ඇල්ලේ සිරි නරඹන්න නව දුම්රියක්…..

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දේශීය සහ විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ මෙම නව දුම්රිය යෙදවූ බවය.

ඒ අනුව Ella Weekend Express නමින් නව දුම්රියක් එළැඹෙන 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් සහ 17 වැනිදා සිට සෑම ඉදිරිදා දිනකම බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

2025 මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංචාරක පැමිණීම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් වන බවය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛණවලට අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එහි අගය 286,085කි.

එමෙන්ම මෙම වසරේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 135,722 ක් සහ රුසියාවෙන් 116,257 ක්ද මෙරට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව අගොස්තු 01 වැනි දින සිට 05 වැනි දින දක්වා  සංචාරකයින් 40,047 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එහි අගය  6,963ක් වේ.

එමෙන්ම එක්සත් ජනපදයෙන් 4,345ක් සහ චීනයෙන් 3,090ක් ද ප්‍රංශයෙන් 3,049 සහ ඉතාලියෙන් 2,739ක්ද පැමිණ තිබේ.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවේ දිගු පෝලිම්….

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීමත්, අගෝස්තු නිවාඩු සමයත් නිසා මෙලෙස මේ දිනවල කවුඩුල්ල වනෝද්‍යානය සංචාරකයින්ගෙන් පිරී ඇත.

ඒ හේතුවෙන් ප්‍රවේශපතක් ලබාගෙන වනෝද්‍යානය නැරඹීමට සංචාරකයින්ට පැය ගණනාවක් දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා අතපසුවන බව සංචාරකයින් මෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් චෝදනා කරයි.

ප්‍රවේශපත් ලබාදීම සඳහා සීමිත නිලධාරින් පිරිසක් පමණක් සිටිම මෙම තත්ත්වය උද්ගතවීමට හේතු වී ඇත.

තාක්ෂණය දියුණු, මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ හැකියාව පවතින කාලසීමාවක මෙවන් තත්ත්වයන් නිර්මාණය වීම සැබැවින්ම කනගාටුදායකය.

මෙරරට පැමිණෙන සංචාරකයින් අපහසුතාවට පත් නොකර ඔවුන්ට කඩිනම් සේවාවක් ලබාදී මෙරටට විදේශ විනිමය උපයාගැනීමට කටයුතු කිරීම බලධාරින්ගේ වගකීමක් නොවේද?

ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි……

ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය.

මෙය  පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති අතර එය 18.5% කි.

තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,368,288කි.

ඒ අතරින් සංචාරකයින් 279,122ක් ඉන්දියාවෙන්, 131,377ක් රුසියාවෙන් සහ 115,470ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

දළදා මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය.

සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි.

කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය.

පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි.

අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.

විදෙස් සංචාරකයින්ට හෙට සිට කටුනායකින්ම රියදුරු බලපත්……

සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට දින සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ ආරම්භ කරන බවය.

මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපොළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබා ගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාරවල නිරත බවන බවත් මේ සඳහා යතුරු පැදි සහ ත්‍රීරෝද රථ මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි ද කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත් නව ක්‍රමවේද යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි පමණක් බලපත්‍ර නිකුත් කරන බව පැවසූ ඒ මහතා බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙරට වාණිජ ප්‍රවාහනය පරිවර්තනයට ලක් කිරීමට, සොෆ්ට්ලොජික් සහ ATUL ඔටෝ එකතුවෙන් නවීන ත්‍රිරෝද රථ පෙළක්….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings PLC), ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන ATUL ඔටෝ ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙමින්, ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රවාහන ක්ෂේත්‍රය නව මානයකට ගෙන ඒමට සූදානම් වේ. මෙම හවුල්කාරිත්වය හරහා, නවීනතම ත්‍රිරෝද රථ පෙළක් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ඇත.

වසර 60කට වැඩි අත්දැකීම් ඇති, රටවල් 24කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති ATUL Auto සන්නාමය, විවිධ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇති කල්පවත්නා, ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට පහසු ත්‍රිරෝද රථ නිෂ්පාදනය සඳහා කීර්තියක් උසුලයි. මෙම හවුල්කාරිත්වය හරහා, සොෆ්ට්ලොජික් සමාගම දේශීය වෙළඳපල අවශ්‍යතාවලට ගැලපෙන ප්‍රධාන ත්‍රිරෝද රථ මාදිලි තුනක් දියත් කරනු ඇත: එනම්, පෙට්‍රල් මගින් ක්‍රියාත්මක වන, ආකර්ෂණීය සහ අයවැය හිතකාමී මගී රථයක් වන Atul RIK; ඩීසල් මගින් ක්‍රියාත්මක වන, වාණිජ ප්‍රවාහනයට සුදුසු ඉඩකඩ සහිත මාදිලියක් වන Atul GEM Paxx; සහ භාණ්ඩ බෙදාහැරීම්, කෘෂිකාර්මික සහ සැපයුම් කළමනාකරණ (logistics) යෙදවුම් සඳහා නිපදවා ඇති, ශක්තිමත්, අධික බර රැගෙන යා හැකි Atul GEM Cargo මාදිලියයි.

