වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාදනය සඳහා රුපියල් මිලියන 500ක්…..

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම කාර්යාලයේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පසුගියදා විෂය භාර ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා. 2025 අයවැයෙන් රුපියල් මිලියන 200ක් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාදන අරමුදලින් රුපියල් මිලියන 300ක් වශයන් රුපියල් මිලියන 500ක් මේ වසරේ වැඩිහිටි පුද්ගලයන්ගේ සුබසාදනය සඳහා රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙනවා.

▲ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවන්ට අනුරූපී වන ලෙස සංශෝධනය කිරීම.

▲ වැඩිහිටි තැනැත්තන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

▲ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාධන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම.

▲ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් කතරගම ප්‍රදේශයේ ඉදිකිරීම.

▲ සියළුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්තාන නව මාර්ගෝපදේශන අනූව ලියාපදිංචි කිරීම.

වැනි කරුණු පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි. එහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා සඳහන් කළේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි සියළුම වැඩිහිටියන් සඳහා සුව පහසු ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් උරුමකර දීම වෙනුවෙන් වගකිය යුතු ප්‍රධාන අමාත්‍යංශය ලෙස හා ආයතනය ලෙස විශාල වගකීමක් පැවරී තිබෙන බවයි. ඒ වෙනුවෙන් සියළු දෙනා කැප විය යුතු බවද වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු එම කාර්යාලයේ සියළුම නිළධාරීන් එම අවස්තාවට සභාගිව සිටියා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ධුරයෙන් ඉවත් කරයි……

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය.

රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ප්‍රේමසිරි රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ  කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.

අදාළ චෝදනා පත්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි……

ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය.

මෙය  පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති අතර එය 18.5% කි.

තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,368,288කි.

ඒ අතරින් සංචාරකයින් 279,122ක් ඉන්දියාවෙන්, 131,377ක් රුසියාවෙන් සහ 115,470ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

දළදා මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය.

සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි.

කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය.

පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි.

අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.

විදෙස් සංචාරකයින්ට හෙට සිට කටුනායකින්ම රියදුරු බලපත්……

සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට දින සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ ආරම්භ කරන බවය.

මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපොළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබා ගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාරවල නිරත බවන බවත් මේ සඳහා යතුරු පැදි සහ ත්‍රීරෝද රථ මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි ද කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත් නව ක්‍රමවේද යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි පමණක් බලපත්‍ර නිකුත් කරන බව පැවසූ ඒ මහතා බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි – අධිකරණ ඇමති……

හජනතාවට සේවාවන් ලබා ගැනීමට පවතින රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නොමැති බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Know Your Neethi ( ඔබේ නීතිය හඳුනා ගන්න) තේමාව යටතේ මහජනතාවට නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන දින වැඩසටහනට අද (02) පෙරවරුවේ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මහජනතාවට යුක්තියට ප්‍රවේශවීමට ඇති අවස්ථා ලබාදීම සඳහා ඔවුන්ට සාමාන්‍ය නීතිය සම්බන්ධයෙන් වු දැනුම අවබෝධය ලබා දිය යුතුයි. මුලික නීතිය සම්බන්ධයෙන් අවබෝධය නොමැතිවීම හේතුවෙන් තමන්ට පවතින ප්‍රශ්න ගෙන යා යුත්තේ කුමන ස්ථානයට යන්න දැනුම ඔවුන්ට නැහැ. මේ තත්ත්වය අවම කිරීම සඳහා දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීතිය සම්බන්ධව සාමාන්‍ය ජනතාවට අවබෝධය ලබාදීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. 

ආර්ථික අපහසුතාවයන්, භාෂා පිළිබඳව වු ගැටළු යුක්තියට ප්‍රවේශවීමට ඇති ප්‍රධාන බාධකයි. ඒවා නැති කළ යුතුයි. ඇතැම් අවස්ථාවල අපේ රටේ පොලීසියට, අධිකරණයට ජනතාවගෙන් අප්‍රසාදයට පත්වීමට නීතිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට නිසි අවබෝධය නොමැතිවීමත් හේතුවෙනවා. මහජනතාවට සේවය ලබාදීම අපේ මුලික වගකීමක් බවට රාජ්‍ය  සේවකයින් අවබෝධ කරගත යුතුයි. මේ වැඩසටහනේ මුලික අරමුණ වන්නේ නීතිය සම්බන්ධයෙන් වු අවබෝධය ජනතාවට ලබාදීමයි. රාජ්‍ය සේවකයින් වන අපගේ කාර්භාරය ජනතාවට සේවය කිරීම බව අවබෝධ කර ගත යුතුයි. 

ජනතාවට සේවා ලබා ගන්න අපේ රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුපස යන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි වැඩසටහන් අමාත්‍යාංශයට පමණක් තනිව කරන්න බැහැ. ඒ වෙනුවෙන් මහජනතාවගේ සහ රාජ්‍ය සේවකයින්ගේ සහාය අවශ්‍යයි. ජනතාවට පවතින ගැටලු විසඳීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් දේශපාලන නියෝජිතයින් එක්ව මෙවැනි වැඩසටහන් මාස තුනකට වරක්වත් සංවිධානය කළ යුතුයි. නව අගවිනිසුරුවරයා රාජකාරී ආරම්භ කරමින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම කඩිනමින් සිදුකළ යුතු බව සඳහන් කළා. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයෙන් තොරව තවදුරටත් ඉදිරියට යන්න බැහැ. එය සිදු කළ යුතුමයි. නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි. සාමාන්‍ය ජනතාවට පමණක් නොව ඇතැම් රාජ්‍ය සේවකයින්ට පවා මුලික නීතිය පිළිබඳව වු දැනුම නොමැති විම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. 

