අවුරුදු 3-5 දක්වා දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය නුසුදුසුයි – අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්….

වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉගැන්වීම අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරනුයේ පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ දරුවන් ඉලක්ක කර ගනිමින් වර්තමානයේ ක්‍රියාත්මක වන මාර්ගගත සම්මන්ත්‍රණ සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බවය.

අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව වයස අවුරුදු 3-5 අතර පසුවන දරුවෙකුගේ ඉගෙනුම සිදුවිය යුත්තේ ක්‍රියාකාරකම් පාදක කරගත් සහ සමාජීය අන්තර්ක්‍රියා සහිත පරිසරයක බවත් පෙන්වා දෙන අමාත්‍යාංශය සඳහන් කරනුයේ තිරයක් දෙස බලා සිටිමින් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සමාජීය කුසලතා වර්ධනය අඩාල වීම, අවධානය රඳවා ගැනීමේ හැකියාව හීන කිරීම සහ නිර්මාණාත්මක චින්තනයටද බාධා පමුණුවන බවය.

ඒ අනුව රජයේ සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව පූර්ව ළමාවිය සංවර්ධනයේදී දරුවා සජීවීව පරිසරය සමග ගනුදෙනු කළ යුතු බවත් කුඩා දරුවන් අධික ලෙස තාක්ෂණික මෙවලම්වලට නිරාවරණය කිරීම ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍යයට විශේෂයෙන් මොළයේ වර්ධනයට අහිතකර බැවින් එවැනි වයස් කාණ්ඩ සඳහා මාර්ගගත පන්ති පැවැත්වීම අනුමත නොකරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

වාණිජ පරමාර්ථයෙන් සංවිධානය කරනු ලබන මෙවැනි සම්මන්ත්‍රණ මගින් දරුවාගේ අධ්‍යාපනික ප්‍රමිතිය ඉහළ නොයන බවත් ඔවුන්ගේ ස්වභාවික වර්ධනයට එය බාධාවක් බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.

ඒ හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව සලකා බලා මෙවැනි ක්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් වැලකී සිටින ලෙසත් ඉල්ලා සිටින අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දරුවෙකුගේ හොඳම ගුරුවරයා පරිසරය සහ සජීවි අත්දැකීම් මිස ඩිජිටල් තිරයක් නොවන බවය.

ඒ අනුව දරුවන්ගේ මානසික හා කායික සෞඛ්‍යය සම්බන්ධව දෙමාපියන් ලෙස දැඩි අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස අමාත්‍යාංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක්….

ලෝක ආර්ථික දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ වර්ධනයක් ළඟා කරගෙන ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්‍ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මාළිගාතැන්න මංසන්දියේ සිට 11 කණුව මඩුගහපිටිය දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.

බංකොලොත් රට මේ වනවිට ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව ද ඔහු කීය.

“රට ස්ථාවර කරමින් ලෝක ආර්ථිකය අභියෝගයන්ටද මුහුණ දෙමින් ඉලක්කගත වැඩ පිළිවෙලක් තුලින් රට ඉදිරියට ගෙනයනවා. ආර්ථික වර්ධන වේගය අනුව සියලු ක්‍ෂේත්‍රවලින් ඉදිරියට ගොස් තිබෙනවා.

ඒ අතරතුර පසුගියදා ඇතිවූ දිට්වා ව්‍යසනයෙන් කෝටි ලක්‍ෂයකට වැඩි පාඩුවක් අපේ රටට සිද්ධවුණා. රටේ සංවර්ධනයට යොදන්න තිබූ සල්ලි එම හානි වෙනුවෙන් යොදවන්න වෙලා තියෙනවා. දැනටමත් දිට්වාවලින් හානිවූ විශාල ප්‍රමාණයකට වන්දි ගෙවීම් සිදු කරමින් රට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ලෝකය පිළිබඳ අවබෝධයෙන් හා වංචා දූෂණ නැතිව, මහජන මුදල් නාස්තියෙන් තොරව, පෞද්ගලික වරප්‍රසාද කප්පාදු කර ගනිමින් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’රටේ ජනතාවට ලබාදෙන්න අපි රජයක් විදියට කැපවෙනවා.”