මෙම සහයෝගීතාව ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වන මොහොතකය. විශේෂයෙන්ම, වර්තමානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ අවසාන සැතපුම් සම්බන්ධතාවය (last-mile connectivity) වෙනුවෙන්, මිල දැරිය හැකි, විශ්වාසනීය සහ ඉන්ධන කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් සඳහා වූ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින යටිතල පහසුකම් අභියෝග හමුවේ, අඩු නඩත්තු පිරිවැයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත වාහන සඳහා වෙළෙඳපොළේ ප්‍රමුඛතාවය වර්ධනය වී ඇත. සරල යාන්ත්‍රික පද්ධති, වායු සිසිලන එන්ජින් සහ අධි බලැති චැසියක් සහිත ATUL වාහන පෙළ, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද විශ්වාසනීය කාර්ය සාධනයක් සහ අඩු මෙහෙයුම් පිරිවැයක් ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ATUL ඔටෝ ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ නීරාජ් චන්ද්‍ර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවට ATUL වාහන හඳුන්වා දීම සඳහා සොෆ්ට්ලොජික් වැනි ගෞරවනීය හා ඉදිරිගාමී ව්‍යාපාරික සමූහයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට මහත් අභිමානයක්. ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ පුළුල් විශේෂඥ දැනුමක් ඇති ආයතනයක් ලෙස, අපි ඉදිරිපස සහ පසුපස එන්ජින් වින්‍යාසයන් දෙකෙන්ම පෙට්‍රල්, ඩීසල්, LPG සහ විදුලි මාදිලි පිරිනමන්නෙමු. පුද්ගලයන් සහ ව්‍යාපාර එක සේ බලගන්වමින්, ආර්ථික වර්ධනයට සහ ප්‍රවාහන පහසුකම් වර්ධනයට දායක වන විශ්වාසදායක සහ දැරිය හැකි මිලකින් යුතු විසඳුම් සැපයීම අපගේ මෙහෙවරයි.” යනුවෙන් පැවසීය.

පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අත්දැකීමක් සහතික කිරීම පිණිස, ATUL දැනටමත් සිය තාක්ෂණික විශේෂඥයින් කොළඹට යොදවා ඇති අතර, වාහන ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අමතර කොටස් වල ස්ථාවර සැපයුමක් ද ස්ථාපිත කර ඇත. “ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට පමණක් නොව, ආරම්භයේ සිටම ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් ස්ථාපිත කිරීමට ද අපි කැපවී සිටිමු,” යනුවෙන් චන්ද්‍ර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම හවුල්කාරිත්වය යටතේ හඳුන්වා දෙන සියලු වාහන සඳහා මාස 24ක හෝ කිලෝමීටර් 25,000ක පුළුල් වගකීමක් හිමිවන අතර, දිවයින පුරා විහිදී ඇති සොෆ්ට්ලොජික් හි පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලය හරහා අඛණ්ඩ සහාය හිමිවනු ඇත.

සොෆ්ට්ලොජික් හි මෝටර් රථ අංශයේ (Automotive Sector) ප්‍රධාන විධායක නිලධාරී, බිෂ්රි ෆාරුක් මහතා අවධාරණය කළේ, “මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට නව්‍ය සහ තිරසාර ප්‍රවාහන විසඳුම් ගෙන ඒමේ අපගේ උපායමාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයකි. ATUL රථ පෙළ, ප්‍රායෝගිකත්වය සහ විශ්වසනීයත්වය මනාව සමතුලිත කරමින්, මගී සහ භාණ්ඩ ප්‍රවාහන අංශ දෙකම සඳහා අතිවිශිෂ්ට වටිනාකමක් ලබා දෙයි.” යනුවෙනි.

