QR ක්‍රමවේදය යටතේ ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නැහැ – GMOA..

QR ක්‍රමවේදය යටතේ ලබාදීමට යෝජිත ඉන්ධන සලාකය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, නිවසින් දුරස්ථ ප්‍රදේශවල රාජකාරියේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ පරිපාලන වෛද්‍යවරුන්ට රාජකාරී ඉටුකිරීමට රෝහල් වෙත ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය.

ඒ හේතුවෙන් ප්‍රකාශයට පත් කර ඇති සලාක ක්‍රමය තුළ සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් ලෙස මුහුණපාමින් පවතින ප්‍රායෝගික ගැටලු හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබාදීම කඩිනම් කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.

දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට….

මත්ද්‍රව්‍ය බහලුම් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී, නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් මෙම මෙහෙයුම සිදු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

සැකකරුවන් සහ ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව සඳහන්ය.

ලබන වසරේදී පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක්…

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (15) පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුභවතුන්  දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එමෙන්ම ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට මෙන්ම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කිරීමටත් කටයුතු කරන බව ඇය කියා සිටියාය.

“පෙර පාසල් පද්ධතියේ පවතින ගැටලු සමස්ත සමාජයේ සහ අධ්‍යාපනයේ තියෙන අර්බුදයෙන් වෙන් කරලා කතා කරන්න බැහැ. 2024 මේ රට භාර ගන්නකොට අපිට ප්‍රධාන අභියෝගය වුණේ රට ණයගැතිභාවයෙන් මුදා ගනිමින් නිවැරදි ආර්ථික නිර්ණායක නිවැරදිව සකස් කිරීමටයි. ඒ අනුව 2025 දී අපිට අභියෝගාත්මක වසරක් වුණත් අපේ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගන්නත්, ඒ මගින් රටේ අයවැය තුලනය කර ගන්නත් හැකි වුණා. 

ඔබ දන්නවා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළා. ඒ ප්‍රතිපත්තියේම තියනවා පෙර පාසල් අධ්‍යාපනයත් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා කියලා. මේ දක්වා පෙර පාසල් ආරමිභ කිරීම සහ මුල් ළමා විය සංවර්ධනය කිරීම විධිමත්ව සිදු වෙලා නෑ. සියලු පෙර පාසල් නියාමනය කරන්නත්, ප්‍රමිතිගත කරන්නත් අපිට සිදු වෙලා තිබෙනවා ඒක පහසු කාර්යයක් නෙමෙයි. මුළින්ම සියළු පෙර පාසල් විධිමත් ලෙස ලියාපදිංචි කළ යුතුයි. 

අපි මේ වන විට ගුරුවරුන්ගේ පුහුණුව වෙනුවෙන් විෂය මාලාවක් සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම 2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත්  කටයුතු කරනවා. පෙර පාසල් ඩිප්ලෝමාව සඳහා පිළිගත්  විෂය මාලිවක් සකස් කර තිබෙනවා. ඉදිරියේදී අපි පෙර පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාව දෙන්නේ ඒ අනුවයි. පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරන්නත්, වැටුප් තලයක පිහිටුවන්නත් අපි පියවරෙන් පියවර කටයුතු කරනවා.”

ආනයනික භාණ්ඩවල මිල ගැන නියෝජ්‍ය වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්….

ආනයනික භාණ්ඩ මිලෙහි යම් වැඩිවීමේ ප්‍රවනතාවයක් වියහැකි බව  නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා පවසයි.

අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පවතින යුදමය තත්ත්වයත් සමඟ භාණ්ඩවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකි හේතුන් ද පවතින බවය.

වර්ථමානයේ ලොව පුරා ඉන්ධන ප්‍රවාහනයට සහ බෙදා හැරීමට බලපා ඇති බාධාවන් අනුව එයින් මෙරටට බලපෑම් ඇති කිරීම මගහරවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවත් ඒ අනුව අඛණ්ඩව භාණ්ඩ සැපයීම සඳහා මෙතෙක් භාණ්ඩ ආනයනය කළ රටවලට අමතරව තවත් රටවල් වලින් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් ද කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
“පවතින යුදමය තත්ත්වය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපෑම් එල්ල කරලා තියෙනවා. ඉන්ධන සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී යම්කිසි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. දැනට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වගේ ගිහින් තියෙනවා. ඉන්ධන මිල සහ ඉන්ධන සැපයීමේ යම් යම් අඩුවක් පාඩුවක් නිසා බෙදාහැරීමේ ජලයේ යම් අඩුවීමක්  තියෙන් පුළුවන් ඒ නිසා භාණ්ඩ ආනයනයේ දී මිල වැඩිවීමක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් වර්ථමාන ආණ්ඩුව මේ ගැන සැලකිලිමත් වෙමින් අඛණ්ඩව භාණ්ඩ සැපයුම් කිරීම සම්බන්ධයෙන් ආනයන කරන රටවල් මෙතෙක් කරපු රටවල් වලට අමතරව නව ආනයනය කිරීම සඳහා රටවල් සොයමින් මැදිහත් වෙමින් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා භාණ්ඩවල හිඟයක් ඇති වීමට ඇති ඉඩකඩ අඩුවෙයි කියලා අපි විශ්වාස කරනවා.   යම් ප්‍රමාණයක මිල වැඩිවීමක් තියෙනවා අපිට එක වළක්වන්න බැරි සීමාවල් වල තියෙනවා ඒ නිසා මිල වැඩි වීමේ යම් ප්‍රවනතාවක් වෙන්න පුළුවන්.” 

දිස්ත්‍රික්ක 14කට උණුසුම් කාලගුණයක්…..

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇත.

මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි…..

නැගෙනහිර පළාතේ සිංහල වැසියන් බහුතරයක් වාසය කරන, මහවැලි අධිකාරිය යටතට පවරාගෙන තිබෙන දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට සුදුසු සහන ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, එම පදිංචිකරුවන් ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සහ අදාළ ග්‍රාමයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (13) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මෙම දැනුම්දීම සිදුකළ බවය.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර ගමේ මුල් පදිංචිකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදීම හෝ වන්දි ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

එම අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පරීක්ෂණය අවසන් වන තුරු එම ගමේ පදිංචිකරුවන්ට ඔවුන් දැනට සිටින ස්ථානයේම රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසත්, ඔවුන්ට පිළිගත හැකි සහනයක් හිමි විය යුතු බවත් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ගේ එකඟතාවය ඇතිව පෙත්සම විභාගය අවසන් කිරීමට තීරණය කළේය.

අදාළ පරීක්ෂණයෙන් අනතුරුව නිසි සහන නොලැබුණහොත් මෙම නඩු කටයුත්ත මෝසමක් මාර්ගයෙන් යළි කැඳවිය හැකි බවද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.

මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට IOC සහතික වෙයි…..

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහතික කරන බවත්, ඒ වෙනුවෙන් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව  ලංකා  IOC සමාගම පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සමාගමයේ කළමණාකාර අධ්‍යක්ෂ කේ. රගු මහතා මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ කේ. රගු මහතා,

“ලංකා IOC සමාගමයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මට ජනතාවට කියන්න තියෙන්නේ අපි ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව. රටට ඉතා වැදගත් වන බලශක්ති සුරක්ෂිතතාව අපි සහතික කරනවා.

පවතින තත්ත්වය ඉතා යහපත් කියලා මම කියන්නේ නෑ. නමුත් රට තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ලංකා IOC ආයතනය සහ රජය තම උපරිමය ඉටු කරමින් සිටිනවා.

අපි රටේ ප්‍රගතිය වෙනුවෙන් අඛණ්ඩව ඉන්ධන සපයනවා” යැයි පැවසීය.

පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරිම් කටයුතු නියමිත දිනට අවසන් කරයිද?

පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරීම් කටයුතු නියමිත දිනට අවසන් කිරීමට හැකියාවක් නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ පාලමේ ඉදිකිරීම් කටයුතු විධිමත් නොවීම හේතුවෙන් එය යළිත් අබලන් තත්ත්වයට පත්ව ඇති බවය.

“දිට්වා කුණාටුවෙන් පස්සේ මේ වෙනකොට මාස තුනක් පහුවෙලා තියෙනවා. දුම්රිය මාර්ග සම්පූර්ණ වශයෙන් යථාවත් කිරීම දිනෙන් දින ප්‍රමාද වෙනවා. පේරාදෙණියේ පාලම රජය මගින් දින නියම කරලා අප්‍රේල් 28 වෙනකොට අවසන් කරනවා කියලා නමුත් මේ වෙනකොට ඒකේ වැඩ නැවතිලා තියෙනවා. හැබැයි ඒකට වෙන වෙන කතා රජයට හිතවාදී වෘත්තීය සමිති සම්බන්ධ කරගෙන වෙනම ප්‍රචාරන යනවා. නමුත් සත්‍ය කතාන්දරය පාලම මේ වෙනකොට නැවතත් ඇදවීමකට ලක්වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව කටයුතු කරන්නේ නෑ. නුවර සිට දිනපතා රාජ්‍ය සේවයට හා පුද්ගලික අංශයේ සේවයට එන මගීන් දැඩි අපහසුතාවයකට පත්වෙලා තියෙන්නේ. මාස තුනක් තිස්සේ උලපනේ – නාවලපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් තියෙනවා. ඒ දුම්රිය බොහොම පහසුවෙන් ගෙනියන්න හැකියාව තියෙද්දිත් ඒකටවත් දෙපාර්තමේන්තුව තීන්දු කරලා නැහැ”

රජයේ ආයතනවල විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්….

රජයේ ආයතනවල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීම සඳහා නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවීමට රජය කටයුතු කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතිය තුළ සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාව සහ පාර්ලිමේන්තු ව්‍යවසාය කාරක සභාව වැනි ආයතනවලින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීම එම අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය වෙත පැවරී ඇත.

කෙසේවෙතත්, රජයේ ආයතන ගණනාවකින් පැමිණෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ එම ඒකකයේ සේවය කරන විමර්ශන නිලධාරීන් 20 දෙනෙකු පමණක් වීම හේතුවෙන් සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ඇති ධාරිතාව ප්‍රමාණවත් නොවන බව සඳහන් වේ.

එම හේතුවෙන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවලින් අයදුම්පත් කැඳවා නිලධාරීන් තෝරාගෙන, වෙනත් ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මූලික විමර්ශන නිලධාරීන් සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගේ සංචිතයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

මෙහි ප්‍රධාන අරමුණු වන්නේ එම නිලධාරීන් සේවය කරන ආයතනවලට මනා පුහුණුවකින් යුත් විමර්ශන නිලධාරීන් පිරිසක් ලබාදීම සහ බාහිර ආයතනවලින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට යොමු කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙම නිලධාරීන් යොමු කිරීමයි.

ඒ අනුව ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් නිලධාරීන් 150 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පිහිටුවා ඔවුන් කණ්ඩායම් තුනක් ලෙස වෙන් කර එක් කණ්ඩායමකට දින 14ක පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කර ඇත.

එහි පළමු කණ්ඩායම සඳහා පුහුණු වැඩසටහන 2026 පෙබරවාරි 05 දින ආරම්භ කළ අතර එය සාර්ථකව අවසන් කළ නිලධාරීන් 42 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානෝත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට නිල මැදුරු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්….

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන්  සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 12 වනදා පවත්වා තිබේ.

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීමේ අරමුණෙන් මෙය සංවිධාන කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහාය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට සබරගමුව පළාතේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි විශේෂ පියවරක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.

ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක වන ඩිජිටල්/කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ ධාරිතා සංවර්ධන වැඩසටහන් සම්පත් දායක, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) හිටපු අධ්‍යක්ෂකවරුන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරුන් මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.