අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය….

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය.

 

මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

 

උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහිදී සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පැවසීය.

 

එමෙන්ම, ශ්‍රී ලංකාවේදී හිමි වූ උණුසුම් පිළිගැනීම මෙහිදී කෘතවේදීව අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේදී තවදුරටත් තහවුරු වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

 

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අතීතයේදී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට  ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බව සඳහන් කළේය.

 

මෑතකාලයේදීද, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර  රුසියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා උදා කර දෙමින් ලබා දෙන සහායත්, දෙරට අතර පවතින සමාජ සංස්කෘතික සබඳතාව මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී ශ්‍රී ලංකාවට රුසියාවට ලබා දෙන සහායත් කෘතවේදීව සිහිපත් කළේය.

 

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා හේතු වනු ඇති බවටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

 

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan, රුසියාවේ බලශක්ති අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Vladimir Khazov,

ඛනිජ තෙල් ආශ්‍රිත සේවා වාණිජ ව්‍යාපෘති සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී Sergey Rodin යන මහත්වරු ඇතුළු රුසියානු නියෝජිත පිරිස ඊට එක්ව සිටියහ.

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයගෙන් හේතු විමසයි…..

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වෙනිදා තංගල්ල නගර සභාවේ පැවති ගුරු හමුවට ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ඉල්ලීමක් සිදු කර තිබේ.

මේ බව සඳහන් කරමින්, තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව අදාළ හමුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාර්තු මස 26 වෙනිදාට පෙර හේතු පැහැදිලි කළ යුතුය.

ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය ඇමති වටගල කියයි…..

ශ්‍රී ලංකාවට මත්කුඩු සපයන ප්‍රභල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29 දෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති රටම එකට ජාතික මෙහෙයුම් වැඩසහටන එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මේ කළු බිස්නස් එකේ අංග දෙකක් තියෙනවා. එකක් සැපයුම් ජාලය. අනිත් එක ඩිමාන්ඩ් එක. ත්‍රිකුණාමලය වරායට බෝට්ටුවකින් අරන් එනවා. ඒ ගන්න එක මෙහෙ ඉන්න තරුණයෝ පාවිච්චි කරනවා. ඉතින් අපි කල්පනා කරා මේ ඩිමාන්ඩ් එක නැති කරන්න. මේ සැපයුම් ජාලයට කලින් ආණ්ඩු අත ගැහුවේ නෑ. හැබැයි වත්මන් ආණ්ඩුව තීරණයක් ගත්තා සැපයුම් ජාලය නැමති දාමයේ ඉහළම පුරුක්වලට යන්න ඕනේ. මේ පුරුක් වෙරළෙන් නතර වුණා. මේ පුරක් ගුවන් තොටුපොළෙන් නතර වුණා. අපේ පොලිස් දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉන්දුනීසියාවට, නේපාලනයට, පාකිස්තානයට ගිහින් මේ වෙද්දි අත්අඩංගුවට ගැනීම් කරලා තියෙනවා ප්‍රබලතම සැපයුම්කරුවන් 29ක් අපේ අතේ තියෙනවා. විශේෂයෙන් ඉන්දුනීසියාවෙන් ගෙනාපු අපරාධකරුවෝ පාපොච්චාරණය කරනවා. එතකොට සමහර අය කලබල වෙලා නම් තියෙනවා.

Easy Money හොයන්න භාවිත කරන බිස්නස් එකක් මේක. අපි දන්නවා මේකට බිස්නස් තුනක් සම්බන්ධයි. මත්ද්‍රව්‍ය එක්ක බැඳුන පාතාලයක් තියෙනවා. පාතාලය එක්ක බැඳුන අවි ජාවාරමක් තියෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය හා නීතිවිරෝධී අවි සමස්ත මේ කළු බිස්නස් එක වෙලාගෙන ඉන්නවා. මේක වැඩුණේ දේශපාලන අධිකාරිය පිටුපස හිටියා. දියවන්නාව තමා මේක පෝෂණය කළේ. තමන්ගේ මැතිවරණ ව්‍යාපාර පෝෂණය කළේ මේ කළු බිස්නස් එක හරහා එන සල්ලිවලින්.”

සුරේෂ් සලේව රෝහල්ගත කෙරේ….

රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී.

කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන් වේ.

ඊයේ (24) දිනයේ දී සලේ මහතාව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර ඇති අතර, පසුව වෛද්‍යවරයෙකු හමුවට යොමුකර ඇත.

එහිදී වෛද්‍ය උපදෙස් අනුව ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

රාජ්‍ය සේවය විධිමත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව දෙවන වරටත් රැස්වෙයි….

රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.මහජනතාවට රජයේ සේවා බාධාවකින් තොරව ලබා දීම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

 එසේම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරණු අතර, ඒ අනුව නියමිත පරිදි විභාග පැවැත්වීම සහ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ බාධවකින් තොරව සැපයීම සහතික කිරීමට තීරණය කෙරිණි.

 මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය.

 මීට අමතරව නිවසේ සිට වැඩි කිරීම සහ පවතින සේවා වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වාදී දීමටත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.සියලුම අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල වත්මන් බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී උපදෙස් දෙන ලදී.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ටී. එම්. උදයංග හේමපාල, අධිකරණ, සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ටී. ආර්. ඩබ්. එස්. ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. එස්. රාජකරුණා යන මහත්ම මහත්මීහු ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ නියෝගය කල්යයි..

එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේදී අල්ලස් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින එහි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය  සඳහා වරෙන්තු නිකුත් කරනවාද? නැත්ද? යන නියෝගය අප්‍රේල් මස 02 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

චාමරට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දිනදෙයි….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අප්‍රේල් මස 30වනදා කැඳවන ලෙස නියම කළේය.

2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාව සදහා රේඛනය කළ චෙක්පතක් සිය පුද්ගලික ගිණුමකට තැන්පත් කර ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පොහොර සමාගම් එකඟවෙයි…

ඉදිරි මාස 03 සඳහා අවශ්‍ය පොහොර සංචිත වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පොහොර සමාගම් ජනාධිපතිවරයා වෙත සිය එකඟතාව පළ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේ පොහොර සමාගම් මේ බව පැවසා තිබේ.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එමෙන්ම රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බවත්, ඒ අනුව, මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයිය හැකි අන්දමින්, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඉදිරියේදී මෙවන් අර්බුදකාරී අවස්ථාවලට මුහුණ දිය හැකි අන්දමින් සැලසුම් සකස් කිරීමටත්, එහිදී රජය, පොහොර සමාගම් සහ ගොවි ජනතාව යන පාර්ශ්ව තුනෙහිම යම් කැප කිරීමක අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති අතර, ඒ සඳහා අදාළ සමාගම් නියෝජිතයන්ගේ සහයෝගය අගය කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

ස්වාරක්ෂිත තොග පවත්වාගෙන යාම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම, පොහොර ආනයනය සඳහා ණය පහසුකම් සැපයීම ආදී පසුගිය ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාව කර ඇත.

2026 යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමට සැලසුම් කර තිබේ. වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 83,000ක් සහ  අනෙකුත් වගා සඳහා මෙට්‍රික් ටොන් 42,000ක් බැගින් යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් මෙවර යල කන්නය වෙනුවෙන් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ.

යල කන්නය ආරම්භ වූ මාර්තු පළමුවන දා වන විට සමාගම් සතුව මෙට්‍රික් ටොන් 95,000ක් සහ බෙදාහරින්නන් සතුව මෙට්‍රික් ටොන් 7,000ක්ද ලෙසින් යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පැවති නමුත්  පසුගිය සති දෙක තුන තුළ එයින් මෙට්‍රික් ටොන් 27,000ක් පමණ නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව  මාර්තු 17 වන දා වන විට සමාගම් සතුව ඉතිරිව ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 68,000ක් පමණක් බවත් මෙහිදී සඳහන් කෙරිණි.

පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතව තිබුණේ යූරියා මෙට්‍රික් ටොන් 11,000ක් පමණක් වුවද පොහොර හිඟයක් ඇති වනු ඇති බවට වූ මතයෙන් පොහොර තොග රැස් කිරීම නිසා මෙට්‍රික් ටොන් 27,000ක් අළෙවි වී තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

එමෙන්ම, තවත් යූරියා මෙට්‍රික් ටොන් 77,000ක් ඇනවුම් කර තිබූ බවත්, එයින් 37,000ක් මැදපෙරදිග රටවලින් පැමිණීමට නියමිතව තිබූ හෙයින්, ඒ පිළිබඳ අවිනිශ්චිතතාවක් පැවතියද, ඉතිරි මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 21,000ක් මෙම මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණීමට නියමිත බව තහවුරු කර තිබෙන බවද අනාවරණය විය.

අවශ්‍ය ඉතිරි පොහොර තොග ආනයනය කිරීමේ සැලසුම් මෙන්ම ඉදිරි මාස 03ක් සඳහා ප්‍රමාණවත් පොහොර සංචිත නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී පොහොර සමාගම්වලින් ලබා හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලීය.

වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අඛණ්ඩව සැපයීම රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමේදී වැදගත් සාධකයක් බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වී සහ එළවළු ආදී කෙටිකාලීන බෝගවලට එහිදී ප්‍රමුඛතාව ලබා දීමේ වැදගත්කමද පෙන්වා දුන් බව සඳහන් වේ.

පසුගිය සමයේ සමාගම්වලට අය විය යුතු ගෙවීම් නිසි පරිදි නොලැබීම නිසා මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පොහොර සමාගම් නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එම ගෙවීම් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය අද සිට මහජනතාවට….

මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය අද (24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇත.

ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේදී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවයකිනි. කෙසේ වෙතත්, එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය ද අතිරේකව එක් කර තිබිණි.

රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද,ජනාධිපතිවරයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන්, රෝගින්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇත.

අද දින සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිතය. රාජ්‍ය දේපොළ සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රීලන්කන් හිටපු සභාපති නිශාන්තට ඇප…

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට සිය අමාත්‍යංශය මගින් ඉන්ධන දීමනා වෙන්කර තිබියදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස ශ්‍රීලන්කන් සමාගමෙන් රුපියල් 28 ලක්ෂ පනස් තුන්දහස් නවසිය තිස්පහක මුදලක් මෙම සැකකරු විසින් ගෙවා තිබෙන බව පැවසීය.

ආරම්භයේදී මාස් පතා රුපියල් 50,000 බැගින් ඉන්ධන දීමනා වශයෙන් ගෙවා ඇති අතර පසුව එම මුදල මසකට රුපියල් 75,000ක් දක්වා වැඩිකර තිබෙන බවත් එම කොමිසමේ නිලධාරියා කියා සිටියේය.

මේ තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බව එම නිලධාරින් පැවසීය.

කෙසේ වෙතත් මෙම ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් අල්ලස් කොමිසම කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාල සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර සැකකරුගේ විදේශ ගමන් කරන බවත් නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල ජුලි මස 28 වන දා කැඳවීමටද නියම වුණි.