මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි…..

රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ජනාධිපතිවරයාට අමතරව ජනාධිපති ආර්යාව සමගින් එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු මාලෙ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ‘UL 116’ දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබුණි.

2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා, ලබන 6 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මාලදිවයින් ධූත පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ෆී ලෝයර්ස් සංවිධානය ඩො.මි 2.5ක මුදල ගැන කෝපා කමිටුවෙන් කළ ඉල්ලීම…..

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් සොරකම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිලිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළද මේ දක්වා ඒ පිලිබඳ කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සාමාජික රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසය.

කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා,

“ෆී ලෝයර්ස් සංවිධානය ගරු කතානායක තුමාට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් ඒ ලියුමවත් ලැබුණු බව මේ දක්වා දැනුම් දීලා නෑ. ඒ වගේම හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාව හරහා අපේක්ෂිත කිසිදු ප්‍රතිඵලයක් ලැබිලා නෑ. ඒ සියල්ලටම වඩා මුදල් අමාත්‍යාංශය මුදල් ලේකම්වරයාට මාසයක කාලයක් ලබා දී තිබෙනවා මේ ලේඛන ඉදිරිපත් කරන්න. ඒක මේ ප්‍රශ්නය මාසයකට යටපත් කරන්නක් බව ඉතාම පැහැදිලියි. මේ නිසා පාර්ලිමේන්තුව විසින් කළයුතු මූලික කාරණා ඉෂ්ඨ නොවන බව පැහැදිලිව තියෙනවා. ඒ අභියෝගය ජයගැනීම සඳහා ජනතාවට විවෘත මාධ්‍යයට විවෘත කෝපා කමිටුව මේ පිලිබඳව විඝණකාධිපතිවරයා කේන්ද්‍රගත කරමින් විමර්ශනයක් පූර්ණ වශයෙන් සිදුකරන්න අවශ්‍යයි කියන එක අපි ලිපිය මගින් කබීර් හෂීම් සභාපතිතුමාට අවධාරණය කරනවා.”

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්…..

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, ඉතාලි තානාපති ලෙස සේවය කරන  Damiano Francovigh මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුව තිබේ.

මෙහිදී ආරක්ෂක ලේකම් විසින් නව තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩාත් ඵලදායි අන්දමින් පැවැත් වූ බව සඳහන් වේ.

මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු ව තිබේ.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ තානාපති Francovigh මහතා, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට තම කැමැත්ත මෙහිදී යළි තහවුරු කළේය.

හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය‍

මෙම නඩුවල තීන්දු අද (30)  කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු වල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා සිදු කරන බවය.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන  ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබුණි.

ඥානසාර හිමිට අධිචෝදනා භාරදෙයි….

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

ඉන් අනතුරුව උන්වහන්සේව ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කළේය.

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන පාර්ලිමේන්තු විවාදයක්….

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය පළ කර තිබේ.

පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ස්ථාපිත කර වසර 44ක් සපිරීම නිමිත්තෙන් අද (30) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ විවාදය මීළඟ පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙනු ඇති බව ඔහු කීය.

ලබන 05 වෙනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය ඉතා කාර්යබහුල සතියක් බවත් අණපනත් ගණනාවක් සම්මත කර ගැනීමට නියමිත බවත් කථානායකවරයා පැවසීය.

එමෙන්ම ලබන අටවෙනිදා වියට්නාමයේ ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.

ඒ අනුව ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීම සම්බන්ධයෙන් වන විවාදය ලබන 19වෙනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී පැවත්විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එම පිළිබඳ තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත යුතු බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට අනුමැතිය…

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කර තිබේ.‍

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.

මෙම කෙටුම්පත  තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීමට, පුනරුත්ථාපනය කිරීමට සහ තැනැත්තන්ගේ සහ සමාගම්වල වස්තුභංගත්වයට අදාළ නීතිය සංශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා ද, (97 වන අධිකාරය වූ) වස්තු භංගත්ව ආඥාපනත ඉවත් කිරීම සඳහා ද, 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා ද, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා ද, 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස  ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් පනතේ නිශ්චිතව දක්වා ඇති බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා වස්තුභංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කෙරේ. ඒ ඔස්සේ වෘත්තීය ප්‍රමිතීන්, අධීක්ෂණ කටයුතු සහ මහජන විශ්වාසය සහතික කිරීම අපේක්ෂා කෙරේ.

තවද ණයගැතියාගේ ආරක්ෂාව සමග ණයගැතියාට දෙනු ලබන සහන සමතුලිත කිරීම උදෙසාද මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසා ඇත.

ඒ අනුව ණය ආපසු ගෙවීම අත්හිටුවීමේ නියෝගයක්‍ නිකුත් කිරීමේ ප්‍රතිපාදනද පනත් කෙටුම්පත මගින් දක්වා ඇති බව කරුණු දක්වමින් අධිකරණ අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.

