ස්ථානමාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මුහුණ දෙන ගැටලු නිරාකරණයට රජය මැදිහත් වෙයි….

ස්ථානමාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු නිරාකරණය සඳහා මැදිහත් වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී ඇත.

එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්‍යක්ෂ ECl] වෙත දැනුම් දෙන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් පහරදීමක්…..

ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පවසන්නේ ඉදිරියේදීත් මෙවැනි පහරදීම් සිදුවුවහොත් ධීවරයින්ට සිය රැකියා අත්හැර දැමීමට සිදුවනු ඇති බවය.

වෙන්නප්පුව වෙල්ලමංකරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක ධීවරයින් 12 දෙනෙකුට පසුගිය 29 වන දින මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් පහරදීමක් සිදුකර තිබේ.

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුවු බව ධීවරයින් පවසයි.

පහර කෑමට ලක්ව බරපතළ තත්ත්වයේ සිටි ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාවේ යාත්‍රාවක් විසින් මෙරටට රැගෙනවිත් ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබේ.

අනෙක් ධීවරයින් පිරිස අද (01) පෙරවරුවේ සිය යාත්‍රා මගින් වෙන්නප්පුව වෙල්ලමංකරය වරාය වෙත පැමිණ තිබුණි.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහතිකයක්……

තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය සංගමයේ සාමාජිකයින් හෙට (02) දිනයේත් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවය.

ඉල්ලීම්වලට රජය විසින් යහපත් ප්‍රතිචාර ලබා නොදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීවෘ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය සංගමයේ කිසිදු සාමාජිකයෙකු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා එක් නොවන බවය.

හර්ෂ අබේවික්‍රම තනතුරින් ඉවත් කිරීම ගැන අමාත්‍යාංශය කරුණු කියයි…..

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා වන හර්ෂ අබේවික්‍රම මහතා තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව පලවන වාර්තා සම්බන්ධව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ හිටපු සභාපතිවරයා තනතුරින් ඉවත් කිරීමට හේතු වූ කාරණය ලෙස ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්, ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළත්වීමට ලබාගත් විශේෂ අවසර පත්‍රයක් දීර්ඝ කිරීමට ඉල්ලීම් කරන ලද ලිපියක් පාදක කරගනිමින් සාවද්‍ය මතයක් ඇතැම් සමාජ මාධ්‍යයන් හී පළවන බවය.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලිපි ශීර්ෂය සහිත වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාට පසුගිය 2025.12.29 දින පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ලිපියක් මගින් පසුගිය කාල වකවානුවල ලබා දී තිබූ ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළත්වීමේ විශේෂ අවසර පත්‍රය පසුගිය දෙසැම්බර් 31න් කල් ඉකුත් වන බැවින් එය ඉදිරි වර්ෂය සඳහා දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලූ බවත් එය අමාත්‍යවරයා විසින් බානගල හිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික කටයුතු පිළිබඳව සලකා බලා ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළුවීමේ විශේෂ අවසර පත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දින සිට ඉදිරි වර්ෂයට දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස එම ලිපියේම සටහනක් තබා ඉදිරි කටයුතු සඳහා හිටපු සභාපතිවරයා වෙත යොමු කළ බවත් අමාත්‍යාංශය සිය ලිපියේ සඳහන් කර ඇත.

එහිදී විශේෂ අවසර පත්‍ර නිකුත් කිරීම සම්බන්ධව මීට පෙර අවස්ථාවල ඇති ඇතැම් අත්දැකීම් පිළිබඳව හිටපු සභාපතිවරයා සිදුකළ දැනුම්දීම සලකා බලා සුදුසු කොන්දේසි සහිතව අවසර ලිපියක් නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවත් එම උපදෙස්වලට අනුකූලව පසුගිය 09 වැනි දින පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට ලිපියක් යැවීමට හිටපු සභාපතිවරයා කටයුතු කළ බවත් අමාත්‍යාංශය සඳහන් කර ඇත.

පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීමකට අනුව අදාළ ලිපිය නිකුත් කිරීම ජනවාරි මුල් සතිය තුළදී සිදුවූ බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය සිය නිවේදනය මගින් දන්වා ඇත්තේ මේ කරුණ සම්බන්ධව අමාත්‍යවරයා සහ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා අතර කිසිදු මත ගැටුමක් සිදුව නොමැති බවය.

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් හා තවත් කරුණු කිහිපයක අවශ්‍යතාවය මත සභාපති තනතුර පිළිබඳව තීරණයක් ගැනීමට සිදුව ඇති මොහොතක අමාත්‍යවරයා සහ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා සමග පසුගිය 21 වැනිදා සාකච්ඡාවක් කළ බවත් ඒ අනුව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

ඒ අනුව පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට යවන ලද ලිපිය හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට කිසිදු ආකාරයකින් සම්බන්ධතාවක් නොමැති බවත් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති රැස්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ.

ඊට වෛද්‍ය, දන්ත වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය අතුලු සෞඛ්‍ය සේවයේ සියලු  ශ්‍රේණින් නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් සහභාගී විය.

එහිදී සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති පොදු ගැටලුවලදී ශ්‍රේණි අතර බෙදීමකින් තොරව එකම කණ්ඩායමක් ලෙස එක්ව ශක්තිමත්ව කටයුතු කිරීමට එකඟවී තිබේ.

ඒ අනුව අනුමත සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම, ඖෂධ සහ උපකරණ හිඟය, ඖෂධ සහ උපකරණවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු, රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තියක් ස්ථාපිත කිරීම සහ යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය යන කරුණුවලදී සමිති සියල්ල පොදු එකමුතුවක් සහ පුළුල් සංවිධානයක් ලෙසට කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම එක් එක් සේවා කාණ්ඩයන්ට අනන්‍ය වූ ගැටලුවලදී වෙන් වෙන්ව එම ගැටලු වෙනුවෙන් පෙනි සිටීමට සහ වෙන වෙනම වෘත්තිය සටන් කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟවී ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්…..

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැත්විණි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැරඹුම් ස්ථානවලට පිවිසීම පහසු වනු පිණිස ඩිජිටල් ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමේ ක්‍රියාවලියෙහි ලබා ඇති ප්‍රගතිය මෙන්ම සංචාරකයන්ගේ වීසා සම්බන්ධ කටයුතු කඩිනමින් සිදු කිරීම කෙරෙහිත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

තවද, සංචාරකයන්ගේ පහසුව සඳහා රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා විධිමත් කිරීමටත්, ඒවායේ පවතින ගැටලු පිළිබඳව මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ සහ සංචාරක ගමනාන්ත අතර බස් රථ සේවා ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ වන විට ආරම්භ කර තිබෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී විමසා බැලිණි.

එසේම මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතන සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් සංචාරකයන් මුහුණ දෙන ගැටලු සංචාරක පොලිසිය මගින් විසඳීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානවල පවතින ගැටලු මෙන්ම, සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්ම මහත්මීහුද, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගණේමුල්ලෙන් සොයාගත් රු.කෝටි 20ක කොකේන් ගැන තවත් තොරතුරු…..

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක සඟවා තිබියදී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (30) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (29) මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

එහිදී රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සමග කාන්තාවක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබුණි.

ගොඩබිමදී සොයාගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය එය බව පසුව පොලිසිය අනාවරණය කළේය.

එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් හා මත්පෙති 3,450ක් සොයා ගැනුණි.

අදාළ කොකේන් මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 20කට අධික අතර මත්පෙතිවල වටිනාකම රුපියල් කෝටි 2කට අධික බව පොලිසිය පැවසීය.

අනතුරුව නිවෙස්හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇයගේ වැඩිමහල් පුත්‍රයා විසින් එම මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටකින් මෙරටට ආනයනය කර ඇති බවය.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණවී තිබේ.

රාත්‍රී සමාජ ශාලා වෙත අලෙවි කිරීම සඳහා මොවුන් මෙම මත්ද්‍රව්‍ය තබාගෙන සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

මොඩියුල පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක්…..

ගැටලු සහගත මොඩියුලය පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන එහි විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) නියෝග කළාය.

ඒ විමර්ශනවල ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේදීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙඩ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටියි.

ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර අධිකරණය කළ දැනුම්දීමක් අනුව විමර්ශනවල ප්‍රගතිය එහි නිලධාරීන් අදත් අධිකරණයට දැනුම්දුන්නාය.

නඩුවේ මැදිහත්කාර පාර්ශ්ව ‍වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා එහිදී චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මන්දගාමීව ක්‍රියාත්මක කරන බවටය.

අධ්‍යාපන අමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සියලුදෙනා වගකිවයුතු මෙම සිද්ධියේදී නිලධාරීන් දෙ‍දෙනකුගේ පමණක් වැඩ තහනම් කිරීමෙන් ‍මෙය සරල ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ප්‍රශ්නගත මොඩියුලයේ 51 සහ 52 පිටුවල අදාළ වෙබ් අඩවිය පිළිබඳ සටහන්ව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ එම පිටු අංක 47 සහ 48 ලෙස දක්වා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

විමර්ශන නිලධාරීන් එම මොඩියුලයක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේ ප්‍රශ්නගත වෙබ් අඩවිය පිළිබඳ සඳහන්ව ඇත්තේ මොඩියුලයේ 47 සහ 48 වැනි පිටුවල බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් මොඩියුලය 2025 දෙසැම්බර් 23 වැනිදා මුද්‍රණය කර ඇති මොඩියුලයක් බවද එම නිලධාරීහු ප්‍රකාශ කළහ.

