උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු අරඹයි….

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (11) ආරම්භ කෙරුණි.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය  බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) ආරම්භ කෙරුණි.

ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කළ අමෙරිකානු ඩොලර් මිලියන 450ක මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක් මේ සඳහා යොදවා ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රතිසංස්කරණ ඉන්දීය රජයට අයත් දුම්රිය මාර්ග ඉදිකිරීම් සමාගමක් විසින් සිදුකිරීමට නියමිතයි.

මෙහිදී උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වාත් ඕමන්ත සිට යාපනය දක්වාත් සහ මැදවච්චිය සිට මන්නාරම දක්වා කොටස් තුනක් යටතේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නියමිතව පවතී.

චීන විදෙස් ඇමති වැන්ග් ඊ අද රාත්‍රීයේ දිවයිනට….

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා හෙට (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත අතර එහිදි දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යලි ගොඩනැගීම පිලිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිලිබඳ දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

උසස් පෙළ විභාගයේ කල් දැමුණු ඉතිරි විෂයන් හෙට සිට…..

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට (12) දිනයේ සිට පැවැත්වීමට නියමිතව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ හෙට දිනයේ සිට ලබන 20 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බවය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 කදී විභාගය පැවැත්විමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් පිහිටුවා ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතා පත්‍ර අස්ථාන ගතවී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට විභාග අපේක්ෂකයින්ට අවස්ථාව සලසා ඇති බව සඳහන් වේ.

පෙර කාලසටහනේ පැවති විභාග කටයුතු සිදුකරන වේලාවන් සංශෝධිත කාලසටහන තුල ද නොවෙනස්ව පවතින අතර විභාගය ආරම්භ වීමට මිනිත්තු 30කට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය.

ගංවතුර අවධානම් තත්ත්වය පහව ගොස් ඇති බවට දැනුම්දීමක්…..

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය මගින්  2026.01.07 දිනයේ නිකුත් කරන ලද ගංවතුර සඳහා සූදානම් වීමේ පූර්ව දැනුම් දීම නිවේදනය මගින් සිදු කරන ලද ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බව දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ) ඉංජි. එල්. එස්. සූරිය බණ්ඩාර මහතා මේ බව දැණුම් දී ඇත.

දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සහ ගංඟාවල ජල මට්ටම් වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන අතර, ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පුර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්…..

දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බව ද  ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් මේ වනවිට ඩිජිටල් භාවිතය පිළිබඳ ළමා ආරක්ෂණය පැතිකඩ තුළින් අධ්‍යනයක් සිදු කර ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙළ කර ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය එය ඉදිරියේදී  ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බවත් පැවසුවාය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් එම ආයතනය වෙත කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ගුරුවරුන්ගෙන් 92%ට ආසන්න ප්‍රමාණයකට‌ මේ සඳහා අවශ්‍ය කරන පුහුණුව ද මේ වනවිට ලබාදී ඇති බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ පසුගිය මාසවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සැලැසුම් කළ පරිදි ඇතැම් පළාත්වල ගුරුවරුන්ට එම පුහුණු ලබාදීමට නොහැකි වූ බවය.

ඒ අනුව එම ගුරුවරුන්ට එක සහ හය ශ්‍රේණියේ පාසල් වාර ආරම්භවීමට පෙර එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

එමෙන්ම මෙම අධ්‍යාපන කටයුතු කිරීමේදී අන්තර්ජාල භාවිතය අවශ්‍ය නොවන බවත් එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවකාශය සලසාදී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින් අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවය.

එමෙන්ම ඉදිරියේදී සිසුන් ඇගයීම් පරිගණක යෙදවුමක් හරහා සිදු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන් 2025 වසරේදී ක්‍රියාත්මක කර ඇති බවත් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

වැලිසරට නව බන්ධනාගාරයක්…..

වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

විපක්ෂයේ ඉල්ලීමක් කථානායක ප්‍රතික්ෂේප කරයි….

අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත් වික්‍රමරත්න ප්‍රතික්ෂේප කර තිබේ.

අද (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කර ඇත.

තම තීන්දුවේදී කථානායකවරයා ප්‍රකාශ කළේ, අධිකරණයට ඇඟිලි ගැසීමට ව්‍යවස්ථාදායකයට බලයක් නොමැති බවය.

එවැනි කමිටුවක් පිහිටුවීම බලතල බෙදීමේ ව්‍යවස්ථාමය මූලධර්මය උල්ලංඝනය කරන බව ඔහු තවදුරටත් පැවසීය.

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්…..

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද ඉදිරියේ දී කටයුතු සිදුකරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අම්බුළුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි, සංචාරය සඳහා යා හැකි සොදුරු ස්ථානයකි. මෙය ගම්පොළ නගරයට පිවිසෙන සියලුදෙනාට ඉතා අලංකාරවත් අයුරුදින් දිස්වෙන කඳු මුදුනක් වන අතර, එහි මේ වනවිට ඉදිකර ඇති අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

ගම්පොළ, හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ විට කිලෝමීටර් 5ක් පමණ දුරකින් අම්බුළුවාවට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුව පිහිටා ඇති අතර, එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ කඳු මුදුනට ගමන් කිරීමෙන් අම්බුළුවාව විහාරයට ළඟාවිය හැකියි.

අම්බුළුවාව අක්කර 927ක භූමියකින් යුත් ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ඉහළ ජෛව විවිධත්වයක් ඇති සුන්දර පරිසර පද්ධතියකි.

කඳු මුදුනේ වී බිස්සක හැඩයෙන් යුතුව අම්බුළුවාව සෑය නිර්මාණය කර ඇති අතර, මෙය අඩි 400ක් පමණ උසකින් යුතු බව පැවසේ.

මෙම සෑය ඉහළට නැගීම අතිශය ත්‍රාසජනත අත්දැකීමක් වන අතර, ඊට දෙස් විදෙස් සංචාරකයින් බොහේ සෙයින් කැමැත්තක් දක්වයි.

ගාල්ල අධිකරණ භූමියේ ගින්නක්….

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අසල කසල ගොඩක ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව මේ වන විට ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට….

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද රාත්‍රි 7.54ට පමණය.

හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

එහිදි එම හිමිකරුගේ හිසට වෙඩි වැදී ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙම වෙඩිතැබීම මේ වසරේ දෙවැනි වෙඩිතැබීම වන අතර, මේ වනවිට වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.