එමෙන්ම ණයගැතියා පුනරුත්ථාපනය සඳහා සුදානම් වන අතරතුර ණය හිමියා බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග අත්හිටුවන තාවකාලික දින 60ක කල් දැමීමේ කාලයක් හඳුන්වා දී තිබේ.

තවද සීමිත ආදායමක් සහ සීමිත වත්කම් සහිත ණයගැතියන් සඳහා සරල කළ, වේගවත්, අඩු වියදම් සහිත නඩු කටයුතු සඳහා පහසුකම් සැපයීමට ද, ශ්‍රී ලංකාව තුළ මූල්‍යමය වශයෙන් පීඩාවට පත්ව ඇති එහෙත් ගෙවීමේ හැකියාව ඇති ව්‍යාපාර බේරාගැනීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි නැඹුරු වූ “පරිපාලන” ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීමටද පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සලසා ඇති බව අධිකරණ අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.

වස්තුභංගත්වයේ නීති කටයුතුවලට වඩා සරල හා ලාභදායී වන පරිදි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාපටිපාටිය මෙම පනත් කෙටුම්පත මගින් සකස් කර ඇති බව ඔවුන් පෙන්වා දුන්නහ.

ණය හිමියන් ආරක්ෂා කිරීම සහ වටිනාකම ආරක්ෂා කිරීමේ අරමුණින් ණයගෙවීමට නොහැකි වීම, වැරදි සහගත වෙළදාම සහ වංචනික හෝ වරණීය ගනුදෙනු වළක්වා ගැනීම පිළිබඳ නීති අන්තර්ගතව පවතින බව ද අධිකරණ අමාත්‍යාංශ නිලධාරීහු ප්‍රකාශ කළහ‍.

ලෝක බැංකු හවුල්කාරිත්වය සහ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම විසින් ප්‍රවර්ධනය කරන ලද භාවිතයේ පවතින  හොඳම ප්‍රමිතීන්ට අනුකූලව මෙම පනත් කෙටුම්පත සම්පාදනය කර ඇති බව ද ඔවුහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, මෙම පනත් කෙටුම්පත මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කර තිබුණේ නම්, ඉන් මෙරට ප්‍රජාවට තවත් බොහෝ ප්‍රතිලාභ හිමි වන්නට තිබූ බව අවධාරණය කළේය.

එමෙන්ම, පනත් කෙටුම්පත මගින් ගෙන එනු ලබන සාධනීය පියවරයන් රැසක් සම්බන්ධව කාරක සභාවේ ප්‍රසාදය පළකරමින්  කරමින්, එය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම නිලධාරීන්ට පැවරෙන බවත් එම  කටයුතු  කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත් කමද සභාපතිවරයා අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවේදී පෞද්ගලික අංශයේ හා සිවිල් සමාජය නියෝජනය කරන පාර්ශවකරුවන්ගේ අදහස්ද සලකා බැලිණි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ‘මාවිල්ආරු’ සොරොව්වෙන් ජලය නිකුත් කෙරේ….

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාවිල්ආරු සොරොව්ව තාවකාලිකව පිළිසකරකර, ගොවීන් සඳහා ජලය නිකුත් කිරීම අද (30) සිදු කළේය.

ඒ අනුව ගොවි සංවිධාන 47කට අයත් ගොවි පවුල් 14,000කට, අක්කර 25,000කට වැඩි ප්‍රමාණයක වී වගා කටයුතු සිදුකිරීමට යළි අවස්ථාව උදාවිය.

මාවිල්ආරු සොරොව්වේ ආරක්ෂක බැම්ම කි.මී. 5ක් පමණ දිගින් යුතුව ඇති අතර, සුළි කුණාටුව හේතුවෙන් එය ස්ථාන 12කින් කි.මී. 1.5ක පමණ ප්‍රමාණයකින් හානි සිදුවිය.

ඒ අනුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ආරම්භකර ඇති අතර, එතෙක් යල කන්නයේ වගා සඳහා තාවකාලික බැම්මක් ඉදිකර මෙලෙස අවශ්‍ය ප්‍රමාණයට ජලය රඳවා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මාවිල්ආරු ජලාශයෙන් කල්ලාරු, දෙහිවත්ත, නීලපොල, ඊචලාම්පත්තු, සේරුනුවර යන ගම්මාන සඳහා මෙලෙස ජලය නිකුත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්ට ඇප……

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

ඔහු අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස අප නියමකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි.

ඒ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි.

අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත.

ඒ අනුව පසුගිය 25වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමග බහින් බස්වීමක් ඇති කර ගෙන තිබේ.

එම බහින්බස්වීම දුරදිගයාම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර ඇති බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ……

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

මෙහි සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා ඩිනාල් පිලිප්ස් යන මහත්වරු පත්කර ඇත.

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසින් සිදුකරනු ඇත.