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ වැඩ කටයුතු අද (14) ආරම්භ කෙරුණි.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට අනුව (i-Road Project) ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් මාර්ගයක් සංවර්ධනය කරනු ඇත.

බදුල්ල – මොණරාගල (A-22) ප්‍රධාන මාර්ගයට සහ පුස්සැල්ලාව මාර්ගයට කඩිනමින් ප්‍රවේශය ලබාගත හැකි මෙම 11 කණුව මඩුගහපිටිය මාර්ගය සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 600 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් තරගකාරී විනිවිද ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් දේශීය ඉදිකිරීම් ආයතන මගින් මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවයේ….

වර්තමානය වන විට හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

එය සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලයෙන් සියයට 30ක ප්‍රතිශතයක් වූවද සෞඛ්‍ය සේවාවට අවශ්‍ය හෙද හෙදියන් ප්‍රමාණය මෙතෙක් සම්පූර්ණ වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ලොව පිළිගත් ප්‍රමිතීන් අනුව ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා තවත් හෙද හෙදියන් විශාල ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන අතර හෙද සේවාවට බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය කිරීමේ අවශ්‍යතාව පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

සිසු හෙද පුහුණුව සඳහා 2918 දෙනෙකු බඳවා ගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (14) පැවති  උත්සවයට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව කීය.

අද දිනයේ සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගත් මෙම පිරිස සේවයට ඇතුළත් වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ විශාල පරිවර්තනයක් සිදුව තිබෙනු ඇති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

දිට්වා ආධාර තොගයක් අරණායක නිලධාරිනියන් දෙදෙනෙකුගේ නිවෙස්වල…..

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා රජය මගින් හා වෙනත් ආයතන මගින් ලබා දී තිබූ සහනාධාර තොගයක් සිය නිවාසවල තබාගෙන සිටි සංවර්ධන නිලධාරිනියන් දෙදෙනෙකු අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඉන් එක් නිලධාරිනියක් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා භාරකාරිණියක් ලෙසද කටයුතු කර ඇති බවය.

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිත් නිශාන්ත මහතාට ලද තොරතුරක් මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ විමර්ශන නිලධාරීන් අරණායක පොලීසිය සමග එක්ව සිදුකළ විමර්ශනයේදී මෙම ආධාර තොගය නිවෙස්වල සඟවා තිබියදී සොයාගෙන තිබේ.

ඒ අනුව අදාළ නිලධාරිනියන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන සිදු කෙරෙන අතර නිලධාරීන් භාරයට ගත් සහනාධාර බඩු තොගය පිළිබඳව තක්සේරු කිරීමටද නියමිතව තිබුණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරි – පූජිත්ට එරෙහි නඩුව කැඳවයි…..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි ලබන 26 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කරයි….

නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් මහතා වෙත භාර දෙන ලදී.

අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන් මහතා, චාවක්කච්චේරී දිසා විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.

විදුලි වෘත්තීය සමිති සහ ජනපති අතර සාකච්ඡාව සාර්ථකයි……

විදුලි වෘත්තීය සමිති අද (13) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ගැටලු පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති අතර, එම සාකච්ඡා සාර්ථක බව ඔවුන් පවසයි.

ජනාධිපතිවරයා සිය ගැටලුවලට සාධාරණය ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් විදුලි වෘත්තීය සමිති සඳහන් කරයි.

ආණ්ඩුව පරාජය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් තම සමිතිවලට නොමැති බවත් විදුලි වෘත්තීය සමිති සාමාජීකයින් මෙහිදී අවධාරණය කළේය.

නව සමාගම්වල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා අද සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී විදුලිබල වෘත්තීය සමිතිවල ගැටලූන්ට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී එකඟත්වය පළ කර බවත් වෘත්තීය සමිති සාමාජිකයින් පැවසීය.

නව සමාගම්වලට බාහිරින් බඳවා ගැනීමට නියමිත විදුලි අධිකාරී සහ විදුලි ඉංජිනේරු පත්වීම් වහාම නැවැත්වීමට ජනාධිපතිවරයා නියෝග කළ බවද විදුලිබල වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළේය.

අල්ලස් කොමිසමේ වැටුප් යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය….

අල්ලස් ‍හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, එම සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේ, 2023 වසරේදී සම්මත වූ දූෂණ විරෝධී පනත අනුව අල්ලස් ‍හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් කොමිෂන් සභාව නව ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවය.

කොමිෂන් සභාවට අවශ්‍ය නිලධරයන් හා සේවකයන් කොමිෂන් සභාව විසින් පත් කර ගත යුතු බවත් ඔවුන්ගේ පාරිශ්‍රමික සහ සේවා කොන්දේසි මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව පාර්ලිමේන්තුවේ අනුමතිය මත තීරණය කළ යුතු බවට විධිවිධාන  සලසා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම 2023 අංක 03 දරන දූෂණ විරෝධී පනත සම්මත වීමෙන් අනතුරුව  මෙම කටයුතු වසර දෙකක් දක්වා ප්‍රමාදවීම පිළිබඳව කනගාටු වන බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවක සංඛ්‍යාව සඳහා අවශ්‍ය තනතුරු 971 සහ විශේෂ දීමනා ඇතුළුව ඔවුන්ගේ වැටුප් ව්‍යුහයන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හරහා මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර තිබිණි.

කොමිෂන් සභාවට අනුයුක්ත නීති නිලධාරීන්ට, නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත නීති නිලධාරීන්ට සාපේක්ෂව අඩු වැටුපක් යෝජනා කර තිබීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් තවදුරටත් ප්‍රමාදයන් වළක්වා ගෙන බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මත මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.

මෙම ආයතනය ශක්තිමත් ආයතනයක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී හෝ නිසි වැටුප් තලවල පිහිටුවීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන්ගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප්තල සම්බන්ධයෙන් යෝජනාව ඉදිරියේදී ගෙන ඒමට නියමිත   බවත්, එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මීට පෙර නිර්දේශ කරන ලද පරිදි, ඔවුන්ගේ වැටුප්තල අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් තල හා අනුකූල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාරක සභාව විසින් සඳහන් කරන ලදී.

කොමිෂන් සභාව ඉතා සංවේදී කාර්යක් ඉටු කිරීමත්,  වෙනත් කිසිදු පෞද්ගලික ඉපයීමක් හෝ උපදේශනයක් භාර ගැනීමට නොහැකි වීමත්, ලැබැඳියාවන් අතර ගැටුම් ඇති වීමටත් ඇති හැකියාව නිසා කොමිසමේ කාර්ය මණ්ඩලය, කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට රාජ්‍ය අංශයේ වැටුපට සාපේක්ෂව ඉහළ වැටුපක් ගෙවීම සාධාරණ බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

මෙම කොමිෂන් සභාව  කොළඹ පමණක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම ගැටලුවක් බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

රට පුරා විමර්ශන සහ වැටලීම් කොළඹ සිට සිදු කළ යුතු වීමත් සාක්ෂිකරුවන් සාක්ෂි සැපයීම සඳහා කොළඹට ගෙන්වීමට සිදුවීම ගැටලුවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් කාර්යාල පිහිටුවීමේ අපේක්ෂාව ඇති බවත් පළමුව අවම වශයෙන් පළාත් කාර්යාල 9 ක් පිහිටුවීමට අදහස් කරන බවත් ඒ අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් ද ? – GMOA සැකයෙන්…..

වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ දත්ත ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් සිදුවි ඇති බවට සැකයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළව සේවා ව්‍යවස්ථාවක් (Service Minutes) ස්ථාපිත කිරීමට සම්බන්ධ යැයි පවසමින් ලිපියක් ඇතුළත් කර ඇති අයුරු දක්නට ලැබෙන බව එම සංගමය සඳහන් කරයි.

