NBRO මඟින් නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්….

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරනු ලබන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වනවිට රට තුළ ඇතිව තිබෙන ස්වභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය සඳහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර, මෙම ව්‍යසනය සියලුදෙනාට අභියෝගාත්මක වන බැවින් තත්ත්වය තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොරව මේ මොහොතේ කටයුතු කරන ලෙසත් ඉතා කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

– උපුටාගැනීම – 

තවද මෙවැනි (නායයෑම් වැනි) ස්වාභාවික සංසිද්දීන් කළමනාකරණය සදහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර මෙම ව්‍යසනය අප සියලුදෙනාහට අභියෝගාත්මක තත්ත්වයක් බැවින් අප සියලුදෙනා මෙම තත්ත්වන් තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් තොරව මේ අවස්ථාවේ ඉතා කැපවීමෙන් කාර්යයේ නියුතු නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවදීමෙන් කටයුතු කළ යුතුව ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතනයන් සහ අප ආයතනය මඟින් නායයෑම් සහිත ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ස්වංක්‍රීය වාර්ෂා මානයන්ගෙන් ලබා ගන්නා තත්කාලීන දත්ත පදනම් කරගනිමින් නායයෑම් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරනු ලබයි. 

මෙම පූර්ව අනතුරු ඇගවීම් ඉදිරි පැය 24ක කාලයක් සඳහා පමණක් නිකුත් කරනු ලබන අතර වර්ෂාපතනයේ වෙනස්වීම් මත පදනම්ව අදාළ අයුරින් යාවත්කාලීන කරනු ලබයි. 

තවද මෙම පූර්ව අනතුරු ඇගවීම් කලාපීය (Regional) මට්ටමින් නිකුත් කරනු ලබන අතර හදුනාගත් නායයෑම් අවදානම් ස්ථානයන්හි ජීවත්වන ජනයාගේ සහ අවදානම් බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනයාගේ ජීවිත ආරක්ෂා කරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා ඉලක්ක කරයි. 

කලාපීය මට්ටමින් නිකුත් කරනු ලබන පූර්ව අනතුරු ඇගවීමක් සමස්ථ ප්‍රදේශයක් ආවරනය වන පරිදි නිකුත් කළද එයින් එම ප්‍රදේශ තුළ අස්ථාවර ස්ථානවල නායයෑම් සම්භාවිතාව පිළිබදව දැනුම්දීමක් සිදුකරනු ලබන අතර එමඟින් සමස්ථ ප්‍රදේශයම නායයෑමකට භාජනය වන බව අදහස් නොකරයි. 

මෙම කලාපීය පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමේ ක්‍රමවේදය ලෝකයේ අනෙකුත් රටවල් භාවිතා කරන සම්මත විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුගතව සිදුකරනු ලැබේ. 

තවද මෙවැනි (නායයෑම් වැනි) ස්වාභාවික සංසිද්දීන් කළමනාකරණය සඳහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින අතර මෙම ව්‍යසනය අප සියලුදෙනාහට අභියෝගාත්මක තත්ත්වයක් බැවින් අප සියලුදෙනා මෙම තත්ත්වන් තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් තොරව මේ අවස්ථාවේ ඉතා කැපවීමෙන් කාර්යයේ නියුතු නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇත.

– උපුටා ගැනීම අවසන් – 

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්…..

බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කිතුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට….

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වෙන්නප්පුව මා ඔය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.

බීඩි කොළ කිලෝ ග්‍රෑම් 626ක් අඩංගු පාර්සල් 17ක්, පළිබෝධ නාශක බවට සැක කෙරෙන පැකට් 60,000ක් අඩංගු පාර්සල් 20ක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුර සඳහන් කරයි.

සැකකරු අවුරුදු 27ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්….

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව දෙසැම්බර් 05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුණද පවතින ආපදා තත්ත්වය හමුවේ එම දිනය දෙසැම්බර් 12 වනදා දක්වා සංශෝධනය කර ඇති බවය.

මේ අතර 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2026 වසරේ 06 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත්වූ සිසුන් 2026 වර්ෂයේ ජනවාරි මස පාසල්වලට ඇතුළත් කිරීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම්පත්‍ර කැඳවීම් සිදුකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්….

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මෙම ආධාරය “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීමට උපකාරී වනු ඇති බව යුරෝපීය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ Red Crescent කණ්ඩායම් ආපදාවට පත්වූ අය වෙනුවෙන් සහන කටයුතු ආරම්භ කර ඇති අතර එම සංවිධාන හරහා ලබා දෙන යුරෝ ලක්ෂ 5ද මෙම මානුෂීය ආධාර ප්‍රදානයට ඇතුළත් බව යුරෝපා සංගමය සඳහන් කරයි.

මෙහිදී යුරෝපා සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආපදාවට පත් ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබා දීමට සූදානම් බවය.

බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….

කිලෝග්‍රෑම් 4කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුරකට අනුව අද (02) බේරුවල, ප්‍රදීපාගාර දූපතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 260ක තොගයක් මෙලෙස සොයා‌ගෙන ඇත.

මෙ‍ම මෙහෙයුම මගින් භාරයට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 68කට අධික බවට අනුමාන කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

ආපදා මරණ 465 දක්වා ඉහළට…..

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (02) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්,කුරුණෑගලින් මරණ 53ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දෙසැම්බර් මස 04 වන දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙන්නේ, ආපදා තත්ත්වයට පෙර දින රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, මහනුවර, හලාවත,  පුත්තලම සහ ගනේවත්ත යන දුම්රිය ස්ථාන වෙත ධාවනය වූ දුම්රිය බලවේග කට්ටල 39ක් දුම්රිය මාර්ගවලට දැඩි හානි සිදු වීම හේතුවෙන් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.

ඒ හේතුවෙන් පවතින මගී ධාරිතාවට සරිලන පරිදි දුම්රිය ධාවනය කිරීම ඉතා අපහසු කාර්යයක් වී ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කර බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,1 (1)

වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් හෙට (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව විල්පත්තු ජාතික උද්‍යානය (හුණුවිලගම පිවිසුම), යාල ජාතික උද්‍යානයේ පළවෙනි කොටස (පලටුපාන පිවිසුම), මින්නේරිය ජාතික උද්‍යානය හා කවුඩුල්ල ජාතික උද්‍යානය මෙලෙස විවෘත කිරීමට නියමිතය.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම උද්‍යානවල ඇතැම් මාර්ග මේ වන විටත් ජලයෙන් යටවී ඇති බැවින් මාර්ග පද්ධතියෙන් වාහන ගමනාගමනය සඳහා සුදුසු කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘත වන බවය.

මීට අමතරව සංචාරක නිවාස කිහිපයක්ද හෙට සිට විවෘත කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව කුමන ජාතික උද්‍යානය – තුම්මුල්ල හා කිරිගල්බේ සංචාරක නිවාස, හෝටර් තැන්න ජාතික උද්‍යානය – ගිනිහිරිය හා මහ එළිය සංචාරක නිවාස, විල්පත්තුව ජාතික උද්‍යානය – මරදන්මඩුව වන නිවහන, මින්නේරිය ජාතික උද්‍යානය – රඹවිල සංචාරක නිවාසය, යාල ජාතික උද්‍යානය – I කොටස හීන් වැව, ඔන්ඩච්චි පරණ බුතව, නව බුතව, මහා සීලව, යන සංචාරක නිවාස හෙට දින සිට විවෘත වනු ඇත.