ආනයනික කිරිපිටි මිල අඩු වෙයි…..

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව  ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමටද ඔවුන් එකඟවී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යාංශය පැවසුවේ අප්‍රේල් මාසයේදී යළිත් කිරිපිටි මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “පිටිපන කොත්තුවා” අත්අඩංගුවට….

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහ එගොඩගේ නිමේෂ් රන්දික පෙරේරා නොහොත් “පිටිපන කොත්තුවා” නැමැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශගතව සිටින පාතාල අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හඳයා නැමැත්තාගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ආමි අසංගට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය මෙම සැකකරු විසින් හෝමාගම පොලිස් බල ප්‍රදේශය තුළ තොග සහ සිල්ලර ලෙස අලෙවි කරන බවත් වාර්තා විය.

සැකකරු සම්බන්ධව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සිදුකරන ලද ආවේක්ෂණයේදී ලබා ගන්නා ලද තොරතුරු මත එම බළකායේ කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 17,830ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20,320ක් ද මෙහිදී නිලදාරීන් සිය භාරයට ගෙන තිබේ.

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ පොලිස් ස්ථාන මගින් වැටලීම සඳහා පැමිණීමේදී වැටලීම් සිදු කිරීමට අපහසුවන පරිදි නිවසට පැමිණෙන මාර්ගයේ සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධති සවි කරමින් වන අතර නිලධාරීන්ට නිවස පිහිටි භූමියට ඇතුල්වීමට නොහැකි වන පරිදි උස් දැල් ආවරණයක්ද, නිවස පරීක්ෂාව වැළැක්වීම සඳහා ප්‍රචණ්ඩකාරීව හැසිරීමට පුහුණු කරන ලද දරුණු ගණයේ සුනඛයින් ද යොදා ගනිමිනි.

සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන ගණනාවකින් අත්අඩංගුවට ගෙන නඩු පවරා අධිකරණය වෙත ඉදිරිපත් කර වැරදිකරු කර ඇති අතර සැකකරු විවිධ උපක්‍රම භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අනාවරණය කරගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී සොයා ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ෂන සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර රඳවා ගබා ගැනීමේ නියෝග මත ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

මෙරටින් නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් අගමැතිනිය හමුවෙයි…..

සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය අද ( 14) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තානාපතිවරිය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, තම ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ජූලි චන්ග් මහත්මිය විසින් ලබා දුන් සේවය සහ දායකත්වයට සිය කෘතඥතාව පළ කළාය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ හදිසි තත්ත්වයෙන් රට යථා තත්ත්වයට පත් කරගැනීමට ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැසසුමට ලක් කළාය.

සිය ධූර කාලයේ දී ශ්‍රී ලංකා රජය විසින් තමාට ලබා දුන්  අන්‍යෝන්‍ය සහයෝගය පැසසුමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය, ශ්‍රී ලංකා නව රජයට සිය කෘතඥතාව පළ කළ අතර, දෙරට අතර දිගු කාලීන හවුල්කාරිත්වය තහවුරු කළාය.

Fulbright ශිෂ්‍යත්ව වැඩසටහන සහ එක්සත් ජනපද සාම බලකා (Peace Corps)  වැඩසටහන යටතේ දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ අතර, දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය සහ දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Jayne Howell මහත්මිය, මහජන හා සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක Menaka Nayyar මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය සහභාගී වූහ.

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි….

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව,

1. මානව සම්පත් සංවර්ධනය
2. යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ
3.තක්සේරු සහ ඇගයීමේ කටයුතු
4. විෂයමාලා සංවර්ධනය
5. මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය
 යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට…..

සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/-ක් සහ රුපියල් 132/-ක් ලෙස මිලදී ගෙන ඇත.

එහෙත් ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම වැඩි දියුණු කිරීම සඳහා එම වී වර්ගවල අවම මිල ගණන් සංශෝධනය කිරීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුව නිර්දේශ කර තිබේ.

එම නිර්දේශයන් පදනම් කර ගනිමින් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව තීරණය කර ඇත්තේ, නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටය.

ඒ සමඟම, සම්බා වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 125/- සිට රුපියල් 130/- දක්වාත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 132/- සිට රුපියල් 140/- දක්වාත් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

මෙම තීරණය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම්වත් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්…..

සුළි කුණාටුවකින් පීඩාවට පත් මෙරට ජනතාවට බෙදාදීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇත.

එම සහල් තොගය ලබාදීම නිල උත්සවය එරට යැංගොන් වරාය පරිශ්‍රයේ දී අද පැවැත්විණි.

මෙම අවස්ථාවට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රභාෂිණී පොන්නම්පෙරුම ඇතුළු එරට නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව තිබේ.

විපක්ෂය ගේන්න යන විශ්වාසභංගය ජනවාරි 22 සහ 23 විවාදයට ගන්න සූදානම්…..

අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවත්, විපක්ෂය කඩිනමින් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ජනවාරි 22 සහ 23 යන දින දෙක මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමටද රජය සූදානම් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

විපක්ෂය අග්‍රාමාත්‍යවරියට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ විට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සත්‍යය සහ යථාර්ථය ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කිරීමට රජයට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රජය ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ එහි අවශ්‍යතාව පිළිගන්නා බවත්, 06 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධනයකට ලක්විය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළහ.

ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය,  අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යාන්ත්‍රණයක අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කිරීමටද ඔවුන් මෙහිදී යෝජනා කළහ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බවත්, සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදුකළ නොහැකි බවත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙසද ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනා කළේය.

රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී ගුරු වෘත්තීය සංගම් නියෝජිතයන් දැනුවත් කළ ජනාධිපතිවරයා  පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන නමුත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟ හරවා ගනිමින්  06 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ  ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූපවාහිනි සහ පරිගණක වැනි යටිතල පහසුකම් දෙමාපියන්ගේ මුදලින් නොව රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අන්තර් පළාත් ගුරු මාරුවීම්, උසස්වීම්, වැටුප් විෂමතා සහ විදුහල්පති සේවාවේ ගැටලු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන සමූපකාරයේ සභාපති එම්.ජී.පී.එල්. ලාල් කුමාර,  විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු ගුරු වෘත්තීය සමිති සංගම් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ මීට එක්ව සිටියහ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ මහනගර සභා අයවැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්….

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම වාරණ නියෝගය දින 14ක් බල පැවැත්වෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රව්ෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට නොතිසි නිකුත් කිරීමටද නියම කර ඇත.

ඉකුත් දෙසැම්බර් 31වනදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී තමා ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැමිණිලිකාරිය කියා සිටියාය.

එදින සිය පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කෙරුණු අතර එතැන් පටන් දින හතක් තුළ දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පක්ෂයෙන් තමන්ට නියම කළ බවත් ඇය සඳහන් කළාය.

එම ලිපිය තමන්ට ලැබුණේ ජනවාරි මස 02වනදා බවත් ඇය මෙහිදී කියා සිටියාය.

ඉන් පසුව පසුගිය 09 වනදා තමන් පක්ෂ මූලස්ථානයට ගොස් සිය විරෝධතා භාරදීමට ගිය අවස්ථාවේදී ද්වේශ සහගත ලෙස එය භාර ගැනීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඉන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ලිපියක් නිකුත් කෙරුණු බවත් ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටියාය.

සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර පත් කෙරේ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.

1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 වර්ෂයේදී එක් වූ ඒ මහතා දිසා කොමසාරිස්වරයෙකු, බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර තිබේ.

ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති ඒ මහතා ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් දරමින් මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර ඇත.