විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මෙරට UN නේවාසික නියෝජිත හමුවෙයි….

විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා හමුව තිබේ.

මෙහිදී දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රවණතා පිළිබඳ අවදානය යොමුව ඇත.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), තොරතුරු දැනගැනීමේ පනත ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම හමුව ඊයේ (09) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත කාර්යාලයේ දී පැවැත්වුණි.

අනවශ්‍ය ගමන් බිමන් එපා – ඉන්ධන පරිභෝජනය අවම කරන්න….

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට හැකි පමණික් ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසටය.

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ බවය.

එසේ නොවුණානම් මේ මස අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් තිබූ බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බැවින් ඒ සඳහා සාමූහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන ලෙසට ඒ මහතා නැවතත් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රුපියල් මිලියන 321කට අධික කුෂ් සමගින් විදේශිකයින් දෙදෙනෙකු හසුවෙයි….

විදේශිකයින් දෙදෙනෙකු විසින් සූක්ෂමව මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන්ගේ සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී තිබේ.

අදාළ විදේශිකයින් දෙදෙනා කැනඩා ජාතිකයින් වන අතර ඔවුන් වයස අවුරුදු 25ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු 29ක් වූ කාන්තාවක් ද වේ.

ඔවුන් අද (10) වන දින උදෑසන තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණ ඇති බවත් රේගු නිලධාරීන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සිදුකරන ලද ඉලක්කගත පරීක්ෂාවකදී සැකකරුවන්ගේ ගමන්මලු තුළ සඟවා තිබූ කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 32.159ක තොගයක් මෙහිදි නිලධාරීන් භාරයට ගෙන තිබේ.

රේගුන නිලධාරීන් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් 321,590,000ක් පමණ වන බවය.

සැකකරුවන් දෙදෙනා රේගු අත්අඩංගුවට පත්ව ඇති අතර රේගුවේ නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මූලික විමර්ශන සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධ ඉදිරි වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමටද නියමිතය.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක්….

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබෙන බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

එම බහුදින ධීවරය යාත්‍රාව ඉදිරි දින දෙක තුළ ගොඩබිමට රැගෙන ඒමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළ සැලකිය යුතු ආයුධ ප්‍රමාණයක් තිබී ආරක්ෂක අංශ භාරයට ගත් බවය.

ශ්‍රි ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන තිබූණි.

මේ අතර පසුගිය 07 වැනි දිනද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේදී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් අතර ඒ තුළ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය 102ක් සහ සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900ක්ද සොයා ගනු ලැබීය.

ඒ එම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු සිදුකරනු ලැබූ විමර්ශනයෙන් අනතුරුවය.

එහිදී යාත්‍රාව තුළ සිටි සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (10) පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීම සඳහා කටයුතු කරමින් පවතින බවත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කර නිදහස් කරන සමාජයද පිරිසිදු කළ යුතු බවය.

ඒ අනුව මෙම ජාලය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මැදිහත් වෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“සැපයුම් ජාලය අඩපණ කරන්න කටයුතු කරමින් තිබෙනවා. අපි මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුරවැසියා නිදහස් කරන සමාජයත් පිරිසිදු කරන්න ඕනේ. ඒ හින්දා මේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳින්න අවශ්‍යයි. මේ සැපයුම් ජාලය තියෙන්නේ සංවිධානාත්මක අපරාධත් එක්ක බද්ධ වෙලා. මේ ජාලය අවසන් කරලා බිඳින්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා පොලීසියත්, විශේෂ කාර්ය බළකායත්, ත්‍රිවිධ හමුදාවත් කටයුතු කරන්නේ.”

අත්අඩංගුවට ගත් CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප…

විමර්ශනයකට බාධා කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අධිකරණය සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කර තිබේ.

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාවේ මාලිගාවේ පිවිසුම් පියගැට පෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත්ත “සඳගල” නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාළව සිදුකරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට බලපෑම් කිරීම සහ අදාළ වරදට සම්බන්ධ ඇතැම් සැකකරුවන්ට ඉන් ගැලවී යාමට ආධාර කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුව අද අත්අඩංගුවට ගෙන තිබුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් ගලහ මංසන්ධියේ පන්දම් විරෝධයක….

