ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි…..

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදු විය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් වූ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමටත්, විශේෂයෙන් එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය පිළිබඳත්, ආහාර ද්‍රව්‍යවල මිල උච්ඡාවචනයන් සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු විය.

ප්‍රමුඛතාවක් ලෙස සලකා ආහාර නිෂ්පාදනයට සහ ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට මෙහිදී අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදී.

මෙරට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී යම් හෙයකින් අදාළ රටවල් විසින් අපනයන සීමා කරනු ලැබුවහොත් එය කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී  අවධානය යොමු විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාර්තු 7 සහ 8 දිනවල අත්හිටවූ ශ්‍රීලන්කන් ගුවන් ගමන්….

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අද සහ හෙට දිනවල රාත්‍රී 11.59 දක්වා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.

ඊට කටුනායක සිට ඩුබායි, රියාද්, දෝහා, ඩම්මාම් යන ගමනාන්ත සඳහා වූ ගමන්වාර කිහිපයක් අයත්ය.

මගීන්ට තම ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු www.srilankan.com වෙබ් අඩවිය පරීක්ෂා කර ලබාගත හැකි බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම දන්වා සිටිනවා.

සහාය අවශ්‍ය මෙරට සිටින මගීන්ට 1979 විමසීමෙන් හා වෙනත් රටක සිට විමසන්නේනම් 0094 11 777 1979 අංකය ඔස්සේ ද තොරතුරු ලබාගත හැකිය.

එමෙන්ම, වැඩිදුර තොරතුරු සඳහා ළඟම ඇති ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කාර්යාලයෙන් හෝ ටිකට්පත ලබාගත් ගමන් නියෝජිතයා සම්බන්ධ කරගන්නා ලෙසත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා සිටී.

අකුරේගොඩ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි….

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අනාවරණ කරගෙන තිබේ.

ඒ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරුගෙන් රඳවාගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

තමන් අදාළ ඝාතනය සිදු කිරීමෙන් පසුව කොට්ටාව දක්වා පැමිණ මෝටර් රථයෙන් බැස කොළඹ කොටුව දක්වා පැමිණි බව සැකකරු පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

අනතුරුව කොළඹ, කොටුවේ සිට දඹුල්ල දක්වා ගිය බවත් එහි සිට තමන් වෙනුවෙන්ම කරන්දෙණියේ සුද්දා විසින් සූදානම් කර තිබූ බස් රථයකින් මොණරාගල දක්වා ගිය බවත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස විසින් අදාළ බස් රථය සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ, මොරටුව – කොළඹ මර්ගයේ ධාවනය වන බස් රථයකින් අදාළ වෙඩික්කරුව දඹුල්ලේ සිට මොනරාගලට රැගෙන ගොස් ඇති බවය.

අනතුරුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් එම බස් රථය රියදුරු හා එහි කොන්දොස්තරවරයා ද සමගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, අදාළ ඝාතනය සිදුකළ දිනට දින තුනකට පෙර කරන්දෙණියේ සුද්දා විසින් බස් රථය රියදුරුගේ නමට රුපියල් ලක්ෂ 65කට මිලදී ගෙන ඇති බවය.

අදාළ රියදුරු කරන්දෙණියේ සුද්දාගේ සමීපතමයෙකු බව ද පොලිසිය පැවසීය.

ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත තමන් හා කොන්දොස්තරවරයා ගොස් අදාළ වෙඩික්කරු දඹුල්ලේ සිට මොනරාගලට රැගෙන ගිය බවය.

අදාළ රියදුරු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවකු බවද පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සැක පලකරන්නේ ලොකු පැටීගෙන් පළිගැනීම සඳහා ඔහුගේ නීතීඥවරයා ඝාතනය කිරීමට කරන්දෙණියේ සුද්දා විසින් එම උපක්‍රමය භාවිත කර ඇති බවටය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට….

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.

එහිදී එම ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකුට නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම බහුධින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවත් නාවික හමුදාව සඳහන් කළේය.

දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි….

භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, ධර්මධර, විනයධර, ශ්‍රාස්ත්‍රිය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අද (07) පැවති සියලු පහසුකම් සහිත නව බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීම සහ අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍ර අභිනන්⁣දනොත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ රජයක් ලෙස උත්සාහ ගනුයේ නවීන ලෝකයට ගැලපෙන පරිදි විද්‍යාත්මක හා තාර්කික පදනමකින් යුතුව ඉදිරියට යාමට බවත් නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් සෑම පුරවැසියෙකුටම ලබා දීම සහ අධ්‍යාපනය පොදු මානව අයිතිවාසිකමක් බවට පත් කරමින් මෙරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම බවය.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය මෙරට උසස් අධ්‍යාපන පද්ධතිය තුළ සුවිශේෂි වනුයේ එහි පාලනය හා අධ්‍යන කටයුතු භික්ෂූන් වහන්සේලා වෙතම පැවරී තිබීම හේතුවෙන් බවත් මෙහි ප්‍රදාන පරමාර්ථය විය යුත්තේ හුදෙක් උපාධිධාරීන් බිහි කිරීම පමණක් නොවන බවද අග්‍රමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

එහිදී ඇය පැවසුවේ සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනී සිටින, ධර්මධර, විනයධර මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් රටටත්, ලෝකයටත් දායාද කිරීම බවය.

තවද භික්ෂූන් වහන්සේලාට පාලි, සංස්කෘත වැනි සම්භාව්‍ය භාෂා මෙන්ම නූතන ලෝකය ජය ගැනීමට අවශ්‍ය භාෂාමය දැනුම හා තාක්ෂණික මෙවලම් ලබා දීම හරහා ජාත්‍යන්තර මට්ටමින් බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීමට රජය උපරිම සහාය ලබා දීමට සූදානම් බවද ඇය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

කුඩු සළිඳුගේ රුපියල් කෝටි 02ක දේපළ තහනම් වෙයි…..

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර තිබේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනුයේ පානදුර – රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක්කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද පවතින බවය.

විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුව ගෙන මෙරටට රැගෙන ආ කුඩු  සළිඳු නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් තිබුණි.

ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම දේපළ තහනමට ලක් කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන ඇත.

පසුගිය කාලය පුරා ඔහු විසින් සහ පානදුර කුඩු නිලංග යන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වී පානදුර දකුණ, හිරණ හා පින්වත්ත පොලිස් බල ප්‍රදේශවලදී පුද්ගලයින් කිහිප දෙනෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඝාතනයට ලක්වූ අතර කුඩු නිලංග නැමැත්තා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග එම ගැටුම් තරමක් පහව ගොස් තිබේ.

මේ වන විට කුඩු  සළිඳු නැමැත්තා විදෙස් රටක සැඟව ජීවත් වන අතර සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි….

ප්‍රකාශයට පත්කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 100කින් සම්මතවී තිබේ.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 08ක් පමණය.

මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 81 යෝජනා සම්මතය වැඩි ඡන්ද 100කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය යථා පරිදි  සම්මත කරගන්නා ලදී.

ආපදා අවස්ථාවේදී රාජකාරි කළ රජයේ නිලධාරීන්ට දීමනා ගෙවීම සම්බන්ධව චක්‍රලේඛයක්…

පසුගියදා පැවැති ආපදා අවස්ථාවන් හිදි රාජකාරී කටයුතුවල නියුතු වූ රාජ්‍ය නිලධාරීන් සඳහා වූ දීමනා ගෙවීම් සම්බන්ධව ආරක්ෂත අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පැවැති ආපදා අවස්ථාවන් හිදි එම රාජකාරිවල නියුතු වූ නිලධාරීන්හට චක්‍රලේඛයේ සඳහන් අවශ්‍යතා සැපරීම මත මෙම දීමනා ගෙවීම් සිදුකරනු ඇති බවය.

ඒ අනුව වැටුප් කාණ්ඩ 05ක් යටතේ මෙම දීමනා ගෙවනු ලබන අතර ඒ සඳහා පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතු බවත් ආරක්ෂක අමාත්‍යාංශය සිය චක්‍රලේඛය මගින් දන්වා තිබේ.

3.1.  විස්තීරණ ආපදා පැවතෙන කාලය තුළදී සතියේ දිනවල තම සමාන්‍යය රාජකාරී වේලාවට අමතරව දිනකට පැය 04කට නොඅඩු කාලයක් හදිසි ආපදා රාජකාරීවල යෙදිය යුතු අතර මසකට දින 10ක උපරිමයකට යටත්ව උක්ත 2 හි සඳහන් දීමනා ලබාදිය හැකිය.

3.2. ඉහත නිලධාරීන් අතුරින් අතිකාල දීමනා හිමි වැටුප් කාණ්ඩවලට අයත් නිලධාරීන් තම සාමාන්‍ය රාජකාරී වේලාව ඉක්මවා පැය 04ට වඩා වැඩි කාලයක් සේවය කරන අවස්ථාවේදී, මෙම දීමනාවට අමතරව එම වැඩිවන පැය ගණන සඳහා මසකට පැය 240ක උපරිමයකට යටත්ව අතිකාල දීමනා ලබාදිය හැකිය.

3.3. විස්තීරණ ආපදා හේතුවෙන් හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ කාර්යයන් හි රජයේ නිවාඩු දිනවලදී හා සතිඅන්ත දින වලදී රාජකාරීවල යෙදෙන මාණ්ඩලික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා නිවාඩු දින වැටුප් හිමි නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හා කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025 හි විධිවිධාන වලට යටත්ව වැටුපෙන් 1/30ට සමාන දීමනාවක් ලබා දිය යුතුය. එම දීමනාව ලබා ගැනීමට පැය අටක් සේවය කළ යුතු අතර එකී කාල සීමාවට අමතරව අවම පැය 04ක වැඩිපුර සේවා කාලයක් විස්තීරණ ආපදා අවදානම් රාජකාරී ඉටුකර ඇත්නම්, එකී 1/30 දීමනාවට අමතරව උක්ත අංක 02 හි සඳහන් දීමනාවද ලබා ගත හැකිය. විස්තීරණ ආපදාවෙන් පසුව ආපදා සහන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ හෝ නැවත පදිංචි කිරීමේ කාර්යයන් හි නිවාඩු දින වැටුප් ලබා දීම ආසන්නතම අධීක්ෂණ නිලධාරියා විසින් සමීප අධීක්ෂණයකින් යුතුව නියමිත පරිදි  රාජකාරී ඉටු කරවාගෙන ගෙවීම් කිරීමටත්, පවතින ප්‍රතිපාදන වලින් කළමනාකරණය කර ගැනීමටත් කටයුතු කල යුතුය.

3.4. විස්තීරණ ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල රාජකාරියේ නියුතු පරිපාලන ග්‍රාම නිලධාරීවරුන් සඳහා විස්තීරණ ආපදා රාජකාරී වල නියැලෙන කාල සීමාවේදී මසකට දින 10ක උපරිමයකට යටත්ව දිනකට රු.1500 ක අමතර දීමනාවක්ද, ග්‍රාම නිලධාරීවරුන් සඳහා දිනකට රු.1000ක අමතර දිමනාවක් ද රජයේ නිවාඩු දිනවල, සති අන්ත දිනවල හා විවේක දිනවල රාජකාරියේ නිරත වීම වෙනුවෙන් විශේෂ අවස්ථාවක් සේ සලකා ඉහත 2හි දීමනාවන්ට අමතරව ගෙවීම් කල හැකිය.

04. 2025.11.21 දින සිට 2025.12.15 දක්වා වු විස්තීරණ ආපදා අවස්තාවේදී රාජකාරි කටයුතු සිදුකළ නිලධාරීන් සඳහා හා මින් ඉදිරියට ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන විස්තීරණ ආපදා අවස්ථාවන් වලදී රාජකාරී කටයුතු සිදු කරනු ලබන නිලධාරීන් සඳහා ඉහත 3 ඡේදය යටතේ වූ දීමනා ගෙවීම සිදු කල හැකිය.
05. විස්තීරණ ආපදා අවස්ථාවකදී රාජකාරී වල නියැලෙන නිලධාරීන් හට ගෙවිම් කිරීමේදී, ගෙවීම් කරනු ලබන්නේ කා සඳහාද, ගෙවීම් කිරීම සිදු කරනු ලබන උපරිම දින සංඛ්‍යාව හා මෙම දීමනාව හිමි වන විස්තීරණ ආපදාව පැවති ප්‍රදේශ හා කාල සීමාව කාල සීමාවන් පිළිබඳව ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කලින් කල අමාත්‍ය මණ්ඩලය විමසා කටයුතු කල යුතුය.

06. ආපදාවට ලක්වූ ග්‍රාම නිලධාරී වසම් වලට විස්තීරණ ආපදා රාජකාරී වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය ලේකම් විසින් අදාළ කාලසිමාව තුළදී අනුයුක්ත කරන ලද හා/හෝ වැඩ බලන වෙනත් ග්‍රාම නිලධාරී වසම් භාර ග්‍රාම නිලධාරීවරුන් සඳහා ඉහත අංක 2 හා 3.5 හි සඳහන් දීමනා හිමි වේ.

07. ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ආයතන ප්‍රධානීන්, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් හා හෝ ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් විස්තීරණ ආපදා කාලය තුළ ආපදා රාජකාරී සඳහා යම් නිලධරයකු යොදවා ඇත්නම් ඉහත අංක 2 හි දිමනාව ගෙවීම සිදුකල හැකිය.

08. ආපදා අවස්ථා වලදී විස්තීරණ ආපදා රාජකාරී සිදුකරන ලද නිලධාරින් වෙත මෙම දීමනාව ගෙවීමේ දී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිලධාරින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරින් වෙත ගෙවීම් අනුමත කිරීමේ බලය පැවරේ.

09. දේපළ හානි තක්සේරු කටයුතුවල නිරතවන දේපළ හානි තක්සේරු කමිටුවේ සාමාජිකයින් වෙත දැනටමත් රුපියල් සියයක (රු.100/-) දීමනාවක් ලබා දෙන බැවින් එම නිලධාරීන් විසින් දේපළ හානි තක්සේරු කිරීමේ කාර්යය සඳහා යොදවන කාලය මෙම දීමනාව ලබා ගැනීමට ගණනය නොකල යුතුය.

10. ඉහත සඳහන් උපදෙස් අනුව මෙම දීමනාව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ සමඟ අමුණා ඇති ආකෘතිය මඟින් එක් එක් ආපදාවන් සඳහා වෙන් වෙන් වශයෙන් ඉල්ලුම් කරන මෙන් කාරුණිකව දන්වන අතර ගෙවීම් කිරීමේ දී ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා පවතින නිතිරීතිවලට අනුකූලව ගෙවීම් කටයුතු කරන ලෙසටත් රාජකාරි කටයුතුවල නිරත වූ නිලධාරින් හට ගෙවීම් කිරීමේදී, එම නිලධාරින් අදාළ කාලසිමාවේදී මුදවාගැනිම්, ආපදා සහන හා පුනරුත්ථාපන රාජකාරී කටයුතුවල ඵලදායී ලෙස නිරත වූ බවට සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවීම් කටයුතු කරන ලෙසටත් වැඩිදුරටත් දන්වමි.

අපි අකමැති තත්ත්වයක් ඇතුළේ වුණත් යම් යුදමය තත්ත්වයකට රට වැටිලා – සුනිල් වටගල…

අප අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද(06) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බිහිසුණු ක්‍රියාවලියක් දෙස බලාසිටින්නන් පිරිසක් බවට අප පත්ව ඇති බව ද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කවුරුන්, කෙලෙස වින්දිතයන් බවට පත් වේද යන්න පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

පසුගියදා ගාලු මුහුදු සීමාවේදී අනතුරට පත් අයිරිෂ් ඩෙනා නෞකාවේ සිද්ධිය ඊට නිදසුන් සපයන බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා,

“කරාපිටිය රෝහලට හදිසියේ භාර ගන්නට සිදුවූ වගකීම වැනි වගකීම් කවදා කොහොම කොයි ආකාරයෙන් තව කාට භාරගන්නට සිදුවේදැයි අපිට අනුමාන කිරීමට හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් අපේ රටේ ජන ජීවිතයට කළ හැකි බලපෑම අපිට කල්තියා අනුමාන කරන්න බැහැ. සැතපුම් දහස් ගණනක් ඈත තියෙන කරාපිටිය රෝහලත් මේ යුද්ධයේ දී මෘත ශරීරවලින් පිරී යන්න ගතවුණේ දවසයි. ඒ නිසයි අපි සූදානම් විය යුත්තේ. ඒ නිසයි අපි පූර්ව ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුත්තේ. හදිසි නීතිය පැනවීමෙන් අපිට අයන් ඩෝම් එකක් ලැබෙන්නේ නැහැ. හැකි පමණින් සූදානම්වීමට අවස්ථාව සැලසෙනවා”

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල් 582,786.18 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන තිබේ.

ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින් ශ්‍රියානි කුලවංශ මහත්මිය විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා වෙත පසුගියදා  භාර දෙන ලදී.

නිම්මි ද සොයිසා, සුනිල් ගුණවර්ධන, නිලූකා, කයිල් අබේසිංහ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.