ATUL හි එකම බලයලත් බෙදාහරින්නා වන සොෆ්ට්ලොජික්, ශ්‍රී ලංකාව තුළ ATUL හි ව්‍යාප්තිය මෙහෙයවීමට සූදානමින් සිටින අතර, ඒ සඳහා, ක්ෂණික වාහන ලබා ගැනීමේ හැකියාව සහ පූර්ණ සේවා යටිතල පහසුකම් දැනටමත් ස්ථාපිත කර ඇත. සොෆ්ට්ලොජික්-ATUL හවුල්කාරිත්වය, ඩීසල් මගී සහ භාණ්ඩ අංශවල ප්‍රමුඛයා වීමේ උසස් සැලසුම් සමඟින්, සියලු දෙනාටම පහසුවෙන් ළඟා විය හැකි, ප්‍රායෝගික ප්‍රවාහන විසඳුම් සඳහා සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, මෙය දිවයිනේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ද අතිශය වැදගත් දායකත්වයක් සපයනු ඇත.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ගතික සහ ප්‍රගතිශීලී විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරවලින් එකක් වන අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), සෞඛ්‍ය සේවා, සිල්ලර වෙළඳාම, මූල්‍ය සේවා, මෝටර් රථ සහ සංචාරක කටයුතු යන ප්‍රධාන අංශ හයෙහිම වෙළඳපල ප්‍රමුඛත්වය දරයි. ශ්‍රී ලංකාව, ඩුබායි සහ ඕස්ට්‍රේලියාව පුරා සේවකයින් 11,000 කට අධික ශ්‍රම බලකායක් සමඟින් ක්‍රියාත්මක වන මෙම සමූහය, උපායමාර්ගික ආයෝජන සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම සමඟ ඇති ගෝලීය හවුල්කාරිත්වයන් හරහා දිගුකාලීන වටිනාකමක් ජනනය කිරීමේ හැකියාව වෙනුවෙන් පුළුල් ලෙස පිළිගැනේ.

 

IMG-20250801-WA0004 IMG-20250801-WA0005 IMG-20250801-WA0006 IMG-20250801-WA0007 IMG-20250801-WA0008 IMG-20250801-WA0009

වසරේ මේ දක්වා කාලය තුළ විදේශ රැකියා පැමිණිලි 2620ක්…..

මෙම වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා ගෙවුණු මාස 7 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් යළි අයකර දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්‌යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය මාස 7 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 567ක් වන අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 2620ක් කාර්යාංශයට ලැබී ඇත.

එමෙන්ම මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද වැටලීම් ප්‍රමාණය 05ක් වන අතර, ඊට නීති විරෝධි ක්‍රියාවල යෙදුණු එක් බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිතායතනයක්ද අයත් වේ.

මෙම කාලය තුළදී වංචනිකයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 07ක්ද ඊට අයත් වේ.

මේ අතර, 2024 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 1825කට අධික මුදලක් විදේශ රැකියා වින්දිතයින්ට යළි අය කර දීමට කාර්යාංශය සමත්වී ඇති අතර, පසුගිය වර්ෂයේදී විදේශ රැකියා ආශ්‍රිත පැමිණිලි 4658ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රැමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම් සිදුවන බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින ලෙස කාර්යාංශය මහජනතාවට දැනුම් දී ඇත.

පසුගිය කාලයේදී වංචනිකව එලෙස මුදල් ලබාගත් පුද්ගලයින් වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද  විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාවෙන් දෙන මුදලේ පළමු කොටස නිදහස් කෙරේ….

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 770) නිකුත් කර ඇත.

මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 14.89ක වියදමින් ණයක් ලෙස ඉන්දීය රජයෙන් දීමට යෝජනා කර තිබුණ ද 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ඉන්දීය රජය විසින් එය ප්‍රදානයක් බවට පරිවර්තනය කරන ලදී.

එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්දියානු රාජ්‍ය අංශයේ ආයතනයක් වන ඉර්කෝන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසිනි.

ඉන්දීය ආධාර ඇතිව, උතුරු මාර්ගයේ ධාවන පථ පැයට කිලෝමීටර 100 දක්වා දුම්රිය වේගයට සහාය වන පරිදි වැඩිදියුණු කර ඇත.

මීට සමගාමීව දියුණු සංඥා පද්ධතියක් හරහා මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම තුළින් දුම්රිය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ව්‍යාපෘතිය 2026 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දුම්රිය අංශයට ඉන්දියාවේ සමුච්චිත මූල්‍ය ආධාර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2කි.

මේ දක්වා, ඉන්දියාව කිලෝමීටර 500 කට ආසන්න දුම්රිය මාර්ගයක් ඉදිකර ප්‍රතිසංස්කරණය කර ඇති අතර කිලෝමීටර 400 ක පමණ දුම්රිය ජාලයක් හරහා සංඥා සහ විදුලි සංදේශ පද්ධති සපයා ඇත.

මහනුවර ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය ඇරඹෙයි…..

රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය.පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතිනි.පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා සහ කෝට්ටේ රාජා හස්තීන් ගමන් කළේය.පළමු දිනයේ පෙරහර නැරඹීමට දේශීය සැදැහැවතුන් මෙන්ම විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියේය.ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වනදා වීථී සංචාරය කිරීමට නියමිතය.