රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ……

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.

තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

ඉදිරිපත් වූ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව නියෝග කළේය.

අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කරන ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා -සර්වජන බලය……

අධිකරණයේ ස්වාධීනත්වයට රජය විසින් එල්ල කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව සර්වජන බලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර ඇත්තේ, අදාළ ප්‍රකාශ නිර්ලජ්ජිත, ප්‍රකෝපාකාරී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ආරක්ෂා කළ නොහැකි ඒවා වන බවය.

අධිකරණය විධායකයේ අභිමතයට නතු කර ගැනීමට සිතාමතා කරන ලද උත්සාහයක් බව ද එහි සඳහන්ය.

මෙය හුදු දේශපාලන විවරණයක් නොව මෙය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල කරන ලද ප්‍රහාරයක් බව සර්වජන බලය අවධාරණය කරයි.

ආණ්ඩු බලයට පත්වී බිඳ වැටෙයි, දේශපාලන බහුතරයන් ඇතිවී නැති වූව ද පරම්පරා ගණනාවක් පුරා ගොඩනැගූ යුක්තියේ ආයතනය වරක් බිඳ වැටුණු පසු ඒ්වා යථා තත්ත්වයට පත් කිරීමට පහසු නොවන බව ද ඔවුන් පෙන්වා දෙයි.

අධිකරණය විධායකයේ අභිමතය පරිදි ක්‍රියා කරන මෙවලමක් බවට පත් කිරීමට ඉඩ නොදෙන බව ද සර්ජන බලය වැඩිදුරටත් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නංවාලීමට රුසියාවෙන් පූර්ණ සහාය……

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පූර්ණ සහාය ලබාදෙන බව එරට සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) මහතා අවධාරණය කරයි.

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

විශේෂයෙන් කෘෂිකාර්මික හා නාගරික ප්‍රදේශවල රෝග 42ක් හඳුනාගත හැකි AI තාක්ෂණික උපකරණ පද්ධතියක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කල නිවේදනයේ සඳහන් වේ.

මෙරට වෛද්‍යවරුන් සඳහා රුසියාවේදී උසස් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීමට මිත්‍රත්වයේ දෑත් දිගු කරන බව රුසියානු අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

දෙරට අතර ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම්දාමය ශක්තිමත් කිරීමටත්, මෙරට පවතින බලශක්ති ගැටලුවලට සහාය වීමටත් රුසියාව සූදානම් බව මිහායිල් මුරාෂ්කෝ මහතා පවසා තිබේ.

ඉදිරියේදී දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර නිල අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර, රුසියාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධතිය සහ AI තාක්ෂණික ප්‍රතිකාර සේවා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නිලධාරීන්ට රුසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස මිහායිල් මුරාෂ්කෝ මහතා ආරාධනා කළ බව සඳහන් වේ.

‘දිනන දකුණ’ සංවිධානයෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක්……

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ‘දිනන දකුණ සංවිධානය ප්‍රශ්න 5ක් ඇතුළත් ලිපියක් යොමුකර තිබේ.

අදාළ ප්‍රශ්න සඳහා ලේකම්වරයාගෙන් සෘජු සහ සාක්ෂි සහිත පිළිතුරු බලාපොරොත්තු වන බව එම ලිපියේ සඳහන් වේ.

ඒ තුළින් අදාළ ප්‍රශ්නවලට සෘජු හා සාක්ෂි සහිත පිළිතුරු ලබාදෙන ලෙස ඔවුන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණි.

අදාළ ප්‍රශ්න,

1.ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් නිශ්චිත දිනය කවදාද?

2.ඔබ එම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරගනු ලැබුවේ නම්, එය සිදුකළ නිශ්චිත දිනය කවදාද?

3.ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ඔබ නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය (එකී නීතිමය ප්‍රතිපාදන යටතේ) ලබාගත් දිනය කවදාද?

4.ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන අවස්ථාව වනවිට ඔබ නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කරගෙන තිබුණේද? නොඑසේ නම් එය ඉවත්කරගැනීම සඳහා අයදුම්පතක් පමණක් ඉදිරිපත් කර තිබුණේද?

5. දැනට සමාජය තුළ සංසරණය වෙමින් පවතින 2010.02.03 දැනැති C19090060828 අංකය ඔබගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාළ අංකයක්ද නැතහොත් එය සමාජය නොමග යැවීම සඳහා සංසරණය වන තොරතුරක්ද?

අග්‍රමාත්‍ය හරිනි සහ මාලදිවයින් ජනාධිපති අතර හමුවක්……

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මෙරට ඉහළ පෙළේ නායකයින් සමඟ සුහද හමු කිහිපයක් පවත්වා තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ජනාධිපති මුයිසුගේ නායකත්වයෙන් යුත් මාලදිවයින් දූත පිරිස ඊයේ (03) මෙරටට පැමිණි අතර ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පිළිගනු ලැබුවේ, අගමැති අමරසූරිය විසිනි.

මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද (04) උදෑසන කොළඹදී පැවැත්විණි.

එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කරන ලද අතර, එය බහුවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වූ පොදු කැපවීම පිළිබිඹු කරන බව සඳන්ය.

සංචාරක, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාරය සහ ආරක්ෂක යන ක්ෂේත්‍රවල සහයෝගීතාව මෙම ගිවිසුම් මගින් ආවරණය කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීමේ ලිපි…..

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා අතින් අද (04) සිය පත්වීම් ලිපි ලබාගත්තහ.

සිදත් වෙත්තමුනි,  තුශිර රදැල්ල, ප්‍රකාශ් රාෆ්ටර්, සහ අවන්ති කොළඹගේ යන අය ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි මෙලෙස  ගන්නා ලදී.

ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉකුත්දා ඉල්ලා අස්වූ අතර ඒ සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.

මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්……

මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඔහු පවසන්නේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වන විමර්ශන අඛණ්ඩව සිදුවෙමින් පවතින බවය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා මේ බව කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම කලක පටන් මෙරට තුළ ඉතාමත් නිදහසේ පැවති බවත් එය පිරිසකගේ ආශිර්වාදයෙන් හා බලපෑම යටතේ ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා

” මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ ඉතාමත් නිදහසේ පැවතිච්ච දෙයක් සෑහෙන පිරිසකගේ ආශිර්වාදය බලපෑම යටතේ තමා ඒක කෙරුණේ.. නමුත් දැන් එහෙම වෙන්නේ නෑ ක්‍රමානුකූලව ඒවා පාලනය කරලා තියෙනවා.. ඒවා මේ රටෙන් තුරන් කරන්න ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම මේ දවස්වල නාවික හමුදාව ලොකු කාර්යභාර්යක් කරනවා.. ඊට අවශ්‍ය කරන තීන්දු තීරණ අරන් තියෙනවා.. මහජන ආරක්ෂක අමාත්‍යංශයට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙනවා.. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමනුකූලව නැති කරලා දානවා.. ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා.. මේවට සම්බන්ධ මහමොළකරුවන්ට, බිස්නස් කරන අයට ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් වෙන්න වෙයි”

රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට…..

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද උදෑසන 10.20ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, කොළඹ ජාතික රෝහල සහ වෛද්‍ය විද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිතය.

භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්……

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සියලු විමර්ශන කටයුතු සිදු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මුදල් අමාත්‍යංශය හරහා ද මේ සමබන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වන බවද ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විෂ ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම හා සම්බන්ධ වෙමිනි.

චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත් ද යන්න සෙවීම පරීක්ෂණවලින් සිදු කරන බවත් එසේ සිදුව නොමැති නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්න ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සිය අරමුණ වන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

”සියලු විමර්ශන කටයුතු සිදුවෙනවා.. මුදල් අමාත්‍යංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණයකුත් සිදු වෙනවා.. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසයේ සිදු කරන ලද පැමිණිල්ල අනුවත් කටයුතු සිදු වෙනවා.. අපිට ඕනකම තියෙන්නේ චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිපදෙනෙකු මේකට සම්බන්ධ වුණා ද කියලා හොයා ගන්න.. එහෙම නොවුණා නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්න ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කර ගන්න එක.. ඒ අනුව ඒ දෙපැත්තටම අපි කටයුතු කරගෙන යනවා..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ අල්ලස් කොමිසමෙන් කටයුතු සිද්ධ වෙලා ඉන් පසු පියවර තමා නඩු පැවරීමේ කටයුතු සිදු කරන එක.. එම නඩුවලට අදාළ දින මේ වන විටත් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.. අදාළ පාර්ශවයන් දන්නවා කවද්ද නඩු දිනේ කියලා.. ඒක සාමාන්‍යයෙන් Common Knowledge එකක්.. ඒක තමා මැයි දින රැලිවල වේදිකාවේ කියවුණේ.. කොහොමත් ඉදිරි දිනවල එම නඩු ප්‍රකාශය පත්වෙලා තියෙනවා.. ඒ අනුව නඩු කටයුතු සිද්ධ වෙයි”

අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන මහින්ද පාර්ශ්වයෙන් ප්‍රකාශයක්……

එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල නොතීසියක් හෝ දැනුම්දීමක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

අදාළ සිදුවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්, නීතිඥ මනෝජ් ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ලැබීමට නියමිත අධිකරණ තීන්දු පිළිබඳව පූර්ව නිගමන ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් ලෙස ද එම නිවේදනය මඟින් පෙන්වා දි තිබේ.

අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කළද, වත්මන් රජයට එල්ල වී ඇති ගල්අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කර ඇත.

අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත්, දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය ලබා නොදී අනෙකුත් මහා පරිමාණ වංචා පිළිබඳවද ස්වාධීනව පරීක්ෂණ පවත්වන්න ලෙසත් අදාළ නිවේදනය මඟින් සඳහන් කර තිබේ.

එමෙන්ම රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතුවලට බිය නොවන බවත්, අවශ්‍ය අවස්ථාවලදී නීත්‍යානුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් අදාළ නිවේදනයේ දක්වා ඇත.