යුතු විදෙස් ණය සේවාකරණයන් පහත පරිදි වේ.

වර්ෂය  – ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය (ඩොලර් බිලියනවලිනි)
2026  – 3.271
2027  – 2.537
2028  – 3.231
2029  – 3.386
2030  – 3.556
2031  – 3.493
2032  – 3.306

 

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් නිසා මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරමක් හසුවෙයි….

කටුකුරුන්ද ප්‍රදේශයේදී රාත්‍රී ආරක්ෂක රාජකාරිය යුතු සිටි න්න පොලිස් නිලධාරීන්ට සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නැවත්වීමට උත්සාහ දැරීමේදී පැදිකරු අණ නොතකා වේගයෙන් ධාවනය කිරිම හේතුවෙන් ඔහු පසුපස ලුහුබැද යාමේදී යතුරුපැදිකරු කටුකුරෙන්ද සංචාරක හෝටල් පාරේ අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී තාප්පයක වැදී අනතුරක් සිදු වී ඇත.

පිටුපසින් ලූහුබැඳ පැමිණි පොලිස් නිලධාරීන් විසින් තුවාල ලැබූ පැදිකරු සහා යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී යතුරු පැදියෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) උර 04 ක් ප්‍රවාහනය කරමින් සිට ඇති බව අනාවරණය කරගෙන ඇත. අනතුරෙන් පසු පැදිකරු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මොහු සන්තකයේ ප්‍රවාහනය කරමින් තිබූ තිබූනීති විරෝධී මත්පැන් ප්‍රමාණය මිලි ලීටර් මිලිටර් 30000 උරවල තිබී හමුවී ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කාන්තාවක විසින් හිනටියංගල ප්‍රගති මාවත ප්‍රදේශයේ නිවසක මත්පැන් නිෂ්පාදනයක් පවත්වාගෙන යාම පිළිබඳ තොරතුරු හා එදිනම තවත් ඔත්තුකරුවකුගෙන් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරු මත සිදු කළ වැටලීමේ දී සැකකාර කාන්තාවගේ නිවසේ විකිණීමට සූදානම් කර තිබූ නීති විරෝධී මත් වතුර 337400ml ආසන්න ප්‍රමාණයක් බැරල් 5ක් හා බාස්කට් තුල බාහා තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්පැන් බීමට පැමිණි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව හෙට කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරු කසිප්පු ප්‍රවාහනය
පොලිස් අණ නොතකා ධාවනය
අපරීක්ෂාකාරී රිය ධාවනය
රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිව ධාවනය යන වැරදි සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් මත ප්‍ර.පො.ප.නෙරන්ජල් ද සිල්වා ,උ.පො.අබේවික්‍රම,පො.කො. 97392 බණ්ඩාර ගෙදර , පො.කො. 106258 නිමසර ,102935 ෆෝන්සේකා ,106161 විජේසංහ,පො.කෝ.රි.103672 කාවින්ද,කා.සි.ආ.බා.නදීරා යන නිලධාරීන් විසින් සිදුකර ඇත.

ගල්පාත – චන්දන පෙරේරා

අනූෂ පැල්පිට තවදුරටත් රිමාන්ඩ්…..

අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනූෂ පැල්පිට මහතා එළැඹෙන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළේය.

අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකුද වන පැල්පිට මහතා ලබන, රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

දයාසිරිගේ නඩුවක නියෝගය කල් යයි….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන මෙන් එම පක්ෂය වෙත නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ තිබෙන නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම මේ මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (06) නියෝග කළේය.

මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු නමුත් නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 17 වනදා දක්වා කල් තබන බව දිසා අධිකරණය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මගින් මීට පෙර නියෝග නිකුත් කර තිබූ බව පැමිණිලිකාර දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබේ.

එම නියෝගයට අනුකූලව තමන්ට එම ධුරයේ බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා දයාසිරි ජයසේකර මහතා මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇත.

බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට…..

බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය හා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව ඊයේ (05) මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අලුත්ගම පාදාගොඩ විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අනෙක් පාසලේ සිසුන්ට මෙම පහරදීම සිදුව ඇති බවට මේ වන විට එම විද්‍යාලයේ ගුරුවරියක් විසින් පොලීසියට පැමිණිල්ලක්ද යොමු කර තිබේ.

සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇත්තේ අදාළ පහරදීමට ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින්ද සම්බන්ධ වී ඇති බවටය.

පොලීසිය පැවසුවේ එක් සිසුවෙකුගේ හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් එම සිසුවා ශල්‍යකර්මයකටද භාජනය කිරීමට නියමිතව ඇති බවය.

සිද්ධිය සම්බන්ධව අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.