උපරිමාධිකරණයේ තීන්දු තීරණ රටේ යුක්තිය පිළිබිඹු කරන කැඩපතක් – අගමැති හරිනි….

උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබාදෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය, අධිකරණ කටයුතු සඳහා යළි ලබාදීමේ  අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය සහ චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.

එහිදී උපරිමාධිකරණයේ මුල් පෙනුම සහ ව්‍යුහය ආරක්ෂා කරමින්, නවීන තාක්ෂණයෙන් යුතුව නව පුද්ගල, සත් පුද්ගල, පංච පුද්ගල සහ ත්‍රිපුද්ගල විනිශ්චයාසන සහිත නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා 07ක් එක්කර ඇත.

එමෙන්ම විනිසුරුවරු සඳහා නව නිල කාමර 20ක් සහ කාර්ය මණ්ඩල පහසුකම්, විදුලි සෝපාන, නවීන පුස්තකාලයක්, නඩු වාර්තා කාමරයක් සහ ශ්‍රවණාගාරයක්, සියලු ස්ථාන ආවරණය වන පරිදි ස්වයංක්‍රීය කැමරා පද්ධතියකින් යුත් අතිනවීන පාලක මැදිරියක් ඇතුළු නවීන පහසුකම් රැසකින් උපරිමාධිකරණ සංකීරණය ප්‍රතිසංස්කරණය කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,  

“1988 වසරේදී චීන රජයේ සහයෝගයෙන් ඉදිවූ මෙම සංකීර්ණය, දශක තුනකට පසු කාලීන අවශ්‍යතා මත මෙලෙස නවීකරණය කිරීම අතිශය වැදගත් පියවරක්.

අධිකරණ යටිතල පහසුකම් සඳහා කරන ආයෝජනය යනු සැබවින්ම මහජන විශ්වාසය වෙනුවෙන් කරන ආයෝජනයක්. සුරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය තවදුරටත් ශක්තිමත් වෙනවා”.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු චීන රජය ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ අග්‍රාමිත්‍යවරිය, යුක්තිය සැමට සමානව ඉටුවනු ඇතැයි යන මහජන අපේක්ෂාව ඉටු කිරීමට මෙම නවීන පහසුකම් පිටුවහලක් වනු ඇතැයි ද විශ්වාසය පළ කළාය.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අගවිනිසුරු පද්මන් සූරසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී  ෂෙන්හොං, නීතිපති පරින්ද රණසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සහභාගී වූහ.

වළලු දැමූ අත්වලින් ටිකට් කඩන CTBය…..

ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී අද සිදුකෙරුණි.

ඒ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙනි.

පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇදුමක් ද මෙහිදී හඳුන්වා දී තිබේ.

රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂය ඉක්මවූ කුෂ් මත්ද්‍රව්‍ය සමග අයෙකු කටුනායකදි කොටුවෙයි….

රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපළින් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන අබුඩාබි නුවර දක්වා රැගෙන විත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 642ක ප්‍රමාණයක් තිබී ඇති අතර එය පැකට් 4ක් ලෙස සකස් කර ගමන් මල්ලෙහි සඟවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත 28 හැවිරිදි අයෙකු බවත් වාර්තා වේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්….

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/ 2024  දරන පනත සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දී තිබේ.

මන්ත්‍රීවරයා විසින් ඊයේ (05) පාර්ලිමේන්තු මහලේකම් කුෂානි සේනාධීර මහත්මියට මීට අදාළ පනත් කෙටුම්පත භාර දී ඇත.

මෙම සංශෝධනය තුළින් සමාජ මාධ්‍ය වේදිකා තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබේ.

සමාජ මාධ්‍යවලට ළමුන් පිවිසීම, ළමුන් ඉලක්ක කරගතත් දැන්වීම්කරණය ආදී අංශ පිළිබඳව සංශෝධන මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගතව ඇත.

මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්…..

දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා විනයකින් යුතුව පවත්වාගෙන යමින් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය මැයෙන් අද (06) කොළඹදී පැවැත්වුණු සමුළුවක් අමතමින්.

අතිරේක වියදම්, රජයේ ණය ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑම් කරන බවට විවාදයක් පවතින නමුත් පසුගිය වසර කිහිපයේ පැවති යහපත් ආදායම් උපයාගැනීම සහ මූල්‍ය විනය හේතුවෙන් රජයේ බැංකු දෙකෙහිම රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් පවත්වාගැනීමට හැකිව ඇති බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික අර්බුදයට පෙර රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක හිඟයක් පැවතියත් එය දැන් අතිරික්තයක් බවට පත්ව ඇති අතර මෙවන් ආර්ථික පීඩනයකට මුහුණදීමේදී එම මුදල් ප්‍රයෝජනවත් වූ බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙම ඉතුරුම් නිසා රජයට තවත් ණය ගැනීමට සිදු නොවුණු බවත් මෙම වසර තුළ බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනංවා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

උද්ධමනය මේ වනවිට 2%කට ආසන්න අගයක පවතින අතර සිය ඉලක්කය වන්නේ උද්ධමනය 5%ක මට්ටම ඉක්මවායාමට නොදී පවත්වාගැනීම වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

”දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට කැපී පෙනෙන හානියක් සිදුව තිබෙනවා. නමුත් එම හානිය අපේක්ෂා කළ තරමට වඩා අවම අගයක්. ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පවා වරෙක පැවසුවා එම හානි තක්සේරුව අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් කියලා. රජයට ඊට වඩා සියුම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව නැවත ගොඩනැගීමේ වියදම බොහෝදුරට අපේක්ෂා කළ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. දිට්වා හි බලපෑමෙන් ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්න පුළුවන්. එම සංඛ්‍යාලේඛන නුදුරේදි ලැබෙයි. ලබන වසරේ සිට අපේක්ෂිත ලෙස 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න හැකිවෙයි…

2028දී නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමට හෝ කඩාවැටීමක් සිදුවෙයි කියලා කියනවා. රජයට සේවා වියදම් ගෙවීමටත් නොහැකි වෙයි කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. අපිට ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට යන්න වුණේ අපි ඉතිහාසයේ කවදාවත් ඩොලරයක් වත් ණය නොගෙවා ඉඳලා නැති නිසා.2025 වසරේදි අපේ සංචිත භාවිත කරලා අපි ඩොලර් මිලියන 3,934 ගෙවා අවසන් කළා. මේ වගේ වැඩකට නැති කතා නිසා සිදුවන්නේ ආයෝජකයින්ගේ මනසේ රට ගැන අනවශ්‍ය සැකයක් ඇතිකරන එක. තවත් පිරිසක් කියනවා දිට්වා හානිය නිසා අපි ණය ගෙවන එක නවත්වන්න ඕන කියලා. මේ වගේ දේවල් ගැන තර්ක කරන්නේ ආර්ථිකය යළි කඩාවැටෙනවට කැමති අය වෙන්න ඕන. රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා. ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ගිණුම්වල මුදල් තිබියදී හරියට ස්වෙච්ඡාවෙන්ම ණය පැහැරහරින්නෙක් වගේ අපි ගිහින් කියනවා නම් අපි නම් ණය වාරික ගෙවන්නේ නැහැ කියලා, එවන් රටවල කවුරුත් නැවතත් ණය ලබාදෙන්නේ නැහැ. සමහරු කියන්නේ නිසි දැනුමක් නැතිව, සමහරු මේවා කියන්නේ ආර්ථිකය කඩා වැටෙයි කියලා බලාගෙන. මම හේතුව දන්නේ නැහැ.”

මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ….

මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර – යාපනය මාර්ගයේ මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු විය.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 699.6ක වියදමින් ඉදි කෙරෙන මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් අද සිට දින 273ක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.

උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කරමින් නිලධාරින් සමග කෙටි සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා එම ස්ථානයට රැස්වී සිටින ජනතාව සමඟ ද සුහද කතා බහක නිරත විය.

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට….

සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව මොවුන් අත්අඩංගුව ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේය.

වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීමට එරෙහිව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඕලුගලගේ තැන වැඩබලන්න කේ.සී. ආරියවංශ පත් කෙරේ….

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මහතා පත් කර තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට රාජකාරි නිවාඩු ලබාගෙන සිටින සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා යළි රාජකාරි කටයුතු සඳහා පැමිණෙන තෙක් කේ.සී ආරියවංශ මහතා එම ධුරයේ වැඩබැලීමට පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මහතා මධ්‍යම මේ වනවිට අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී කරනු ලබයි.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධව අමාත්‍යාංශයෙන් නිවේදනයක්…..

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින 2023.02.10 දිනට වයස අවුරුදු 45ට නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවය.

අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පහත සඳහන් කාණ්ඩ යටතේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්,
  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ 2023.02.10 දිනට පසු රාජ්‍ය සේවයේ පත්වීම් ලබා මේ දක්වා සේවයේ නිරත වන නිලධාරින්,
  • 2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කර 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නිරත වුවද මේ වන විට විධිමත් අනුමැතියකින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති නිලධාරීන්,
  • 2023-02-10 දිනට වයස අවුරුදු 40ට අඩු, ඒ වන විටත් රාජ්‍ය සේවයේ තනතුරක් දරන ගැසට් නිවේදනය අනුව 2023-02-10 දිනෙන්  පසු උපාධි සුදුසුකම ලැබූ රාජ්‍ය නිලධාරින්,

2023.01.27 දින පලකරන ලද අංක 2317 දරණ ගැසට් නිවේදනය මඟින් දැනටමත් අයදුම්පත් යොමු කළ අය මේ වන විටත් රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම්, මෙම ගැසට් නිවේදනය පරිදි නැවත අයදුම් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හා එම පෙර අයදුම්කළ අයදුම් පත්‍රයේ සඳහන් දුරකථන අංකය, ජාතික හැදුනුම්පත් අංකය, ලිපි ලැබෙන ලිපිනය සංශෝධනය වී ඇත්නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ යොමු ඔස්සේ ඉල්ලීම් ඉදිරිපත් කර එම සංශෝධන සිදු කිරීමටත් අයදුම්පත්‍රය භාගත කර ගැනීමටත් අවස්ථාව සලසා දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම ගැසට් නිවේදන සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා (සිංහල – 0112-784819/ 0112-785634/ Hotline 1988)  – (දෙමළ – 0112-785634), (ඉංග්‍රීසි – 0112-785258/ 0112-784819/ 0112-787399) – (වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා) ඇමතීමෙන් ලබා ගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

මහරගම නගර සභාවේ උණුසුම් තත්ත්වයක්…..

මහරගම නගර සභාවේ අද(06) පැවති රැස්වීම මාතෘකා දෙකක් යටතේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

නව රජය පත්වීමෙන් පසුව කොට්ටාව සහ තලවතුගොඩ යන ප්‍රදේශ දෙකට සුරාසැල් දෙකක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් මෙලෙස  මහරගම නගර සභාව රැස්වීම උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ පාඨ කියමින් සභාවාරය අතරතුරදී විරෝධතාවයේ නිරත වී ඇත.

මේ අතර, මහරගම නගර සභාවේ සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය සභාපතිවරයා හමුවීමට පැමිණ මහජනයාට සැර පරුෂ ලෙස කතා කිරීම සහ මාලිමාවේ ලැයිස්තුවේ සිටි මන්ත්‍රීවරියක් මහරගම නල්ලවත්ත ප්‍රදේශයේ මාර්ගයක් අත්පත් කර ගැනීමට යාමේදී අපේ ජනාධිපති අපේ ආණ්ඩුව අපේ අගමැති හොඳින් හෝ නරතින් මේ පාර පළල් කරලා පවරගන්නවා යැයි පවසා තිබේ.

මෙම කරුණුවලට විරෝධය පළ කරමින් කළු පටියක් පැළඳ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා අද මහරගම නගර සභාව රැස්වීමේ  විරෝධතාවයක නිරත වී ඇත.