සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….

සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ වන විට ප්‍රදේශවාසීන්ගේ හා ජීවිත ආරක්ෂක කණ්ඩායමේ සහායෙන් එම මවගේ ජීවිතය බේරා ගැනීම්ට හැකිව තිබෙන අතර දරුවන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පමණ වයසේ පසුවන දෙදරු මවක් සහ අවුරුදු 4 හමාරක් සහ අවුරුදු 8 ක් වන දැරියක් සහ පිරිමි දරුවකු අද (02) උදෑසන 6.30 ට පමණ අනුරාධපුර නගරය ආසන්නයෙන් මල්අතු ඔයට පැන ඇති බව පොලීසිය පවසයි.

මෙම දෙදරු මවගේ සැමියා විදේශගතව සිටින බවත් පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලීසිය සඳහන් කළේය.

කාන්තාවක් කෑ ගසන හඬ මල්අතු ඔය අසබඩ සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව එම පුද්ගලයා විසින් කාන්තාව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර තිබේ.

මේ වන විට දරුවන් දෙදෙනා සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක අංශය මෙහෙයුම සිදුකරනු ලබයි.

නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….

පසුගිය 27 වනදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑමකට ලක්වූ මහනුවර, උඩත්තව, නෙළුම්මල ප්‍රදේශයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 31 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

ජීවිතේ කිසිවෙකු නොසිතූ නිමේෂයක කිලෝ මීටර් 5ක පමණ දුරක් කඳු මුදුනේ සිට කඩා වැටුණු මහා පස් කන්දක් මෙම ගම්මානය වසා ගෙන තිබුණි.

ඉතා සුන්දර වෙල්යායකට මැදිව පිහිටා තිබූ මෙම ගම්මානයට උඩින් පිහිටා ඇති යහන්ගල කඳු වැටිය හා නක්ල්ස් කඳු වැටියෙන් කොටසක් මෙලෙස කඩා වැටී තිබුණි.

ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..

ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 50ක් බැගින් මුදල් ලබාදි තිබෙන බවද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ආපදාවෙන් විපතට ජනතාවට සහන ලබාදීමේ එම සහනවල ප්‍රමාණයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙන බවත්, හදිසි ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් මිලියන 50 දක්වා ලබා දි තිබෙන බවත් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේය.

එසේම වියළි ආහාර සඳහා මෙතෙක් සිදු වූ මුදල් බැංකුගත කිරීමට අමතරව අවශ්‍යතාව අනුව වියළි ආහාර ද්‍රව්‍ය මලු වශයෙන් ලබාදීමට අනුමැතිය ලබා දී තිබෙන බව පැවසූ සහකාර ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරුන්ට තමන්ගේ ප්‍රදේශයේ පවතින සුවිශේෂී තත්ත්වයන් අනුව සුදුසු කමිටුවක් මගින් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන බවත් පැවසීය.

විශේෂයෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය සඳහා ලබා දෙන මුදල් දින 07ක් සඳහා එක් පවුලකට ලබාදෙන බවත්, එය අවශ්‍යතාව පරිදි වැඩි කරගත හැකි බවත්, තනි පුද්ගලයෙකුට රුපියල් 2100ක්, සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 4200ක් සහ සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 6300ක්, සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 8400ක් සහ සාමාජිකයන් පස් දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින පවුල්වලට රුපියල් 10,500ක් වශයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා, සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසීය.

ජල ගැලීම්වලින් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස යම්කිසි ආකාරයකින් නැවත මඩ, පස්, සුන්බුන් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර ගැනීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා 1(2025) චක්‍රලේඛයේ 5(2) වගන්තිය සංශෝධනය කර තිබෙන බවත්, ඒ අනුව මෙම ආපදාවට මුහුණ දුන් සෑම නිවසකටම එහි සනීපාරක්ෂක තත්ත්වයන් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ පදිංචියට සුදුසු නිවසක් බවට පත් කර ගැනීමට රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව අදාළ අත්තිකාරම් මුදල් ලබාදීමේදී නිවසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ  සෑම පුද්ගලයකුටම ලබාදීමට කටයුතු යොදා තිබෙන බවත්, ඊට අදාළ චක්‍ර‍ලේඛය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ නිකුත් කළ බවත් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේය.

තීව්‍ර ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව සඳහන් කළ ඒ මහතා, මේ කාලය තුළ සහන සේවා නිලධාරීන් ඉතා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බැවින් සිය සම්පූර්ණ සහාය ඔවුන්ට ලබා දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….

ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

මේ වන විට මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ පුවත් සමාජගත කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවත්, අදාළ පැමිණිලි සම්බන්ධව පරිගණක විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පශ්චාත් ආපදා සමයේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් සහ සැපයීම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද පුවත් සමාජගත කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවත් සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සහ පළ කිරීම ඉතා වැරදි ක්‍රියාවක් බවත්, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

එම නිසා මේ ආපදා අවස්ථාවේදී රටම එකට එක්ව සිටින අවස්ථාවේදී සදාචාර විරෝධීව සත්‍යයෙන් තොර පුවත් සමාජගත නොකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් මහජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

රැඳවුම් මධ්‍යස්ථානවල ඇතුළු ආපදාවට ලක්වූ ප්‍රදේශවලින් යම් යම් අපරාධ සිදුවීම් වාර්තාවීමක් දක්නට ලැබෙන බවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රී දූෂණ, අයුතු ඇතුළු වීම්, සොරකම් සහ කොල්ලකෑම් සිදුකරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා රජය ප්‍රමුඛව ආපදාවට ලක්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරන ඒකාබද්ධ මෙහෙයුමට සියලුම දෙනාගේ ගෞරවණීය දායකත්වය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

එසේම මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් සහ කඩිනම් පියවර රැසක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන බවත්, එහිදී සංචාරකයන් සම්බන්ධව ඕනෑම ගැටලුවක් ඇත්නම් සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂකතුමන්ගේ 0718591894, 0112421070 හෝ 1912 ක්ෂණික දුරකථන අංකයට හෝ ගුවන් තොටුපළ (සංචාරක) ස්ථානාධිපති 0718596057 සහ ගුවන් තොටුපළ භාර ස්ථානාධිපති 0718591640 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට අමතරව පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම මත පොලිස් මූලස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂිත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, 0718595884, 0718595883, 0718595882, 0718595881, 0718595880 යන දුරකථන අංක අමතා ආපදාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධව හෝ ඕනෑම ගැටලුවක් යොමු කිරීමට මහජනතාවට මෙමඟින් අවස්ථාව උදා කරදී ඇත.

මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ සිදුවූ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇත.

මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කළේය.

විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහතික වී තිබේ.

ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට, ඉදිරියේදී අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්…..

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (01) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි….

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා (Akio Isamota) මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි.

මෙහිදී විපක්ෂ නායකවරයා විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබාදෙන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද අද මුණුගැසුණු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා පැවසුවේ ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැගී සිටීමට ආධාර උපකාර ලබාදීමට කටයුතු කරන ලෙසය.

මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය හමුවූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ආපදා තත්ත්වයෙන් හානිවූ සෞඛ්‍ය සේවා සහ පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙසය.

ආපදා මරණ 390 දක්වා ඉහළට….

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 390 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 352ක් අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇතැයිද නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15,688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

තවද දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක පවුල් 57,790ක පුද්ගලයින් 204,597ක් රැඳි සිටින බවත් එම මධ්‍යස්තානය සඳහන් කළේය.

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්….

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ.

මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය.

චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු මේ වනවිටත් දැනුම් දී ඇත.

දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්….

හෙට (02) සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන නිවේදනය කර තිබේ.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

හෙට දින සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්,1