මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වෙනුවෙන් ඉන්දියාවේදී විරෝධතාවක්….

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමේෂ්වරන් හී විරෝධතාවක් පවත්වා තිබේ.

ඊයේ (11) පැවැති මෙම විරෝධතාව සඳහා ධීවරයින් මෙන්ම අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය 08 වන දින ඩෙල්ෆ් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළුව ධීවර කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ධීවරයින් 30 දෙනෙකු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධිය පාදක කරගනිමින් මෙම විරෝධතාව පවත්වා ඇති අතර විරෝධතාවය අතරතුර අදහස් දක්වමින් තමිල්නාඩු මෝටර් බෝට්ටු සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක යේසුරාජා පවසා ඇත්තේ මෙරට නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කරන බවය.

ඒ අනුව මෙරට බන්ධනාගාරගතව ඇති ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරන ලෙසත් ඉන්දීය ධීවරයින්ට නිදහසේ ධීවර කටයුතු කිරීමේ අවස්ථාව සලසා දෙන ලෙසත් මෙරට නාවික හමුදාවට බල කරමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමටද ඔවුන් කටයුතු කරන බවත් එහිදී ඔහු පවසා ඇත.

ඒ සඳහා රාමේශ්වරම් හී සියලුම ධීවර පවුල් ධීවර යාත්‍රා මගින් කච්චතිව්හී නවාතැන් ගෙන විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා වූ දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් විරෝධතාවයට එක්වෙමින් ඔහු පැවසීය.

තවද ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් සෙවීම සඳහා මධ්‍යම රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළ යුතු බවත් අගමැතිවරයාට අවශ්‍ය නම් ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් සොයා ගත හැකි වනු ඇති බැවින් මේ සඳහා ඉන්දීය රජය වහාම මැදිහත් විය යුතු බවත් ඔහු විරෝධතාවට එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ හිඟ වරිපනම් බදු ගැන කෝපා කමිටුවේ දී හෙළිදරව්වක්….

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ හිඟ වරිපනම් බදු ලෙස රුපියල් බිලියන 4කට අධික ප්‍රමාණයක් තවමත් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.

ඒ පසුගියදා කොළඹ මහ නගර සභාව පසුගියදා කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දීය.

එහිදී කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මහනගර සභාවේ නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමුකරමින් අසා සිටියේ, “ගියපාර පෙබරවාරි මාසයේදී දුන් නිර්දේශවලින් එකක් තමයි මිලියන 610ක හිඟ වරිපනම් එකතු කිරීමක් තිබුණා කොටුව කොට්ඨාසයෙන් පමණක්. එතනදි තීරණය කරලා මහ නගර සභාවම එකඟ වුණා එදා ඒ කොට්ඨාසවල තිබෙන හිඟ මුදල් එකතුකිරීමේ ප්‍රවනතාවය වැඩි කරනවා කියලා. හැබැයි මිලියන 53ක ගාණක් ජුනි මාසය වන විට එකතුවෙලා තිබුණේ. දැන් වෙනකොට වැඩි වුණාද දන්නේ නැහැ. එකක් තමයි ඒ එකතුකිරීමේ ප්‍රවණතාවයේ ප්‍රශ්නය. දෙක සමස්ත හිඟ මුදල මිලියන හාරදහස් ගාණනක්. ඒ කියන්නේ බිලියන හතරක ගණනක් තියෙනවා කොට්ඨාස 47න්ම. මේවා විදිමත් කරන්න කියලා අපි ඉල්ලුවා. ඒකේ කොයි කොට්ඨාසවලින්ද? කොච්චර පරණ ඒවද ? ළඟදි තියෙන ඒවා මොනවද ? ගන්න පුළුවන් ඒවා මොකක්ද ?  බැරි ඒවා මොකක්ද ? ඒ ගැන තමයි අපි අහන්නේ.” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික භාණ්ඩාගාරික නන්දන රාජපක්ෂ මහතා පවසා සිටියේ, “කොටුවේ හිඟ වරිපනම් අපිට මිලියන 610ක් තිබුණා. මේ හිඟය අය කරගන්න තිබෙන්නේ අපේ නගර සභා පනත යටතේ. බදු ගෙවන්නන්ගේ දේපොළ තහනම් කිරීමට තිබෙන ක්‍රමවේදය බලාත්මක කිරිමෙන් තමයි. කොටුවේ තිබුණ හිඟ දේපොළ 3747ක්. ඒ  3747න් ඩිමාන්ඩ් නොටිස් එක යවනකොට දේපොළ නැහැ කියලා හඳුනා ගත්තා දේපොළ 94ක් තිබුණා. ඊට පස්සේ දේපොළ 2914කට අපි සීස් නෝටිස් යැව්වා. ලක්ෂයට වැඩි දේපොළ 840 තිබුණා පිටිකොටුවේ. එකේ අපි වොරන්ට් කොස්ට් එක මිලියන 533ක්. එකෙන් මිලියන 108ක් අපි එකතුකරල තියෙනවා. ඊළඟට ලක්ෂයට අඩු දේපොළ තියෙනවා 2907ක්. ඒකෙදි මිලියන 39ක් අයකරලා තියෙනයා. ඒකේ මුළු වටිනාකම කොටුවේ  මිලියන 148 එකතුකරලා තියෙනවා.” යනුවෙනි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ කොළඹ නගරාධිපති ව්‍රරායි කැලී බල්තසාර් මහත්මිය පැවසුවේ කොළඹ නගර සභාවේ සිදුවන කටයුතු කඩිනමින් නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවය.

සංශෝධනය වූ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වෙයි….

රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව සංශෝධනය වූ අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ඊයේ (11) දිනයේදී නිකුත් කර ඇත.

පසුගිය 10 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් සංශෝධනය අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබුණු අතර ඒ අනුව ඔහු එම අමාත්‍ය ධුරයේ එදින දිවුරුම් දුනි.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස  දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී දුන් අතර ඔවුන්ගේ අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය ඒ අනුව මෙලෙස නිකුත් වී ඇත

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක….

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන් කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාප තිරසර සංවර්ධන විද්‍යා පීඨය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඊයේ (11) මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයට තරග කරනුයේ සමගි ජනබලවේග ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් වන බවත්ය.

එමෙන්ම විපක්ෂයේ සිටින මොහොතක මෙවැනි කැප කිරීම් සිදුකිරීමේ අවස්ථාද දුර්ලභ බවද විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“කැප කිරීම් කරලා, පරිත්‍යාග කරලා කුමක් උදෙසාද පළාත් සභාව ජයග්‍රහණය කරන්න. පක්ෂය ජයග්‍රහණය කරන්න. විපක්ෂයේ සිටින මොහොතක ඒ වගේ මහා පරිත්‍යාගයන් සිදුවන අවස්ථා බොහොම දුර්ලභයි. ඒ පරිත්‍යාගයන් කරන්නේ නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ ආණ්ඩුව පිහිටුවන්න.”

ගල්කිස්ස අධිකරණ භූමියේ ආවේගශීලී වූ නිතීඥවරයා ගැනත් විමර්ශනයක්….

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී ඊයේ (10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇත.

නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ අනුව මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් මෙසේ විර්මශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම නීරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

කලාපීය දිළිඳුබව තුරන් කිරීමේ අරමුණින් සාක් කලාපීය රාජ්‍යන්හි නියෝජිත සමුළුව කොළඹදී…..

සාක් කලාපිය රාජ්‍යන්හි දිළිඳුබව තුරන් කිරීමේ අරමුණින් එක් එක් රාජ්‍යන්හී අද්දැකීම් හුවමාරු කරගැනීමටත්, දිළිඳුබව තුරන් කිරීම පිළිබඳ ලෝකයේ නව ප්‍රවනතාවයන් හඳුනාගැනීමත් වෙනුවෙන් බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය,මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන රටවල් හි නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බිම්ස්ටෙක් ( BIMSTEC ) විශේෂිත සමුළුවේ හතර වන සැසිය පසුගිය ඔක්තෝබර් 9 සහ 10 යන දෙදින කොළඹදී පැවැත්වුනා.

මෙවර සැසියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම සැසිය සංවිධාන කරණු ලැබුවා.
දිළිඳුබව තුරන් කිරීම හා ග්‍රාමීය සංවර්ධනය සඳහා එක් එක් රාජ්‍යන් අනුගමනය කරන ක්‍රියාමර්ග හා සකස් කරන සැලසුම් මෙන්ම ඒහි සඛ්‍යතාවයන් පිළිබඳව සමුළුවේදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.

එමෙන්ම සමුළුවේ නියෝජිතයන් හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා අතර හමුවක් ද පැවැත්වුනා.

