ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනයේ නීතිරීතිවලට ශ්‍රී ලංකාව අනුකූල නෑ – WADA….

ජාත්‍යන්තර උත්තේජන මර්දන නියෝජිතායතනයේ (WADA) මෙහෙයවීමෙන් පැවැත්වෙන කිසිදු වැඩසටහනකට සත්කාරකත්වය ලබාදීම හෝ එහි නිළතල දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තහනම් උත්තේජ මර්දන නියෝජිතායතනයට (SLADA) තහනම් කර තිබේ.

අද (20) බලපැවැත්වෙන පරිදි මෙම තීරණය බලපැවැත්වේ.

නිවේදනයක් නිකුත්රමින් WADA සඳහන්කර ඇත්තේ, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූලව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යාතනයේ වැඩකටයුතු සිදු නොවන බවය.

ලෝක උත්තේජක මර්දන ඒජන්සියේ ස්වාධීන අනුගතවීම් ඇගයීමේ කමිටුවේ නිර්දේශ මත පරීක්ෂාවෙන් පසුවිය යුතු රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව මෙම වසරේ ඉකුත් මාර්තු මාසයේ දී ඇතුළත් කෙරුණි.

කෙසේ වෙතත් නිරීක්ෂණ කාලය අවසන් වූ පසුගිය ජුනි 29 වනදා වනවිටත් ශ්‍රී ලංකාව ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට අපොහොසත්වී ඇති බව  WADA සිය නිවේදනයේ සඳහන්කර ඇත.

ඒ හේතුවෙන් මෙරට උත්තේජක මර්දන නියෝජ්‍යාතනය, ලෝක උත්තේජක මර්දන ඒජන්සියට අනුකූල නොවන ආයතනයක් ලෙස නම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.

මෙහි ප්‍රතිඵලයක් මත ශ්‍රී ලංකාවට ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය මගින් සංවිධාන කරන වැඩසටහන් සඳහා සහභාගීවීමට අවසර හිමි නොවන අතර, අරමුදල් ලබාදීම ද තාවකාලිකව නතරවනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියෝජ්‍යාතනය ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීම වසරකට අධික කාලයක් තවදුරටත් ප්‍රමාද කළහොත් ඔවුන්ට කලාපීය, මහාද්වීපික හෝ ලෝක ශූරතාවලියේදී මෙන්ම ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි රැසකට සිංහ ධජය යටතේ යටතේ තරගකිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිනොවනු ඇත.

ශ්‍රී ලංකාවට අමතරව රුසියාවට ද මෙම තහනම පනවා තිබේ.

යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී….

‍යාපනය,කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී ඇත.

කොඩිකාමම් පොලීසිය පවසන ලද්දේ වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ(19) මෙලෙස පතරොම් සහිත බෑගයක් හමුව ඇති බවයි.

අදාළ පතරොම් දිරාපත්ව පැවති අතර,යුද සමයේ කිසියම් පිරිසක් විසින් මෙම පතරොම් ළිඳට දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

හමුවු පතරොම් සහිත බෑගය යාපනය,චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම පතරොම් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය කලින්ම එයි….

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් බස්නාහිර පළාත තුළ හෙට සිදුකිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (20)  උදෑසන 8ට ගම්පහ මහ රෝහලේ දී හදිසියේ ආරම්භ කර තිබේ.

අද උදෑසන ගම්පහ දිස්‍ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා, පරිපූරක වෛද්‍ය වෘත්තීය නිලධාරීන්ට අත්සන් තැබීම සිදුනොකරන ලෙසට උපදෙස් ලබාදෙමින් නිකුත් කර තිබූ ලිපියක් හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු නිලධාරීන් ගම්පහ රෝහලේ සියලු රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, ඔහු ඊට නිසි පිළිතුරක් ලබාදීමට මේ වනවිටත් අපොහොසත් වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මීට පෙර පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට (21) දිනයේ සිට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණි.

බරපතළ විෂමතාවයන් සහිතව සහ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීමත් සමග ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබුණි.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තික කණ්ඩායම් 07ක් සම්බන්ධ වන අතර වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සියලු වෘත්තිකයන් විසින් සිදුකරන විකිරණ පරීක්ෂණ,  CT Scan පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, වෘත්තීය චිකිත්සක සේවා ඇතුළු සියලු සේවාවන් බිඳ වැටෙනු ඇත.

අද රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට (21) දිනයේ සිට සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය ගනු ඇතැයි ද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි….

