දුරගමන් යන මගීන්ට අද සිට ආසන වෙන් කිරීම ක්‍රම තුනකින්…….

දුරගමන් යන මගීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරවාගැනීමේදී මින් ඉදිරියට රුපියල් 30ක් වැනි සුළු මුදලක් පමණක් ගෙවීමට සිදු වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අද (05) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්. 

රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.”

ඇතැම් අවස්ථාවලදී ආසනයක් වෙන් කරගැනීමට රුපියල් 200ත් 300ත් අතර මුදලක් ගෙවීමට සිදුවෙයි.

නව ක්‍රමය හේතුවෙන් ආසන වෙන් කිරීමේදී රුපියල් 30ක් වැනි සුළු මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගත වන බව ද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම ක්‍රම තුනකින් සිදු කළ හැකිය.

www.busticket.gov.lk වෙබ් අඩවියට ජංගම දුරකථනයකින් හෝ පරිගණකයක් මගින් සම්බන්ධවීමෙන් ද 011-200 1266 ක්ෂණික දුරකථනය මගින් සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති KIOSK යන්ත්‍ර මගින් ද මෙම වෙන්කිරීම් සිදු කරගත හැකිය.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 840,000 පනී…….

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 840,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 22 දක්වා කාලය තුළ සංචාරකයින් 840,411ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 176,465ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවය.

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ සිව් වන දිනය අවසන්….

අමෙරිකාවේ සිට වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදුවන “ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව මේ වන විට සිව්වන දිනය අද (25) පස්වරුවේ අවසන් විය.

ඒ,  අද (25) පෙරවරුවේ මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් ආරම්භ කළ සාම පාගමන තෝලංගමුව ජාතික පාසල වෙත වැඩම කිරීමත් සමඟය.

තෝලංගමුවේ සිට හෙට (26) පස්වන දිනට ගමන් ආරම්භ කරන සාම පාද යාත්‍රාව කජුගම, යක්කල, මහර, කැලණිය හරහා ලබන 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතව තිබේ.

මේ අතර ලෝක සාමය පතා සිදුකරන, ජාත්‍යන්තර අවධානය දිනාගත් සාම පාගමන සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

මෙම සාම පාගමන පිළිගැනීම සහ එයට ගෞරව වන්දනාමාන කිරීම සඳහා පාගමන ගමන් කරන මාර්ගය දෙපස විශාල වශයෙන් ජනතාව එක්රැස්වීම් නිරීක්ෂණය වන බවයි පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

සැදැහැවතුන් තුළ පවතින ගෞරවය සහ උනන්දුව අගය කොට සලකන නමුත් ඇතැම් ප්‍රදේශවල ජනතාව එක්රැස් වන අවස්ථාවලදී එකිනෙකා තල්ලු කරගැනීම්, තෙරපීම් හා වීඩියෝගත කිරීම් මෙන්ම පාගමනට එක්ව සිටින ආලෝකා සුනඛයා ස්පර්ශ කිරීම හා සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම සාම පාගමනට බාධාකාරී තත්ත්වයක් බව පොලිසිය පැවසීය.

පාගමනට එක්ව සිටින භික්ෂූන් වහන්සේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ විනයගරුක හැසිරීමක් වන බැවින් මාර්ගය දෙපස එක්රැස්ව සාම පාගමනට ගෞරව දැක්වීම විනයානුකූලව සහ මනා සංයමයකින් යුතුව සිදුකරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

විශේෂයෙන් එම භික්ෂුන් වහන්සේ හා දූත පිරිසට බාධා හෝ හිංසාකාරීවන ක්‍රියාවන් සිදුනොකරන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම සදහා සහයෝගය ලබාදෙන ලෙසත් පොලිසිය වැඩිදුරටත් දැනුම්දෙයි.

අප්‍රේල් ගෙවුණු දින 5ට සංචාරකයින් 26,800ක් මෙරටට ඇවිත්…..

අප්‍රේල් මාසයේ මුල් දින 5 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 26,800ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,562ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 28%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 1,623ක්, ජර්මනියෙන් 1,090ක්, එක්සත් රාජධානියෙන් 2,854ක්, චීනයෙන් 1,537ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 2,794 ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට අප්‍රේල් 05 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 767,434ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 154,835ක්, රුසියාවෙන් 67,541ක් සහ එක්සත් රාජධානියෙන් 81,274ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

මාර්තු ගෙවුණු දින 29ට සංචාරකයින් 175,661ක් මෙරටට ඇවිත්….

මාර්තු මාසයේ ගෙවී ගිය දින 29 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 175,661ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 45,650ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 26%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 15,579ක්, ජර්මනියෙන් 12,603ක්, එක්සත් රාජධානියෙන් 17,030ක්, චීනයෙන් 13,449ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 10,219ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට මාර්තු 29 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 732,316ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 145,390ක්, රුසියාවෙන් 65,812ක් සහ එක්සත් රාජධානියෙන් 77,358ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට….

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට මාර්තු 22 දක්වා කාලය තුළ සංචාරකයින් 692,744ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 135,070ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර මාර්තු මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 136,089 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

යුෆෝරියා සිලෝන් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ….

ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරකත්වයෙන් ඉහල රටක් බව නැවතත් සනාථ කරමින්  රට තුල සිටින විදේශීය  සංචාරකයින්ට, තෙල් අර්බුදයෙන් පීඩා නොවිද ලාංකේය සංස්කෘතික හා කර්මාන්ත අත්දැකීම් තිලිණ කරමින් , ලෙහෙසියෙන් ගමන් කිරීමට හැකි කොළඹ 07 මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වේ. මහවැලි උපදේශක කාර්‍යංශය , මහවැලි අධිකාරිය ,මහවැලි කේන්ද්‍රය හා ජාතික තරුණ සේවා සභාව එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි…

එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව සතියට තුන්වතාවක් ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මෙරට බලා 2026 ඔක්තෝබර් 23 දින සිට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබෙයි.

මෙම ගුවන්ගමන් සඳහා ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ වුණි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙරට සිට ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවයයි.

අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්….

ශ්‍රී ලංකාව තුළ දේශීය හා විදේශීය පුද්ගලයින් විසින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවට දැනුම් දී තිබේ.

ඒ අනුව, මීට පෙරද අධි ආරක්ෂිත කලාපයන් තුළ අවසර රහිතව ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන් වේ.

එබැවින්, ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීමට අදහස් කරන සියලු පුද්ගලයින් අදාළ නීති හා රෙගුලාසි පිළිපදිමින්, නිසි අවසර ලබාගෙන පමණක් එම ක්‍රියාකාරකම් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.

මෙම දැනුම්වත් කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ ඩ්‍රෝන යානා භාවිතාකරුවන්ට ඇතිවිය හැකි නීතිමය ගැටලු හා අපහසුතා වළක්වා ගැනීම අරමුණු කරගෙන සිදුකරනු බව ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

QR ලියාපදිංචියට WhatsApp අංකයක්….

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ඛේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ලිංයාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයින්ට  076 000 19 19 යන WhatsApp අංකය වෙත වාහනයේ අංකය යොමු කිරීමෙන් පවතින ගැටළු නිරාකරණය කර ගත හැකි බව සඳහන්ය.

ඒ සමගම ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකය ද යොමු කර යුතු වෙයි.

මේ සඳහා ඉල්ලුම් කිරීමට වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් සුදුසුකම් ලබන අතර ලබා දෙන සියලුම තොරතුරු සහ පෞද්ගලික දත්ත, 2022 අංක 9 දරණ පෞද්ගලික ආරක්ෂන පනතට අනුකූලව ආරක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.