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා සමාජ සවි බල ගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රී නායක , අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහත්වරුන්, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්
සී.ඩී කළු ආරච්චි මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඇන්සල් ජෑන් මහතා
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමාජ ආරක්ෂණ එච් කේ රණවීර, ජීවනෝපාය අධ්‍යක්ෂ උපුල් ක්‍රිෂාන්ත , සැලසුම් අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා , අලෙවි අධ්‍යක්ෂ සුසන්ත කිත්සිරි මහත්වරුන් විදේශ සේවා අමාත්‍යාංශය කළමණාකාර අධ්‍යක්‍ෂ චාතුර්යා ලියන ආරච්චි, සහකාර අධ්‍යක්ෂ පූර්වභාෂි කහතුඩුව මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

කඳුකර ප්‍රජාවේ ප්‍රතිලාභී පවුල් 2,000කට නිවාස හිමිකම්…..

කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් හෙට (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිතය.

සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබාදීමක් පමණක් නොව මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇත.

ඒ අනුව කඳුකර වතු ප්‍රදේශ වල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ආරක්ෂිත, පරිසර හිතකාමී, මූලික පහසුකම් සහිත නිවාස ලබාදීම මෙම වයාපෘතියේ අරමුණ වන අතර මෙමම නිවාස ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් ඔස්සේ  ප්‍රතිලාභීන් තෝරා ගැනීම  විශේෂත්වයකි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන්ද, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු ප්‍රමුඛ ඉන්දීය රජයේ නියෝජිතයෝ  පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වන බවට අනාවරණයක්….

මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනුයේ පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවත් වයස අවුරුදු 20න් පසුව සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතු බවය.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අවුරුදු 20-40ත් අතර වසයේ පසුවන අයෙකු වේ නම් වසර 3කට වරක්ද, අවුරුදු 40කට වැඩි නම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකටද යොමුවන ලෙසය.

පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාව්‍යක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුළට ගිලී යාම, පියයුරුවල වේදනාව, සමේ ඇතිවන වෙනස්කම් වැනි රෝග ලක්ෂ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද ඒ සඳහා සුනනාරි සායන, සුවදිවි සායන, පිළිකා කල් තියා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන සඳහාද යොමු විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

‍ආචාරධර්ම උල්ලංඝනය කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසිකරයි….

නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවරප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විශ්‍රාමිකමේජර් ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව  අධිකරණ වාර්තාකරු පැවසීය.

2006 වසරේ මාර්තු මස පළමු වනදා සහ 2007 වසරේපෙබරවාරි මස 15 වන දා  නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ අතර එම සේවාව වෙනුවෙන්රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ ඔහුට අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබාදුන් බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි වගඋත්තරකාරනීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම හේතුවෙන් තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල්ආපසු ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකළ ද ඒවා භාරදීම නීතිඥවරයාපැහැර හැරීම හේතුවෙන් 2008 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ පෙත්සමක් ගොනුකිරීමට පෙත්සම්කරු කටයුතු කර තිබුණි.

ඒ අනුව අදාළ නඩුව දීර්ඝලෙස විභාගකිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතාපැවසුවේ මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරු නීතිඥ වෘත්තීයේ ගෞරවයට දැඩි හානියක් සිදු කර ඇති බවය.

නීතිය ක්‍රියාත්මක කිරීම යනුපුද්ගලික වාසි තකා සූරාකෑමට ඇති වරප්‍රසාදයක් නොවන අතර නීතිඥ වෘත්තිය හුදෙක්  වෘත්තියක් නොව ගෞරවනීය මහජන විශ්වාසයක් බව විනිසුරුවරයා සඳහන් කළේය.

චෝදනාවට වරදකරු වූ නම් එම නීතිඥවරයාගේ නම නීතීඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කර තිබේ.

බිත්තර මිල රුපියල් 10කින් පහළට?

බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නවොද් සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ  මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක මිලකට සහ රතු බිත්තරයක් රුපියල් 20ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නවෝද් සම්පත් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ වෙළෙඳපොළ හැසිරීම් තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මෙලෙස එක් පුද්ගලයකුගේ වුවමනාව මත බිත්තර මිල පහත හෙළීම අවධානම් සහගත ක්‍රියාවක් බවය.

මේ අතර ඊයේ දිනයට යෙදී තිබුණු ලෝක බිත්තර දිනය වෙනුවෙන් පැවති වැඩසටහනකට එක් වෙමින් රුහුණු විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය ඉදුනිල් පතිරණ මහතා සඳහන් කළේ මෙරට බිත්තර නිෂ්පාදනයේ අතිරික්තය අපනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවය.