උත්සව සමයේ අවධානය යොමු කළ යුතු කරණු ගැන GMOA දැනුවත් කිරීමක්…..

දිවයින පුරා පිහිටි සියලුම රෝහල් පැය 24 පුරාම සිය සේවාවන් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා පැවසුවේ අවුරුදු කාලය තුළ තමන්ගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

විශේෂයෙන්ම ගිනිකෙළි ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසත් කුඩා දරුවන් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

ජනවාරි මාසයේ දී මෙම ගිනිකෙළි ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අනතුරුවල යම් අඩුවීමක් දක්නට ලැබුණ අතර එය මෙම උත්සව සමය තුළ ද අපේක්ෂා කරන බව  වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

එමෙන්ම උත්සව සමය තුළ රිය අනතුරුවල වර්ධනයක් දැකගත හැකි අතර තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිළිමත් වෙන ලෙසද මෙහිදී වෛද්‍යවරයා දැනුම් දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

”ඒ වගේම අධික වේගයෙන් යන්න එපා… අධික වේගය මාරයා වෙත ඔබ ළං කරයි…ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කර කිසිම හේතුවක් මත වාහන ගෙනියන්න එපා…අධික වෙහෙස නිදිමත මේ අනතුරුවලට තවත් හේතුවක් මේ නිසා මේ පිළිබඳ අවධානය යොමු කර ගමන් බිමන් යන්න… ඒ වගේම මේ අවුරුදු සමය තුළ පිරිසුදු ආහාර පමණක් ආහාරයට ගන්න.. අපි වෙළඳුන්ටත් උපදෙස් දෙනවා අපිරිසිදු ආහාර අලෙවි කරන්න එපා.. ආහාර සැකසීමේ දී ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ගන්න.. වියළි කාලගුණය සමඟ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.. මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න.. පිරිසුදු ජලය පමණක් භාවිතා කරන්න.. හැකිතාක් උණු කර නිවාගත් ජලය පානය කරන්න.. දීර්ඝ කාලීන රෝගවලට ප්‍රතිකාර ගන්න පුද්ගලයෙක් නම් ඖෂධ ගන්න අමතක කරන්න එපා. මේ අවුරුදු සමය තුළ පැණි රස ආහාර වැඩිපුර ගන්නවා ඒ වගේම පරිභෝජන රටාව වෙනස් වෙනවා.. ඒ නිසා දීර්ඝ කාලීන ලෙඩ රෝග තියන අය ඒ කියන්නේ දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග තියන අය බෙහෙත් බොන්න.. මොකද උත්සව සමය අවසන් වූ පසු රෝහලට එන ප්‍රමාණය වැඩිවෙනවා.. මේ නිසා ආහාර රටාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න”

බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්……

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සදහන් කළේ අද (13) සහ හෙට (14) යන දෙදින තුළ එම අවස්ථාව ලබාදී ඇති බවය.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව සියලු බන්ධනාගාරවලට අදාළව මෙම විශේෂ අවස්ථාව ලබා දී තිබේ.

රැදවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හෝ රස කැවිලි පාර්සලයක් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැදවියෙකුට ප්‍රමානවත් පරිදි ලබාදීමට අවසර ලබා දී ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කළේය.

බණ්ඩාරවෙල පාසලක විද්‍යාගාරයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවිය කියන සංවේදී කතාව….

පසුගිය මාර්තු 23 වෙනිදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ බීකරයක් පිපිරීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා විය. එය පිපිරීමක් නොව ගිනි ගැනීමක් බවත් ඉන් එක් සිසුවියක් බරපතළ තුවාල ලැබූ බවත් තවත් සිසුවියක් සුළු තුවාල ලබා ඇති බවත් සඳහන් වේ. එහිදී බරපතළ තුවාල ලැබූ සිසුවිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

විද්‍යා විෂය භාර ගුරුවරිය විසින් ශාක පත්‍ර තුළ පිෂ්ඨය තිබේදැයි පරීක්ෂා කිරීමට සිසුන්ට ඉගැන්වීමට සැලැසුම් කර සිටියාය. ශාක පත්‍ර එතිල් ඇල්කොහොල් දැමූ පරීක්ෂණ නාලයක දමා ජලය දැමූ බීකරයක බහා ස්ප්‍රීතු ලාම්පුවක් ආධාරයෙන් රත් කිරීමට පියවර ගෙන ඇත.

ලාම්පුවේ තිරයට ගෑවෙන මට්ටමට පමණක් ස්ප්‍රීතු තිබීම හේතුවෙන් එහි දැල්ල භාගයට පත්තුවෙමින් තිබී ඇත.  අදාළ ගුරුවරිය කතුරක් ආධාරයෙන් ලාම්පු තිරය එළියට ඇද ලාම්පුවට ස්ප්‍රීතු පිරවීමට කටයුතු කර තිබේ. එම අවස්ථාව වනවිටත් තිරය පත්තුවෙමින් තිබීම නිසා එය ඉතා සුළු වේලාවක් තුළ ගිනිගෙන තිබේ.‍ ඉන් බියට පත් වූ ගුරුවරිය ස්ප්‍රීතු අඩංගු කෑන් එක තුවාල ලබා රෝහල් ගතව සිටි සිසුවිය සිටි දෙසට විසි කර තිබේ.