කෙසේවෙතත් මැදිහත්කාර පාර්ශ්වයේ නීතිඥවරු එහිදී යළි අධිකරණයට කියා සිටියේ ගුරුවරු පුහුණු කිරීමට භාවිත කළ මොඩියුලය නොව වෙනත් මොඩියුලක් එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

එම මොඩියුල දෙකම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

සිද්ධියට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත්තේ ඇයිදැයි අනතුරුව මහේස්ත්‍රාත්වරිය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාය.

ඊට පිළිතුරුදෙමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ මොඩියුල සැකසූ නිලධාරීන් දෙදෙනෙකු එලෙස වැඩ තහනමට ලක්ව ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකට අනුව එය සිදුකර ඇති බවය.

ප්‍රශ්නගත සිදුවීමේදී වී ඇත්තේ රාජකාරිමය නොසැලකිල්ලක්ද? නැතිනම් චේතාන්විතව සිදුකළ ක්‍රියාවක්ද?

එමගින් පොදු දේපළ අවභාවිතයක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් මොඩියුලයට අදාළව පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම අවස්ථාවේ දැනුම්දුන්නේය.

සිද්ධියට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පිළිබඳ සැකයක් පවතින්නේනම් ඔහුද මෙහි සාක්ෂිකරුවෙක් විය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය එහිදී පැවසීය.

එමෙන්ම විමර්ශනවල ප්‍රගතිය එළඹෙන පෙබරවාරි 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස ද ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට…..

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දුවී වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙකු රාජගිරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සැකකරු පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය යටතේ ස්ථාපිත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනවලට අනුවය.

මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ව්‍යාජ ලිපි ශීර්ෂ පිටපත්, ජීව දත්ත පත්‍රිකා, විදෙස් ගමන් බලපත්‍ර ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර කිහිපයක් ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 38ක් වූ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 02ක් මත මුදාහැර ඇති අතර සැකකරුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

විදේශසේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්…..

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, අදාළ වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුකර ඇති බවය.

නීපා නමින් හඳුන්වන වෛරසය ආසියානු කලාපය හරහා පැතිර යා හැකි බවට අනාවරණය වීමත් සමග ආසියානු කලාපයේ බොහෝ රටවල් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.

තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව යන රටවල බලධාරීන් මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පරීක්ෂණ කටයුතු ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙය වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් වැලඳෙන වෛරසයක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙහි මරණ අනුපාතය 40%ත් 75%ත් අතර වන බව සඳහන්ය.

නීපා වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකි වුව ද එය සම්ප්‍රේෂණය වීම ඉතා සුළු වශයෙන් සිදුවන බව වාර්තා වේ.

ආසියානු කලාපයේ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද මෛම වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.

“ලංකාවට කිසිම ආකාරයක මේකෙන් තර්ජනයක් නෑ මේ වෙනකොට. ඉතිහාසයේ මේක කවදාවත් වසංගතයක් විදියට පැතිරිලා නෑ. ඒ නිසා අපි අනවශ්‍ය විදියට බිය විය යුතු නෑ. ඒ වගේම මේ වෛරස් එක තියෙනවා ද කියලා සැක සහිත පුද්ගලයින්ගේ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලංකාව සතුව තියෙනවා. මේ වගේ වෛරස් එකක් පැතිරෙනකොට අපි ඉතා ළඟින් අධ්‍යයනය කරනවා ලංකාවට බලපෑමක් තියෙනවා ද කියලා. මේ වනතෙක් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නෑ. ලෙඩ සහිත පුද්ගලයෙකු ගුවන්යානයකින් එන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නෑ. ඒ නිසා ලෙඩ සහිත පුද්ගලයින් ලංකාවට එන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒ නිසා බය වෙන්න එපා.”

මෙරටට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් ද ‘අද දෙරණ’ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගෙන් විමසීමක් කළේය.

“අපි එහෙම පරීක්ෂණ කළ යුත්තේ වසංගත රෝගී තත්ත්වයක් තියෙන කොට, වෛරස් එකක් විදියට පුද්ගලයින් අතර පැතිර යා හැකි අවස්ථාවක. ඇත්තටම මේ වෛරස් එක තියෙන පුද්ගලයෙක් අධිකව රෝගී තත්ත්වයට පත්වෙනවා. එවැනි අයට ප්ලේන් එකෙන් එන්න තරම් හැකියාව අඩුයි. මෙය පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට පැතිර යා හැකි අවස්ථාව ඉතාම අඩුයි. ඒ නිසා මේකට කිසිසේත්ම බිය විය යුතු නෑ. අනවශ්‍ය විදියට මුදල් හෝ කාලය වියදම් කළ යුතු නෑ මේ වෙනුවෙන්.” 

එහිදි ඔහු සඳහන් කළේ, එවැනි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.