කොස්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙක් මියයෑම ගැන විමර්ශනයක්

අම්බලන්ගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරණයට පත්වීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොස්ගොඩ – හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අදාල තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ මව්පියන් විසින්ම කොස්ගොඩ පොලිසියට කළ දැනුම්දීමකට අනුව බවයි පැවසෙන්නේ.

මෙම තරුණයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති බවද, පොලිසිය තුළදී අසනීප වීම නිසා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.

අත්අඩංගුවේ සිටි තම පුත්‍රයාට පහරදීමක් සිදුව ඇති බවට එම තරුණයාගේ මව්පියන් චෝදනා කර සිටිනවා.‍

අදාළ තරුණයා සිර මැදිරිය තුළ සිටියදී සිහිසුන් වූ බවත්, පසුව ඔහු රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි කොස්ගොඩ පොලිසිය පවසා සිටියේ.

සබරගමු සරසවි සිසුවාගේ මරණය ගැන සිසුන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අදාළ සිසුවා මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකයක් ඇති බවට සඳහන් කරමින් එම සරසවියේ සිසුන් පිරිසක් ඊයේ (01) සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල අනුව මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

නවක වද සිදුවීමක් සිදුව ඇත්නම්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න – සබරගමුව මහා ශිෂ්‍ය සංගමය

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන්ගේ හදිසි අභාවය පිළිබඳව විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂ්‍යයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම සහෝදරයාගේ මරණයට සමගාමීව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයින් පිරිසකට නවක වද චෝදනා එල්ල වන බවද, එවැනි නවක වද සිදුවීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව විනිවිද භාවයකින් හා අපක්ෂපාතීව පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවද ඔවුන් සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස උපරිම මැදිහත්වීම හා දායකත්වය ලබා දෙන බවද ඔවුන් සිය ලිපිය මඟින් අවධාරණය කරනවා.

ශිෂ්ට සම්පන්න සමාජය

ක් තුළ නවක වදය නමැති පසුගාමී අදහස් ප්‍රතික්ෂේප වූ කාලයක, එවැනි අදහස් විශ්ව විද්‍යාලය තුළට ගෙන ඒම හෝ ඒ සම්බන්ධයෙන් අනුබල දීම හෝ එවැනි ක්‍රියා සිදුවීම සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස තරයේ හෙළා දකින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා පැවැත්වෙයි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී මැයි 10 සිට 16 දක්වා වෙසක් සතිය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වෙනවා.

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වන විට පත්කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම හදිසි මරණය නවක වදය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස සමාජ මාධ්‍යන්හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද මෙම අමාත්‍යාංශයේ  දැඩි අවධානය යොමු වී ඇති අතර, එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරන බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතිත්.

news imagesnews images

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව කම්කරු දිනය වෙනුවෙන් අද (01) දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්‍ර (රැ.බී. 07/ 08, බුටික් විලා බලපත්‍ර ස්ථානවල නේවාසික ආගන්තුක සංචාරකයන් සඳහා පමණක් ) හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවිකිරීමේ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බවයි සඳහන් වෙන්නේ.

එම සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන ඊයේ (30) වසනු ලැබූ වේලාවේ සිට මැයි 2වනදා විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද පැවැත්වෙන මැයි දින සැමරුම්

අද‍ට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව “රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැළිය” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේදී පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතයි.

“රට දිනුමට කම්කරු බලය” යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේදී පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“රැවටිල්ල ඉවසුවා ඇති, දැන් ඉතින් නැගිටිමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එසේම “කම්කරුවා ව්‍යවසායකත්වය කරා” යන තේමාවෙන් සර්ව ජන බලය මෙවර මැයි දිනය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවී‍රගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ විසින් පවත්වනු ලබන මැයි දින උත්සවය පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලෝක කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අද‍ට (01) යෙදී තිබෙනවා.

ඒ අනුව 1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

කම්කරුවන්ගේ එම අරගලය සිහිකරමින් 1889 වසරේ මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සත්සර නිමේෂ්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වැනිදා

වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවේ සිටියදී මියගිය සත්සර නිමේෂ් තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබෙනවා.

මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් විසි දෙදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඉන් සාක්ෂිකරුවන් පස්දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් පස්දෙනෙකුට ලබන 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

කේරළ ගංජා කිලෝ 322ක් උතුරු මුහුදේදී කොටුවෙයි

කන්කසන්තුරේ මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අවුරුදු 22, 39 හා 49 යන වයස්වල පසුවන, සක්කෝට්ටේ සහ ඇන්ටනීපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඩින්ගි බෝට්ටු දෙකක් පරික්ෂා කිරීමේ දී, පාර්සල් 147 ක තිබී කිලෝග්‍රෑම් 322 කට අධික මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.