මහජනතාවට තමන්ට කැමැති ආහාරයක්  තමන් ප්‍රිය කරන කඩයකින් ලබාගැනීමේ හැකියාව පැවතිය ද තමන්ට කැමැති උසාවියකට නඩුවක් යොමු කිරීමට හැකියාවක් නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා තුළින් පරිසරය පමණක් නොව මිනිසුන්ගේ හදවත ද පිරිසිදු කිරීම කළ යුතුයි බව අමාත්‍යවරයා සඳහන් කළේය.,

බෝට්ටුවක් පෙරලී මසුන් සමග මුහුදට ගහගෙන ගිහින්……

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

ධීවරයින් තිදෙනෙකු රැගත් ”නෙත්දුල පුතා” නමැති අදාළ ධීවර යාත්‍රාව අද (02) අලුයම මුහුදු ගොස් ඇති අතර මසුන් අල්ලා නැවත ගොඩබිමට එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

අනතුරින් ධීවරයින් තිදෙනා දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් පොතුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

තවත් ධීවර යාත්‍රාවකින් ඔවුන් තිදෙනා මුදාගෙන වස්කඩුව වෙරළ තීරයට ගෙනැවිත් තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට…..

මෙරට සිටින චීන ජාතිකයන්ට රාත්‍රී සමාජ ශාලාවල හා කැසිනෝ ශාලාවල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන ප්‍රධාන පෙළේ ජාවරම්කරු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා දිගු කලක සිට මෙරට නීතිවිරෝධීව රැඳී සිටින චීන ජාතිකයෙකු බව පොලීසිය පැවසීය.

චීන ජාතිකයන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ කොළඹ දකණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ෂනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට හැකිව තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා විටත් ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මාලදිවයින් ජාතිකයෙකුගෙන් හා ලාංකිකයෙකුගෙන් තමා  මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත්, ඒවා රාත්‍රී සමාජශාලාවලට හා කැසිනෝ ශාලාවලට පැමිණෙන චීන ජාතිකයන්ට අලෙවිකරන බවත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

2019 වසරේ දී මෙරටට පැමිණ ඇති මෙම චීන ජාතිකයා මේ දක්වා මෙරට තුළ රැඳී සිට ඇත්තේ ද නීතිවිරෝධීවය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීමට නියමිතය.

ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්……

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහබැංකුව සංවිධාන කරන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහනක් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත් වුණි.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඩිජිටල් ගනුදෙනුවලදී විශේෂයෙන් අපේ රටේ ගෙවීම් සහ පියවීම් සඳහා විශාල වශයෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් කාලයක් තිස්සේ සම්පූර්ණ කරලා තියෙනවා. Online Banking, QR code එක පාවිච්චි කරලා ගෙවන ඒවා රජයේ ගෙවීම්වලටත් රජය විසින් දැන් GovPay කියලා එකකින් යම්කිසි රජයේ සේවාවන්වලට ගෙවන්න පහසුකම් හදලා තියෙනවා. බදු ගෙවීමට පුළුවන් ඒ ආකාරයට. පහසුකම් තියෙනවා. නමුත් අපි දකින්නේ භාවිතය ඉතාම අඩුයි. විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටතට යනකොට අපි දකිනවා විශාල වශයෙන් තවමත් මුදල් විශේෂයෙන් නෝට්ටු සහ කාසි භාවිතයට තමයි හුඟදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි පහසු විදිහට දකින්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට සහ පාරිභෝගිකයා පැත්තෙන් ගත්තොත් හැමෝටම මේ මුදල් පරිහරණය ඇත්ත වශයෙන්ම අමතර කාලයක් මුදලක් වැය වෙන කාරණයක් හිතලා බැලුවොත්. විශේෂයෙන් බැංකු පද්ධතිය සහ මූල්‍ය ආයතන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරන ආයතනවලට තියෙනවා විශේෂ කාර්යයභාර්යක් මේ වගේ තැන්වලට ඇවිත් ප්‍රවර්ධනය කරනවාට අමතරව මේක යන්න ඕන ගමටම. එහෙම ගියොත් විතරයි මේ ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ. මේකේ අනිසි බියක් තියෙනවා මේ බදුවලට අහුවෙයි කියලා. එහෙම එකක් නැහැ බදුවලට අහුවෙනවා නම් සල්ලිවලින් ගනුදෙනු කළත් බදුවලට අහුවෙනවා නම් අහුවෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ.”

අත්අඩංගුවට පත්වුන සැකකාර කාන්තාවකගේ කෝටි 03ක වත්කම් තහනම් කෙරේ….

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපොළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 29 වනදා මෙම සැකකාරිය නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය බෝකුන්දර, පිළියන්දල ප්‍රදේශයේ වයස 36 හැවිරිදි කාන්තාවකි.

විමර්ශනයට අදාළව සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධව විමර්ශනයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයේ නඩු පවරා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය.

තවද සැකකාරිය නීතිවිරෝධී ආකාරයට උපයා ගන්නා ලද රුපියල් කෝටි 03ක පමණ මුදලින් මිලට ගත් පිලියන්දල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පසුගිය 09 වනදා සිට දින 07ක කාලයක් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කර තිබූ අතර මේ සම්බන්ධව හෝමාගම මහාධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු එම ක්‍රියා විරහිත කිරීමේ නියෝගය 2025.10.15 වන දින දක්වා දීර්ඝ කර බලාත්මක කර තිබේ.

මේ අතර සැකකාරිය ජුලි 29 වන දින කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.