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්….

රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රයට සංශෝධන කිහිපයක් එක්කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් මෙම අධිචෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට ලබා දුන්නේය.

ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ලේඛන මුද්‍රිත පිටපත් වශයෙන් ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් බව සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය ප්‍රකාශ කළේ, මෙම නඩුකරයට අදාළව ඇමුණුම් වශයෙන් ලේඛන රාශියක් ඉදිරිපත් වී ඇති නිසා ඒවා සංයුක්ත තැටියක් වශයෙන් ලබාදීමට කටයුතු කළ බවය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනරජයට සිදුවන අපහසුව සැලකිල්ලට ගෙන මෙම සංයුක්ත තැටිය භාරගැනීමට සූදානම් බවත් යම් ලේඛනයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුනොත් එහි පිටපත් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

එවිට විනිසුරුවරයා ද අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ විත්තිය විසින් යම් කිසි ලේඛනයක් ඉල්ලා සිටියහොත් එය පිටපත් වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසය.

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

එහිදී විනිසුරුවරයා සඳහන් කළේ, එම මූලික විරෝධා නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියම කළේය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර FCIDයට…….

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාට අද (20) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම්දී තිබුණි.

විදෙස් සංචාරකයින් 1,338ක් ගුවන්තොටේ දී රියදුරු බලපත්‍ර අරන්…..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබේ.

මෙරට සංචාර සඳහා පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් පසුගිය 3 වනදා ස්ථාපිත කෙරුණි.

මීට පෙර විදේශිකයින් විසින් රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේරහැර පිහිටි මෝටර්රථ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය යුතුව තිබූ බව සඳහන්ය.

පසුගිය 3 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 1,338ක් නිකුත් කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ පසුගිය 7 වනදා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මෙරටට පැමිණෙන විදේශිකයන්ට රුපියල් 2,000ක් වැනි සුළු මුදලකට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරන බව ශ්‍රී ලංකා සංචාරක රියදුරන්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි නියෝජිත අමිල කෝරලගේ මහතා පැවසුවේ, මේ හේතුවෙන් එම රැකියාවේ නිරත පිරිස් සඳහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබාගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරී ස්වභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම ද සීමා කර ඇතැයි අදාළ චක්‍රලේඛය මඟින් දැනුම්දී ඇත.

කෙසේවෙතත් මෙම නව චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පෙන්වා දෙන්නේ අදාළ විදේශීය නිවාඩු ලබාගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබාදී තිබෙන ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බවය.

එමෙන්ම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මත ලබාදී තිබූ දේශීය නිවාඩු හිමිකම ද එමඟින් අහෝසි කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම්, රෝයි ද මැල් මහතා සඳහන් කර ඇත.

මෙම නව චක්‍රලේඛය මඟින් විදේශීය නිවාඩු ඉල්ලුම් කර ඊට අදාළ පුහුණු වීම් ද, වීසා බලපත්‍ර යනාදිය ලබාගෙන තිබෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අයත් සේවකයින් හා නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වෙනු ඇතැයි ද අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ හේතුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ගන්නා ලද තීරණය බලරහිත මෙන්ම අනීතික බව ද පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, උක්ත කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකර ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අභිබවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණයට හා ඊට අදාළව නිකුත් කරන ලද චක්‍රලේඛ හා උපදෙස් වහාම අවලංගු කිරීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

තෙවන දිනටත් තැපෑල වර්ජනයේ….

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන අදිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ජී.ජී.සී. නිරෝෂණ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය තැපැල්පති චමීශා ද සිල්වා මහත්මිය පවසන්නේ, වර්ජනයට හේතුව ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම බවය.

සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්….

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා, එක් එක් කණ්ඩායම් වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස භාවිත කරමින් ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කරගැනීමේ වැඩපිළිවෙළ ඵලදායීව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එමගින් ගමට මුදල් ගලා යාම සමග ග්‍රාමීය ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

අදාළ ව්‍යාපෘති සහ වැඩසටහන් විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියාවට නංවමින් ජනතාවට මෙම ප්‍රතිලාභ අත්කර දීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමාජයේ සිටින ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඔවුන් සමාජයේ අවවරප්‍රසාදිත පුද්ගලයින් ලෙස සැලකීම වැළැක්වීමට ගත හැකි  සියලු පියවර ගැනීමටත් මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා, සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන්නේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.