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද රාත්‍රියේ ගලහ මංසන්ධියේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විය.

ඔවුන් ගලහ මංසන්ධියට පැමිණ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයක නිරත වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගයෙහි හි එක් මංතීරුවක් වසා දැමීමට පොලීසිය කටයුතු කළ අතර, එම අවස්ථාවේ තරමක වාහන තදබදයක්ද දක්නට ලැබුණු බව වාර්තා වෙයි.

වත්මන් පාලකයන් විසින් විශ්වවිද්‍යාලය “මොන්ටිසෝරි”යක් ලෙස සලකා නීති සම්පාදනය කර චක්‍රලේඛ නිකුත් කරමින් ශිෂ්‍ය නිදහස සීමා කිරීමට උත්සාහ කරන බවත්, එයට එරෙහිව දිගින් දිගටම සටන් කරන බවත් ශිෂ්‍ය නායකයන් පැවසීය.

එසේම, ශිෂ්‍ය නැගිටීම සහ එකමුතුව වැළැක්වීම සඳහා මෙවැනි චක්‍රලේඛ නිකුත් කරමින් ශිෂ්‍ය මර්ධනයක් සිදුකරන බවට ද ඔවුන් චෝදනා කළහ.

විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂක මණ්ඩලය එකඟ වෙයි….

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී තිබේ.

එම සමාගම් 4 සභාපතිවරුන්ගෙන් යුතුව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන්  04 දෙනා විසින් ඉල්ලා තිබේ.

එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ.

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළට…

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.

මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි….

2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට මේ බව සඳහන් වෙයි.

2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව, 2026 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 180.9කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් 2026 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමණයක් මෙරටට ලැබී තිබූ අතර පෙබරවාරි මාසයේ දී එහි සුළු අඩු වීමක් දැක ගත හැක.

මේ අතර, 2026 වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.48ක් බවද මහ බැංකුව සඳහන් කරයි.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 32ක වැඩිවීමක් බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ගැන දැනුම්දීමක්….

අස්වැසුම පළමු අදියර (2022/2023 වර්ෂවල) අයදුම් කරන ලද ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වන වගන්තිය ප්‍රකාරව සුබසාධක ප්‍රතිලාභ ලබන පුද්ගලයින්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම අනිවාර්ය වන බැවින් එම කටයුතු මේ දිනවල සිදුකෙරනු ඇති බවය.

මෙම ක්‍රියාවලිය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් 2,993,558ක් දැනටමත් සිය තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් ඔවුන්ගේ තොරතුරු තහවුරු කරගැනීමේ සංගණන කටයුතු මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළ වසම භාර සංගණන නිලධාරියා විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත පැමිණ ඔවුන් විසින් ලබා දී ඇති තොරතුරු තහවුරු කර ගැනීම සිදුකරනු ලබන අතර මෙම සංගණන කටයුතු මාර්තු 28 වැනි දින අවසන් වීමට නියමිතය.

සංගණන නිලධාරියා නිවසට පැමිණි අවස්ථාවේදී අදාළ ලිපි ලේඛන නිරීක්ෂය සඳහා සූදානම් කර තබාගන්නා ලෙසත් දන්වා ඇති එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව පවුලේ අවුරුදු 18ට වැඩි සියලු සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත්, පසුගිය මාස 03ක විදුලි බිල්පත්, ඉඩම්වල හිමිකම් තහවුරු කරන ඔප්පු, වාහන හිමිකම් බලපත්‍ර (ඇත්නම්), වෛද්‍ය සහතික ආදි ලිපි ලේඛන අදාළ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කර තබා ගන්නා ලෙසය.

එමෙන්ම වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු ආධාර අපේක්ෂාවෙන් අයදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයින්ගේ තොරතුරුද මෙම සංගණනයේදී ආවරණය කරන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම මේ සම්බන්ධව යම් අයෙකු අසත්‍ය තොරතුරු ලබා දෙන්නේ නම් සුබසාදක පනතේ 20 වන වගන්තියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එවැනි අවස්ථාවකදි මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ වරදකරු කරනු ලබන අයෙකුට රුපියල් 5,000කට නොවැඩි දඩයක් හෝ වසරක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරිමක් හෝ ඉහත දඬුවම් දෙකම නියම කිරීමේ බලය ඇති බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.