ඒ සමඟම සුදු පාට දුමක් මතුවී ඇති බැවින් ඉන් අනතුරුව ගිනි ගැනීමක් සිදු වනු ඇතැයි බියට පත් වූ මෙම සිසුවිය නැගිට දිව යාමට උත්සහ කළ ද ඇයගේ පාදය සිරවී තිබී ඇත. කෙසේ හෝ පාදය ඉන් මුදාගෙන විද්‍යාගාරයෙන් පිටතට පැමිණෙන විට තමන්ගේ පාසල් නිලඇඳුමේ කොලරය ගිනි ගැනීමට ලක්ව ඇති බවට ඇයට අවබෝධ විය. ඇය උදව් ඉල්ලා කෑගැසුවාය. ඇයට කිසිදු පිහිටක් හිමි වූයේ නැත. ඒ අසළ තිබූ බුද්ද ගස අසලට දිව ගිය ඇය එහි වූ දල්ලක් කඩාගෙන ගින්න නිවීමට ඇය උත්සහා කළාය.

මෙම සිද්ධිය දුටු ගුරුවරියක් විසින් අදාළ සිසුවියගේ නිල ඇඳුම ඉරා දමා තිබුණේ, ඇයගේ මුළු සිරුරම ගිනි ගැනීම වැළැක්වීමේ අරමුණෙන්ය. ඉතිහාසය විෂය භාර ගුරුවරියගේ සාරි පොටට ආවරණයවී සිටි සිසුවියව තවත් ගුරුවරියක් විසින් මේස රෙද්දකින් ආවරණය කර තිබේ.

මේ සිද්ධියෙන් තවත් සිසුවියක් තුවාල ලබා ඇති බවට ද අදාළ ගුරුවරිය දැනගනු ලබන්නේ බණ්ඩාරවෙල රෝහලට යන අතරවාරයේදීය. දෙවන සිසුවියට ඉතා සුළු තුවාල සිදුව තිබූ බවට සඳහන් වේ.

මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අදාළ සිසුවියව බදුල්ල රෝහලට මාරු කර යවා ඇත. මෙම මූලික ප්‍රතිකාර කිරීමට පෙර සිසුවියගේ තුවාල ඡායාරූප ගැනීමක් සිදු කළ යුතු වූවත් බණ්ඩාරවෙල රෝහල විසින් එය මඟහැර ඇති බවට තුවාල ලැබූ දැරිවියගේ මව චෝදනා කරයි.  සිසුවියගේ ප්‍රතිකාර සඳහා යන සියලු වියදම් තමන් විසින් දරන බව ඇය ප්‍රකාශ කර ඇතත්, මේ වනවිට ඇය පොරොන්දු ඉටු නොකරන බවට ද දැරිවියගේ මව චෝදනා කරයි.

බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම සිසුවිය කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා මාරු කර යැවිණි. මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇයගේ මුහුණ, බෙල්ල සහ අත්වල ගැඹුරු තුවාල පවතියි. එම තුවාල සඳහා තවත් සැත්කමක් කිරීමට නියමිතව තිබුණ ද මේ වනවිට ඇය ඩෙංගු රෝගයට ‌ගොදුරුවී සිටියි. ඒ අනුව පිළිස්සුම් තුවාලවලට ගනු ලබන ප්‍රතිකාරවලට අමතරව ඇයට ඩෙංගු රෝගය සඳහා ද ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇත. ‌ඩෙංගු රෝගයෙන් සුවය ලැබූ පසුව පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

අවුරුදු සතියේ අනතුරුවල ඉහළ යාමක්…

අලුත් අවුරුදු සතිය තුළ අනතුරු හේතුවෙන් රෝහල් ගත වීමේ ඉහළ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

එහි බෝ නෙවෙන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සදහන් කළේ මේ වන විට අනතුරු හේතුවෙන් පුද්ගලයින් 29,000ක් පමණ රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවය.

සෑම වසරකම ලක්ෂ 13ක පමණ පිරිසක් අනතුරු හේතුවෙන් රෝගල්ගතව ප්‍රතිකාර ලබන අතර එහිදී වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වන්නේ මෙම අලුත් අවුරුදු කාලසීමාවේ වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා,

”බස්නාහිර පළාතට සාපේක්ෂව අනෙක් පළාත්වල අනතුරු සිදු වීම බහුල වශයෙන් දකින්න පුලුවන්… වැඩිපුරම රෝහල්ගත වෙන්නේ මහාමාර්ග අනතුරු නිසා.. ඊට පස්සේ වැටීම්, සතුන් සපාකෑම්, හා පහර වැදීම් නිසා සිදුවන අනතුරු නිසත් රෝගල්ගත වෙන ප්‍රමාණය වැඩී.. කොහොම වුණත් ගිනිකෙළි නිසා සිදුවන අනතුරුවල සාපේක්ෂව අඩුවීමක් තියෙනවා.. අපි හැමෝම උනන්දු විය යුතුයි මේ අනතුරු වළක්වා ගන්න”

දිට්වා නිසා ආපදාවට ලක් වූ දේපළවලට වන්දි ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක්….

දිට්වා හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා වන්දි ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මෙහිදී ආපදාවට ලක්වූ ස්ථාන ප්‍රධාන වශයෙන් අධි අවදානම්, මධ්‍ය අවදානම් හා අඩු අවදානම් වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කර තිබේ.

ඉන් අනතුරුව එම අධි අවදානම් කාණ්ඩය යටතේ අදාළ නිවාස තවදුරටත් ප්‍රමුඛතාව 1, ප්‍රමුඛතාව 2 සහ ප්‍රමුඛතාව 3 යනුවෙන් අනු කාණ්ඩවලට වෙන් කරනු ලැබේ.

වන්දි ගෙවීම මෙම ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව සිදු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

අධි අවදානම් කලාපයට ඇතුළත්ව සිටින සියලු දෙනා නැවත පදිංචි කළ ද රජය විසින් ලබාදෙනු ප්‍රතිපාදන කාර්යක්ෂමව ලබාදීමට මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඔබ අයත්වන ප්‍රමුඛතාව කුමක්දැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දැනගත හැකිය.

යම් භූමි පරිශ්‍රයක් එකවර පරීක්ෂා කර වාර්තාවක් ලබාදුන්න ද ප්‍රමුඛතා අනුපිළිවෙලට වන්දි ගෙවනු ලබයි.

ඒ හේතුවෙන්  ඔබගේ අසල්වැසියාට මුදල් ප්‍රතිපාදන වෙන් වූවත්, ඔබට පළමු වාරයේදී ප්‍රතිපාදන නොලැබිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් මෝටර් රථ දෙකක් පොලිස් භාරයට…..

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෝටර් රථ දෙකක් ගණේමුල්ල ප්‍රදේශයේ දී අද (13) පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක දීය.

ගණේමුල්ල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 300ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 946ක් සමග ඊයේ (12) අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම මෝටර් රථ පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ මෝටර් රථ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගෙන ඇති බව දැනට සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සීමාවාසික වෛද්‍ය පත්කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් ගැන තීරණය මැයි 08…..

මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර දෙනවාද, නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද (10) මෙම නියෝගය නිකුත් කර ඇත.

මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් එන ලකුණු….

මගී ප්‍රවාහන බලපත්‍ර ජනතාවට අයත් බැවින් ඒ සඳහා බලපත්‍ර කාල සීමාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන  අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය 08 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.

එහිදී 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ අංක 2471/68 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද 2026 ජනවාරි 17 දිනැති නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ යම් තැනැත්තෙකු වෙත ප්‍රදානය කරනු ලැබූ මගී සේවා අවසර පත්‍රයක්, වෙනත් යම් තැනැත්තෙකුට පැවරිය නොහැකි වූ අතර මේ නිසා බස්රථ හිමියන්ට මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට විවිධ කළමනාකරණ ගැටලුවලට මුහුණදීමට සිදුවිය.

මීට විසඳුමක් ලෙස 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත මගින් ඉහත විධිවිධාන සංශෝධනය කළ අතර ඒ අනුව මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.

එම නෛතික විධිවිධාන යටතේ මගීසේවා අවසර පත්‍රයක් පැවරීම සඳහා අදාළ විය යුතු නීතිමය නිර්ණායක ඇතුළත් කරමින් 2026 ජනවාරි 17 දිනැති, අංක 2471/68 දරන  අතිවිශේෂ ගැසට්පත්‍රයේ නියෝග ප්‍රකාශයට පත් කර තිබූ අතර කරුණු සළකා බැලූ කාරක සභාව විසින් මෙම නියෝග අනුමත කරන ලදී.

පවතින ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව අදහස් පළ කළ කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගැනීමට කටයුතු කර තිබියදීත් ඇතැමුන් බස් වර්ජනයක් දියත් කරමින් ජනතාව අපහසුතාවට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය.

රජය හැමවිටම බස්හිමියා, මගිී ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව සැලකිල්ලට ගනිමින් තීරණ ගන්නා බවත් ඒ අනුව අසාධාරණ ලෙස ජනතාව අපහසුතාවට පත්කරමින් කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතැබිය යුතු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.

මාර්ග හා මංසන්ධි පුළුල් කිරීමේ ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීම් පිළිබඳව කාරක සභා සභාපතිවරයාගේ අවධානය යොමුවූ අතර අදාළ අනෙකුත් ආයතන සමඟ මනා සම්බන්ධීකරණයෙන් ඒවා කඩිනම් කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.

මේ පිළිබඳ කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණි.

එම දින 14ක කාලය අදින් අවසන් විය.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් භාරදී ඇති බව අල්ලස් කොමිසම කියයි.

හෝමාගම සාදයේදී සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්…..

හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම සාදය පවත්වා තිබූ අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හට ගෙන තිබුණි.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.