කොළඹ මහනගර සභා අයවැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්….

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම වාරණ නියෝගය දින 14ක් බල පැවැත්වෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රව්ෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට නොතිසි නිකුත් කිරීමටද නියම කර ඇත.

ඉකුත් දෙසැම්බර් 31වනදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී තමා ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැමිණිලිකාරිය කියා සිටියාය.

එදින සිය පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කෙරුණු අතර එතැන් පටන් දින හතක් තුළ දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පක්ෂයෙන් තමන්ට නියම කළ බවත් ඇය සඳහන් කළාය.

එම ලිපිය තමන්ට ලැබුණේ ජනවාරි මස 02වනදා බවත් ඇය මෙහිදී කියා සිටියාය.

ඉන් පසුව පසුගිය 09 වනදා තමන් පක්ෂ මූලස්ථානයට ගොස් සිය විරෝධතා භාරදීමට ගිය අවස්ථාවේදී ද්වේශ සහගත ලෙස එය භාර ගැනීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඉන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ලිපියක් නිකුත් කෙරුණු බවත් ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටියාය.

සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර පත් කෙරේ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.

1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 වර්ෂයේදී එක් වූ ඒ මහතා දිසා කොමසාරිස්වරයෙකු, බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර තිබේ.

ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති ඒ මහතා ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් දරමින් මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර ඇත.

ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවන බව නාමල් කියයි….

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්  පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේට පසුගියදා වනචාරියා ලෙස හඳුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ ආගමික නායකයෙකුට අපහාස කිරීම තමා තරයේ හෙළාදකින බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්, නොකළ යුතුය”  ලෙස දක්වා ඇති අතර ලාල්කාන්ත මෙහිදී ආගමික ද්වේෂය පතුරවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

නීතිය සැමට සමාන නම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාද යන්න තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද ඔහු පැවසීය.

සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කළා නම් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල්කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් ඔහු පවසයි.

දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

අල්ලස් චෝදනා එල්ල වූ අධිකරණ රෙජිස්ටාර්වරයෙකුට දුන් තීන්දුව…..

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම සැකකරු අද (12) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම තීන්දුව ලබා දී තිබුණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බව මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව අදාළ සැකකරු ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

වැලිමඩ දිසා අධිකරණයේ වසර තිහක් පමණ විභාග වූ ඉඩම් නඩුවක තීන්දුව පරිදි භුක්තිය නිසියාකාරව භාරදීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම මේ වසරේ පළමු කාර්තුවේ දී අවසන්…..

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මෙරට කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2027 වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය ඒකාබද්ධව සැමරීමට ද දෙපාර්ශ්වයම එකඟව වූ බවය.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම මෙම රැස්වීමේ අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක් පැවති සුහදත්වය සහ දශක හතකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු තහවුරු වූ දිගුකාලීන මිත්‍රත්වය සහ කාලානුරූපී සහයෝගීතාවය අමාත්‍යවරුන් දෙදෙනාම නැවත තහවුරු කළ බව සඳහන් වේ.

වෙළඳාම, ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක යන ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වේගවත්ව යථා තත්ත්වයට පත් වනු ඇතැයි විශ්වාස කරන බවද චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසා ඇත.

කථානායකවරයා පැවසු බවට ප්‍රචාරයවන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්…..

“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත ” යන මැයෙන් ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අසත්‍යයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය අවධාරණය කර ඇත්තේ අදාල අසත්‍ය පුවත කිසිදු පදනමකින් තොරව පලකර ඇති බවට කථානායකවරයා දැනුම් දී ඇති බවය.

එමෙන්ම කථානායකවරයා කිසිදු අවස්ථාවක එවැනි සේවක පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට  උපදෙසක් ලබා දී නොමැති බවද පාර්ලිමේන්තුවේ මහලේකම්  කාර්යාලය දන්වා තිබේ.

