“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා ජාතික ආපදා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජනතා පක්ෂයෙන් නිවේදනයක්….

මේ වන විට “දිට්වා” සුළි කුණාටුව හා අධික වැසි හේතුවෙන් දිවයින පුරා ගංවතුර, නායයෑම් සහ ඉතා බරපතල ආපදා තත්ත්වයක් උදා වී ඇත. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අප ලද තෙරතුරු  සහ අන්තර්ජාතික වාර්තා අනුව, මරණ සහ වැඩි සංඛ්‍යාවක් තුවාල සිදුවී ඇති අතර, ලක්ෂ ගණනක් පදිංචිකරුවන්ට ගංවතුර සහ නායයෑම් බලපා ඇති බව දක්වයි.

ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP) ලෙස, ජීවිත අහිමි වූ සියලුම පවුල් වෙත අපගේ ගැඹුරු ශෝකය සහ හෘදයාංගම සංවේගය ප්‍රකාශ කරමු, තුවාල ලැබූ සියලු දෙනාට සීඝ්‍ර ආරෝග්‍ය ලාභය ප්‍රාර්ථනා කරන අතර, බිය සහ අවිනිශ්චිතතාවයට මුහුණ දෙන සෑම පුරවැසියෙකු සමඟම අප ස්ථිරවම සහයෝගයෙන් සිටින්නෙමු.

මෙම ආපදා අවස්ථාවේදී පීඩාවට පත් සියලුම ජනතාව සමඟත්, ඔවුන්ට සහන සේවා සපයන සියලුම සහන සේවා ආයතන, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් සමඟත් ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරමින්, හැකි සෑම අයුරකින්ම ඔවුන්ට උදව් උපකාර කරන ලෙස දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ සියලුම දිස්ත්‍රික් නායකයන්ගෙන්, ප්‍රාදේශීය නායකයන්ගෙන් සහ සියලුම සාමාජිකයන්ගෙන් අපි දැඩිව ඉල්ලා සිටින්නෙමි.

 

මෙම තත්ත්වය හුදෙක් “ස්වභාවික විපතක්” පමණක් නොවන බව අපගේ දැඩි ස්ථාවරයයි. වගුරු බිම් ගොඩකිරීම, ජලය බැස යන ඇල මාර්ග හා කාණු පද්ධති කැළිකසළවලින් අවහිර වීම සහ කඳු මුදුන් විනාශ කරමින් සිදුකරන මහා පරිමාණ අනවසර ඉදිකිරීම් වසර ගණනාවක් පුරා පවතින නීති උල්ලංඝනය කිරීම්ය. මේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වූ ව්‍යසනයන් වේ.

එයට අමතරව, මේ මෙහෙතේ අත්‍යශය නෙවනයැයි සදහන් කරමින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබා දීම, “අත්‍යවශ්‍ය සේවා” නිශ්චිත ලෙස නිවේදනය නොකිරීම, රෝහල්වල මූලික ඖෂධ හිඟය, ප්‍රාදේශීය සහ පළාත් මට්ටමේ නිලධාරීන්ට අධිකාරිය සහ අරමුදල් නොදීම වැනි තීරණ මගින් ජීවිත හා සම්පත් රැක ගැනීම තවදුරටත් දුෂ්කර කර ඇත. මේවා සරල පාලන දෝෂ නොව,  ජනතාවගේ ජීවිත අහිමි වීමට සෘජුවම බලපාන අදූරදර්ශී තීරණ බව SLJP ලෙස අපි අවධාරණය කරමු.

ඒ අනුව, ශ්‍රී ලංකා ජනතා පක්ෂය රජයෙන් ප්‍රමාදයකින් තොරව පහත සඳහන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී:

  • සෞඛ්‍ය, ආපදා ප්‍රතිචාර, ආහාර බෙදා හැරීම, ජල සැපයුම, විදුලිය සහ මහජන ආරක්ෂාව ඇතුළු සියලුම අත්‍යවශ්‍ය සේවා වහාම ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙසත්, අවශ්‍ය නිලධාරීන් බලමුලු ගන්වන ලෙසත්.
  • අත්‍යවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය ඇතුළුහදිසි වෛද්‍ය සැපයුම් පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට බලතල ලබා දෙන ලෙසත්.
  • පීඩාවට පත් පවුල් සඳහා සහල්, පිටි, පරිප්පු, පානීය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහාදිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන වෙත හදිසි අරමුදල් මුදා හරින ලෙසත්.
  • තෙත් බිම්, ඇළ මාර්ග, කුඹුරු සහ කඳු මුදුන් මත සිදු කර ඇතිනීති විරෝධී ඉදිකිරීම් පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් ප්‍රකාශයට පත් කර, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්.
  • එවැනි මහා පරිමාණ ජාතික ඛේදවාචක නැවත සිදු වීම වැළැක්වීම සඳහා, සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර,ජාතික ආපදා සහ දේශගුණික ඔරොත්තු දීමේ සැලැස්මක් ආරම්භ කර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්.

ශ්‍රී ලංකා ජනතා පක්ෂය අවධාරණය කරන්නේ, මෙවැනි මොහොතක ජනතාවගේ ජීවිත දේශපාලන අවශ්‍යතාවලට වඩා ඉදිරියෙන් තිබිය යුතු බවයි. රටේ ජීවිත සහ අනාගතය ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන්, කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

හීරියමුල්ලගේ බුද්ධික ප්‍රසන්න
සභාපති – ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP)

තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙමු ක්‍රීඩාව තුළින් ජය කෙහෙළි නංවා ජීවිතය ජයගමු යන මැයෙන් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියක් උත්කර්ෂවත් අන්දමින් කොටවිල ක්‍රීඩාංගනයේදී……

තරුණ තරුණියන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව එම පිරිස එමගින් මුදවාගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂය පෙරදැරිව සිදු කරන තවත් වැඩසටහනක් ලෙස මාතර අධිකරණය මගින් විශෝධනයට යොමුකල එම තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට ක්‍රීඩා අවස්ථාව ලබාදීමේ අරමුණින් සංවිධානය කළ ක්‍රීඩා උත්සවයක් කොටවිල ක්‍රීඩාංගණයේදී (25 ) දින පැවැත්විණි.
මෙම ක්‍රීඩා උත්සවය මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා උපදෙස් සහ මග පෙන්වීම මත මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය ,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත යන නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කළහ.
එ සදහා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය තුළින් වැඩසටහන සාර්ථකත්වයට පත්ව තිබිණි.
විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙමගින් අවස්ථාව උදා වී තිබිණි.

වැලිගම – තරංග ගුණරත්න

News Iamges.00_01_12_22.Still1033 News Iamges.00_01_12_22.Still1032 News Iamges.00_01_12_22.Still1031 News Iamges.00_01_12_22.Still1030

මෝදර දේවාලයේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු එළියට….

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මහදුර ඉසුරු නැමැත්තෙකු වන අතර ඔහුගේ පියා කරන්දෙණිය සුද්දා විසින් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවේය.

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනාවන මිරන්ත වරුසවිතාන නැමැත්තාව වෙඩිතබා ඝාතනය ඝාතනය කළේය.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයකින් ඔහු අනතුරට පත්කර පසුව වෙඩිතැබීම සිදුකර තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීම සඳහා මෙම ඝාතනය සිදුකර තිබූ බවය.

ඉකුත් මැසි මස 4 වැනිදා මීටියාගොඩ ප්‍රදේශයේදී කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් ඝාතනය කළ මහදුර නලින් නැමැත්තාතේ පුත්‍රයාවන මහදුර ඉසුරු මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ වී ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී 30 හැවිරිදි මහදුර ඉසුරු නැමැත්තාව සෙල්ලකතරගම ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවටගනු ලැබීය.

මහදුර ඉසුරු නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තමන් සෘජුවම සම්බන්ධ වූ බවය.

ඔහුගේ යතුරුපැදිය ගැටීමට සැලැස් වූ මෝටර් රථය තමන් විසින් පැද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව තමන් මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගිය බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

ඝාතනයෙන් පසුව තමන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැඟවී සිටි බවත් සැකකරු පවසා තිබේ.

ඔහු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මෙම ඝාතනයත් සමග මහදුර ඉසුරු නැමැත්තාගේ පවුලේ සියලු දෙනා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ පවුල්වල සාමාජිකයන්ද පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින බව වාර්තා වේ.

‘දෙහි බාලේට’ අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට….

‘දෙහි බාලේට’ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.

දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වේ.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරීත්වය ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කර තිබේ.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙරට ගුණාත්මකභාවයෙන් පහළ උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය.

එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා, පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව එහිදී ඔහු දැනුම් දී ඇත.

එමගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

තවද දේශීය විශ්වවිද්‍යාලවල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.

උඩරට දුම්රිය ගමනාගමනයට යළි බාධා….

අද (26) දින පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබේ.

ඒ අනුව, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන තැපැල් දුම්රිය නානුඔය දක්වාද, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වාද ධාවනය කිරීමට නියමිතය.

වීථි සුනඛයෙකු හැප්පූ සැකකාර කාන්තාව රිමාන්ඩ්…

වීථි සුනඛයෙකු මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප සමාජයේ කොතෙකුත් දැක තිබුණද තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් මෙවැනි තීරණයක් ලබාදීම ලංකා ඉතිහාසයේ සැබවින්ම වැදගත් සංධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය.

පන්නිපිටිය විද්‍යාල හංදිය ප්‍රදේශයේ ජනතාවට ඊයේ (25) සුවිශේෂී දිනයක් වුයේ ඔවුන් ‘බ්ලැකී’ වෙනුවෙන් කළ ඉල්ලීමට මෙලෙස නීතියෙන් පිහිටක් හිමිවීම හේතුවෙනි.

පන්නිපිටිය විද්‍යාල හංදියේ අලුබෝගහවත්ත පටුමඟේ ජීවත් වන කාගෙත් ආදරය දිනාගත් ‘බ්ලැකී’ වසර පහළොවක පමණ කාලයක් එම ප්‍රදේශයේ ජීවත් වූ වීථි බල්ලෙකි.

එම පටුමඟේ ජීවත් වන කාගේත් ආරක්ෂකයා වුයේත් ‘බ්ලැකී’ වූ නිසාවෙන්ම සියලුදෙනාගේම ආදරය හා කරුණාව දිනාගැනීමට ‘බ්ලැකී’ සමත්ව සිටියේය.

තුන්වේලටම කන්න දෙයක් නිරන්තරයෙන්ම ලැබෙන ‘බ්ලැකී’ පටුමඟේ නිවසක් අසල නිදහසේ වැතිරී සිටින්නේ කිසිවෙකුගෙන් බාධාවක් නොවූ හෙයිනි.

සියලුදෙනාගේ ආදරය දිනාගත් ‘බ්ලැකී’ පසුගිය නොවැම්බර් මස 14 වන දින කාන්තාවක් පැදවූ මෝටර් රථයකට යටවී ඉතා අවාසනාවන්ත ලෙස මිය යන්නේ අලුබෝගහවත්ත පටුමඟේ ප්‍රදේශවාසීන්ගේ දෙනතට කඳුලක් එක්කරමිනි.

ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ, එම රිය අනතුර සිතාමතා සිදුකළ එකක් බවටය.

මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් සියලු වැඩරාජකාරි පසෙකලා නොවැම්බර් මස 16 වෙනිදා කොට්ටාව පොලීසියේ ‘බ්ලැකී’ ගේ මරණය වෙනුවෙන් පැමිණිල්ලක් ගොනුකළේය.

එයට සත්ත්ව සුබසාධන සංගම්ද මැදිහත් වී තිබූ අතර, දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගනිමින් පොලීසිය විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

අදාළ නඩුව ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේ දී එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය දෙසැම්බර් මස 9 වනදා දක්වා මෝටර් රථය පැදවූ සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදිනට නඩුව යළි කැඳවීමටත් නියෝග කළේය.

අධිකරණය මඟින් මෙම තීරණය ලබාදීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සියලුදෙනා එක්ව ‘බ්ලැකී’ගේ නිසල දේහය තැන්පත්ව ඇති ස්ථානයේ ඉටිපන්දම් දල්වන්නට වුහ.

සියලු ධීවර යාත්‍රා පිටත්වීම නැවත දැනුම් දෙනතුරු අවලංගුයි….

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම අවධානම් සහිත මුහුදු ප්‍රදේශවල මේ වන විට රැකියාවේ නිරතව සිටින සියළුම ධීවර යාත්‍රා ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරන ලෙසත්, සියළුම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන සහ ගුවන් විදුලි පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත් එහිදී අවධාරණය කර තිබේ.

මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණි.

එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද ඉල්ලා සිටී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

උතුරු, උතුරුමැද , වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති වේ.

තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්…..

ලෝක ‍වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂි සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව, ගොවීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර කළේය.

මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා පැවසුවේ, වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.

කෙසේ වෙතත් අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බවය ඔහු සඳහන් කළේය.

වී ගොවීන් මෙන්ම සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවියා, රාජ්‍ය නිලධාරියා සහ දේශපාලනඥයා තවදුරටත් බෙදී කටයුතු නොකර මින් ඉදිරියට සියලු පාර්ශ්ව එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී අමාත්‍යවරයා පවසන ලද්දේ,  සහල් ආනයනය සීමා කිරීම අරමුණු කරගෙන වී නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

නිෂ්පාදන පිරිවැය අවම කරමින් සහ ගොවියා ආරක්ෂා කර ගනිමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල් සහන මිලට ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කර තිබේ.

මේ අතර වී ගොවිතැන සඳහා පොහොර  සහනධාරය නොලැබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ද පොහොර මිලදී ගැනීම සඳහා රජය ලබාදෙන මුදල් බැංකුගත කිරීම සඳහා කඩිනම් වැඩපිළිවලක් සකස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ද සාකච්ඡාව පැමිණි අම්පාර ප්‍රදේශයේ ගොවීන් පවසා ඇති බව සඳහන් ය.

කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට….

රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක් බව වාර්තා වේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 119,000ක් අඩංගු දුම්වැටි කාටූන් 595ක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ පුද්ගලයින් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 03ක් බැගින් වූ දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබේ.