ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට….

ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු පයාගල මැටියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවය.

සැකකරුවන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනිඅවි දෙකක්, උණ්ඩ 10ක් සහ අත්විලංගුවක් සොයා ගෙන තිබේ.

ඔවුන් 55 හා 61යන වයස් සීමාවේ පසුවන පයාගල සහ කලගෙඩිහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පැවසීය.

ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසිකිරීමට ගිය අයෙකු අත්අඩංගුවට….

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑස් 2යි මිලිග්‍රෑම් 590ක් සොයාගෙන ඇත.

ඊට අමතරව දුම්කොල ග්‍රෑම් 110ක්, දුම්කොල නැටි ග්‍රෑම් 540ක්, ජංගම දුරකථන 4ක් සහ ජංගම දුරකතන චාජර් 23ක් සොයාගත් බව සදහන්ය.

අදාළ ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට විසි කිරීම සඳහා සූදානම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

මාර්තු ගෙවුණු දින 18ට සංචාරකයින් 109,410ක් මෙරටට ඇවිත්….

මාර්තු මාසයේ මුල් දින 18 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 109,410ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 27,613ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 25%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 9,562ක්, ජර්මනියෙන් 8,258ක්, එක්සත් රාජධානියෙන් 10,111ක්, චීනයෙන් 9,100ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 6,114ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට මාර්තු 18 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 666,065ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 127,353ක්, රුසියාවෙන් 59,795ක් සහ එක්සත් රාජධානියෙන් 70,439ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

යාල වනෝද්‍යානයේ වනජීවි මුරපොළක් ආසන්නයේ වෙඩිතැබීමක්…

යාල වනෝද්‍යානයට අයත් කිරින්ද, හීන්වල වනජීවි මුරපොළ ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

අද (21) පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

වෙඩි ශබ්දය පිළිබඳ වාර්තා වීමත් සමග හීන්වල වනජීවි මුරපොළේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබූ අතර, එහිදී මෝටර් රථයක නැගී පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සතුන් දඩයම් කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

පලාගිය මෝටර් රථය සහ සැකකරුවන් සොයා කිරින්ද පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්….

බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව තවමත් නිසි පරිදි සකසා නැතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පවසනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අදාළ ප්‍රවාහන බලධාරීන් විසින් මේ සම්බන්ධව නිසි පියවර නොගැනීම තුළ බස් රථ ධාවනයද අඩාල විය හැකි බවය.

ඇතැම් ප්‍රදේශවල ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදු කෙරුනද තවත් ප්‍රදේශවල ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීමට යාමේදී එම ඩිපෝ තුළ ඉන්ධන නොමැති බවට දන්වා ඇති බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනුයේ මේ හේතුවෙන් බස් රථ හිමියන් බරපතළ ගැටලු රැසකට මුහුණ පා ඇති බවය.

මෙම තත්ත්වයන් තුළ එළැඹෙන සඳුදා දින බස් ධාවනය සැලකිය යුතු මට්ටමකින් අඩාල විය හැකි බවත් පෙන්වා දෙන ඒ මහතා සඳහන් කරනුයේ අදාළ බලධාරීන් මැදිහත්ව මෙම තත්ත්වයට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

“තාමත් බස් රථවලට අවශ්‍ය ඉන්ධන කෝටාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදලා නෑ. දුර ගමන් බස් රථ 1700කට විතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා හදලා දීලා තිබෙනවා. පළාත් සභාවලට ඒ දත්තයන් අරන් තියෙනවායි කියලා කියනවා. මේවා තාමත් සිද්ධ වෙලා නෑ. ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා දෙනවා ඇතැම් ප්‍රදේශවල නමුත් අනිත් ප්‍රදේශවල ඩිපෝවට ගියාම ඉන්ධන නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. සඳුදා වෙනකොට අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. බොහෝ දුරට බස් රථ සේවාව 50% දක්වා අඩාළ වේවි. ගිය සතියේ අපේ බස්රථවල ඉන්ධන තිබුණා. දැන් මේ වෙනකොට ඒ ඉන්ධන ඉවරයි. QR එක ගත්තාම බස් රථවලට තිබෙන්නේ ලීටර් 60යි. අධිකාරිවලින් දැනුම්දීලා තිබෙනවා ඩිපෝවලට ගිහිල්ලා තෙල් ගහන්න කියලා. දවල්කාලේ ඩිපෝවලට තෙල් ගහන්න ගියොත් බස් රථ දුවන්න වෙන්නේ නැහැ. මේක තාමත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, ප්‍රවාහන බලධාරීන්ට දින කිහිපයක් වෙලා මේක විසඳගන්න තවම හැකියාවක් ලැබිලා නැහැ.”

ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි….

නෙළුව, මාදුගැට ප්‍රදේශයේ, ගිං ගඟෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පිටදෙනිය, බටුවංගල ප්‍රදේශයේ  පදිංචි අවිවාහක පුද්ගලයෙකි.

ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ නෙළුව පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම මළ සිරුර ගොඩගෙන ඇති බව සඳහන්ය.

මරණකරු ගතියෙන් යුතු පුද්ගලයෙකු වන බව මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

කථිකාචාර්යවරියගේ ඝාතනයේ සුලමුල QR එකෙන් හෙළි වෙයි….

යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකගේ ඝාතකයින් ඉන්ධන QR කේතය හරහා සොයාගැනීමට පොලීසිය සමත්වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 54 හැවිරිදි තිලීපන් දයාලිනි නමැති අයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමියන් යැයි පැවසෙන19 හැවිරිදි කාන්තාවක් සහ 21 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා දික්කසාදවීම සඳහා අයදුම් කර සිටි අය බවට ද සඳහන් ය.

මෙවන් පසුබිමක කථිකාචාර්යවරිය වන සිය මව සහ නැගණියව ඇයගේ සැමියා විසින් පැහැරගෙන ගොස් ඇති බවට මියගිය කාන්තාවගේ පුත්‍රයා යාපනය පොලීසියට පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සඳහා යාපනයේ පොලීස් නිලධාරින් මරණකාරිය ජීවත් වූ නිවසට ගොස් ඇති අතර එහි වහළ සෙවිලි කළ උළු ඉවත් කර කඹයක් ආධාරයෙන් නිවසෙන් පිටත්ව ඇති ආකාරය සහ කපන ලද හිස කෙස් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලදී ඔවුන් විසින් පරන්තන් ඒ.ටී.එම් යන්ත්‍රණයෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණ විය.

ඉන් අනතුරුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම්හලකින් QR කේතය භාවිත කරමින් ඉන්ධන ලබාගෙන ඇති බවට ද පොලීසිය විසින් තොරතුරු හෙළි කර ගෙන ඇත.

එවන් පසුබිමක එම ඉන්ධන පිරවුම්හලේ ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන උපයෝගී කරන පොලිස් නිලධාරින් විසින් සිදු කළ විමර්ශනවලට අනුව ඊයේ (20) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී 19 හැවිරිදි බිරිඳ සහ 21 හැවිරිදි සැමියාව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අනතුරුව ඔවුන් යාපනය පොලිස් ස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කර ඇති අතර තමන් විසින් කථිකාචාර්යවරියගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට ඇයගේ බෑනා පාපොච්චාරණය කර ඇත.

ඉන් අනතුරුව මළ සිරුර යාපනය – තනංකිලප්පු, අරුගුවෙලි ප්‍රදේශයේ ඇති වගුරුබිමක දැමූ බවට ද සැකකාර බෑනා පොලීසියට පවසා තිබේ.

ඒ අනුව සිදු කළ මෙහෙයුමකින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර ඒ වනවිටත් එය විකෘති වී තිබූ බවට තොරතුරු වාර්තා වේ.

මේ වනවිට අදාළ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න පත් කළ අමාත්‍ය කමිටුව රැස්වෙයි…

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.

මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එසේම රජයේ අත්‍යවශ්‍ය සේවාවන්ද බාධාවකින් තොරව පවත්වාගෙන යෑම පිළිබඳවත් මෙහිදී කමිටුවේ අවධානය යොමු වූ අතර, මහජනතාවට රජයේ සේවා ලබාදීම අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ රජයේ සේවකයන්ට මුහුණ දීමට සිදුවන අසීරුතා මඟහැරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ටී. එම්. උදයංග හේමපාල, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ටී. ආර්. ඩබ්. එස්. ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. එස්. රාජකරුණා යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හංවැල්ල වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720ක් පොලීස් භාරයට….

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේ වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්‍රමාණයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පවසයි.

එම ඩීසල් තොග විකිණීමේ අරමුණින් රැස්කර ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කරයි.

අදාළ වෙළදසැල තුළ බූලි කෑන් සහ බැරල් 40කට ආසන්න ප්‍රමාණයක මෙම ඩීසල් තොගය ගබඩා කර තිබූ බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (21) දින හෝමගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සුසාන භූමියක කාණුවක් තුළ නාඳුනන පුද්ගල මළ සිරුරක්…..

ඉරට්ටපෙරියකුලම් පොලිස් වසමේ පොදු සුසාන භූමියේ කාණුවක් තුළ තිබී පිලිස්සී මියගිය නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මෘත ශරීරය හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින බවත් එය උස අඩි 05 අගල් 06ක් පමණ වූ සාමන්‍ය සිරුරැති පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වන බවත් පොලීසිය පැවසීය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙතදැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක
ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානාධිපති – 071-8591344
ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානය – 024-2223532