තවද භෝජනාගාර අංශය ඇතුළු ඇතැම් සේවකයන් හොර රහසේ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ සිගරට් පාවිච්චි කරන බවට තොරතුරු ලැබීමෙන් පසු කථානායකවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවට ප්‍රචාරය වන පුවතද අසත්‍ය බව සහ මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩදීම සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද පළවන වාර්තාවල ද කිසිදු සත්‍යතාවක් හා පදනමක් නොමැති බවද මහලේකම්  කාර්යාලය වැඩිදුරටත්  අවධාරණය කර සිටී.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශය වහා ඉල්ලා අස්කර ගත යුතු බවට ජාතික සංඝ සම්මේලනය කියයි…..

මහා සංඝරත්නයට නින්දිත හා පහත් ආකාරයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නේ නම් එහි අනිටු විපාක වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇති බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් පවසයි.

දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මත ගැටුම් ඇති වූවද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහස සිදුකර නොමැති බවය.

අද මහනුවර මඩවල ජනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ජාතික සංඝ සම්මේලයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමි මෙලෙස අදහස් පළ කළහ.

“රට කාබාසීනියා කරන කූඨ උපක්‍රම නියායපත්‍රයන් කසකැවෙනවානම් ඒවාට අභියෝගකරන්න අයිතිය අපිට අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ ඉදලම මහා සංඝරත්නය ඒ වෙනුවෙන් කතා කළා ඉතින් අපි දැක්කා ලාල්කාන්ත මහතා කැළේ සත්තුවගේ එළියට ඇවිල්ලා වනචාරී පහත් තුච්ච ප්‍රකාශයක් සිදුකළා. අපි ඒ ඇමතිවරයාට කියන්න ඕනේ කරුණාකරලා ඔබගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න ඕනේ. මන්දයත් එහෙම නොවුනොත් හේ රට කොටි පැත්තට යන්නේ කියලා අපිට හිතාගන්න බැහැ. කරුණාකරලා අපි කියනවා ජනාධිපතිතුමෙනි මෙයා ඉක්මනින්ම බැදලා දැම්මේ නැති වුණොත් එහෙම මේ රට මීට වැඩිය අනතුරකට පත්වෙනවා ඒක වළක්වාගන්න කිසිකෙනෙක්ට බැහැ. කරුණාකරලා ඔබතුමාලා මේ සංස්කෘතිය ඇතුළේ වෙනස් වුණේ නැති වුනොත් එහෙම මේ රටේ ජනතාව ඉතා ඉක්මනට ප්‍රතිචාර දක්වයි කියලා.” 

තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට…..

වැලිකන්දේ දී පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇත.

එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර, පසුව එම යතුරුපැදිකරු නිවසට ගොස් තිබේ.

පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාව ලුහුබැඳ නිවසට යෑමේ දී එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන් පහර දීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී පොලීසිය වෙඩිතැබීමක් සිදුකර ඇත.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව 28 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

මීට පෙර මොහු මත්ද්‍රව්‍ය චෝදනා 7ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති අතර මේ වනවිට තවත් අපරාධ චෝදනා දෙකක් සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බවද පොලීසිය සඳහන් කළේය.

යතුරුපැදියේ ගමන් ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා සොයා පොලිස් විමර්ශන සිදුකෙරේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ගැන CIDයෙන් විමර්ශනයක්….

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් අනුව, නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වූ බව සඳහන් කර ඇත.

එම ගැටලුව යථාවත් කර ගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති පොලීසිය පවසයි.

කෙසේ නමුත්, මෙම අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලි බවක් නිරීක්ෂණය වූ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අමාත්‍යංශ ලේකම්වරයා  පසුගිය 09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ලට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

තවද, මහජන ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින්ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බව නිවේදනයේ සඳහන් වේ.

මැල්සිරිපුරදී මාරක අනතුරක්…..

මැල්සිරිපුර නාබැට ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි තවත් ලොරි රථයක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථවල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.