මෙම ලිපිය රාජ්‍ය ආයතනයක් මඟින් නිකුත් කරන නිල ලේඛනයක් යැයි බැලු බැල්මට නොපෙනෙන අතර ලිපි ශිර්ෂයක් නොමැතිව, දිනයක් නොමැතිව, යොමු කරන ලද පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් නොමැතිව, සම්බන්ධීකරණ නිලධාරියෙක් සඳහන් කර නොමැතිව සකස් කර ඇති අවිධිමත් ලේඛනයක් පමණක් බව නිරික්ෂණය වෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඇති මෙම ලිපියේ නිත්‍යානුකූලභාවය සහ නිලභාවය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් මතුවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මේ පිළිබඳ පැහැදිලි කරගැනිම සඳහා අදාළ ලේඛනයේ කැඳවුම්කරු ලෙස සඳහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සන්නිවේදනය කිරීමට කිහිප වතාවක් උත්සාහ කළද ඔහුවද සම්බන්ධ කරගත නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,

“මීට ඉහතදීත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පද්ධතීන්ට අනවසර ඇතුල්වීම් නිසා සිදුවූ ගැටලු රාශියක් පිළිබඳව අප දැනුවත්ය. එම නිසා මෙසේ වගකීම් විරහිත ලෙස සහ අවිධිමත් ලෙස පළවීමක් සිදුවීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අපහසුතාවයට පත් කිරීමට කළ උත්සාහයක් ද යන්න සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විමර්ශනයක් කළ යුතු අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද එය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා වෙත ලිඛිතව දන්වා ඇත.” යනුවෙනි.

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ සූදානමක්…..

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉදිරියේදී ලිහිල් කිරීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහවැලි ජල කලමනාකරණ කමිටුව අද (13) රැස්වූ අවස්ථාවේදීය.

මෙරට බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණක් රට තුළ නිෂ්පාදනය කර බවත් සෙසු තොග ආනයනය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් මෙරට තුළ බඩඉරිඟු නිෂ්පාදන ඉහළ දැමීමට ප්‍රමාණවත් වගා බිම් නොමැතිවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළ යුතු බව කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

මේ සඳහා කුඹුරු ඉඩම් වැඩි කිරීමට අපේක්ෂා නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයට අනුව වගා කටයුතුවල නිරත වන ලෙසත් ඒ මහතා එහිදී ගොවීන්ගේ ඉල්ලා සිටියේය.

“වී ටික එකපාර වෙළඳපොළට එනවා වෙනුවට සතියක් දෙකක් තියාගන්න පුළුවන් වෙන තත්ත්වයට ගොවිජනතාව අරන් එන එක අපේ ඉලක්කයක්. වී වේලීම සහ ගබඩා කිරීමට අපිට ක්‍රමයක් සකස් කරගන්නම වෙනවා. ගොවියාගේ කාර්යය ගොයම් කපලා දුන්නම අවසන් වෙනවා. එතනට තව කෑලි දෙකක් එකතු වෙන්න ඕනේ. වී වේලීම සහ ගබඩා කිරීම කියන කෑලි දෙකත් එතනට එකතු වෙන්න ඕනේ. ඒ සඳහා අපි වැඩසටහනකට යමින් ඉන්නේ. 

අපිට තියෙනවා ප්‍රධාන කාරණා දෙකක්. එකක් ගොවිජනතාවගේ ජීවිතය නඟා සිටුවන එක. අනික ආහාර සුරක්ෂිතතාවය. සාධාරණ ලාභයක් ගොවියාට දෙන්නේ නැත්නම් ගොවිතැන කරන්න බැහැ. අපි වී මිල ගැසට් කරලා නීතියක් කරලා නැහැ. අපේ අරමුණ පෞද්ගලික අංශය වී අඩුවට ගන්න එක වැළැක්වීම. වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීම මදි කියන කාරණය අපි පිළිගන්නවා. ගබඩා ප්‍රශ්න, කාර්ය මණ්ඩල ප්‍රශ්න තියෙනවා. 

අපි බය වුණා දිට්වා එක්ක කෘෂිකර්මාන්තය ගොඩගන්න යම් කාලයක් යයි ද කියලා. නමුත් අපි වන්දි ගෙවලා නැවත වගා කරන්න පටන්ගත්තා. ඒකට අපි ගොවි මහතුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒවගේම ගොවීන් එක්ක වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.  අපිට කීරි සම්බා පිටරටින් ගේන්න වෙනවා. ඒ නිසා අපි ගොවීන්ගෙන් ඉල්ලනවා කීරි සම්බා වැඩියෙන් වගාකරන්න.”