බිඳවැටුණූ Online සේවාවන් සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක්….

දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ.

අද පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණි.

හිටපු ජනපති මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය 5ක ප්‍රකාශයක්….

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.

ඒ අනුව පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගියේය.

වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

නව නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාරගනී….

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරවල වැඩ භාරගෙන තිබුණි.

එහිදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, අමාත්‍ය ධුරයක් හිමි වීම වරප්‍රසාද හිමිවීමක් ලෙස අර්ථකථනය කිරීම ඉතිහාසයට එක් වූ අදහසක් බවත්, එය සැබැවින්ම වරප්‍රසාද හිමිවීමක් නොව වගකීමක් හිමිවීමක් බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර මහතා, ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකින් ගොඩ ගැනීම සඳහා සිය දායකත්වය ලබා දුන් නිලධාරින් රට තවදුරටත් ආර්ථික වශයෙන් ඉදිරියට රැගෙන යාම සඳහාද සහාය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කෙරේ…

කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර තිබේ.

අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණය ස්ථාපිත කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කළේය.

එහි කටයුතු අද සිට ක්‍රියාත්මක වන අතර එහි මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුවරයා විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ  මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර යන මහත්වරුන් පත් කර තිබේ.

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා – අගමැති….

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්,  පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් අද (13) බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා ය.

චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පිළිගනු ලැබුණු අතර චීන ජනාධිපති Xi Jinping ගේ පිළිගැනීමේ කතාවෙන් පසුව,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රාජ්‍ය කායකයෝ  සිය අදහස් ඉදිරිපත් කළහ.

සමුළුව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“1995 බීජිංහි පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුවෙන් වසර තිහකට පසුව වුවත් අපි තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගන්න එම  පුළුල් රාමුව තවමත් යොදා ගන්නවා. අපි මේ වන විට සැබෑ ප්‍රගතියක් ලබා කරගෙන තියෙනවා. කාන්තා සාක්ෂරතාවයසැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා, මාතෘ මරණ සංඛ්‍යාව අඩකින් පමණ වෙලා වගේම ගෝලීය ආයු අපේක්ෂාව 1995 දී අවුරුදු 69 ලෙස පැවති එයි 2023 දී අවුරුදු 76 දක්වා වැඩි වෙලා තියෙනවා.

එහෙත් තවමත් අවධානය යොමු නොවූ අංශ ගණනාවක් තියෙනවා.  ශ්‍රම බලකායේ  කාන්තා සහභාගීත්වය සලකා බැලීමේදී පිරිමි සහභාගීත්වය 73% වන විට ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්වය 48.7% ක් පමණයි, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල අඩු කාන්තා නියෝජනය ඇති අතර කාන්තා ප්‍රතිශතය උපාධිධාරීන්ගෙන් 35% ක් පමණයි, කාන්තාවන්ට බලපා ඇති ආහාර අනාරක්ෂිතභාවය සැලකීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 47.8 ක් මධ්‍යස්ථ හෝ වැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටිනවා.ඒ වගේම දේශපාලන සමානාත්මතාවය අත් කරගැනීමේ දී පවතිනේ ඉතාමත් මන්දගාමී ගමනක්. ඒ නිසා කාන්තාවන්ගේ සංවර්ධනය කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය, දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය හරහා සිදුවිය යුතු සාකල්‍ය ක්‍රියාවලියක්.”

සෑම මට්ටමකදීම කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා නායකත්ව කටයුතු සහ තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023–2027) ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක වන කැපවීම අග්‍රාමාත්‍යවරිය තවදුරටත් මෙහිදී අවධාරණය කළා ය.

කම්කරු පන්තියේ සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන්ගෙන් පැමිණෙන කාන්තාවන් ඇතුළු විවිධ සමාජ පසුබිම්වල සිටින කාන්තාවන්ගේ  නියෝජනය තහවුරු කිරීමට පවතින ගැටලු සඳහා විසදුම් සෙවීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම අග්‍රාමාත්‍යවරිය තහවුරු කළ බව සඳහන් වේ.

සමාරම්භක උත්සවයෙන් පසු, චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පවත්වන ලද නිල භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍යවරිය සහභාගී වී තිබේ.

මන්නාරම දූපතේ ඛනිජ කැණීම් සිදු කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…..

මන්නාරම දූපතේ නීති විරෝධී ආකාරයට ඛනිජ කැණීම් සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා  පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය, මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති සන්තියාගෝ මාකස් පියතුමා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද (13) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැදවන ලෙසය.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මන්නාරම ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මන්නාරම දූපත  ආශ්‍රිතව ඛණිජ කැණීම් කටයුතු  සඳහා බලපත්‍ර ලබාදී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවය.

අදාල ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ආවේණික අධික වටිනාකමකින් යුත් ඛනිජ නිධි පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් නිසි ටෙන්ඩර් කැදවීමකින් තොරව එම ඛනිජ කැණීම් සිදුකිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම නීතියට පටහැනි බවත් පැවසීය.

මේ හරහා විදේශීය සමාගම් සිය දේශීය නියෝජිතයින් ලවා ඛනිජ කැණීම් සිදුකොට නිසි අගය එකතු කිරීමකින් තොරව අදාළ ඛනිජ වර්ග අපනයනය කිරීමට ඉඩකඩ ඇති බවත් ඒ තුළින් රටට විශාල ආර්ථික පාඩුවක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

මේ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් සම්මත නීතිමය පටිපාටිය අනුගමනය නොකොට මෙම ඛනිජ කැණීම් සඳහා බලපත්‍ර ලබා දී තිබේ නම් ඒවා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම කැණීම් සිදු කිරීමට පෙර අදාළ ප්‍රදේශයේ පාරිසරික ඇගැයීම් සිදුකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ කැණීම් සිදුකිරීම සඳහා අලුතින් බලපත්‍ර නිකුත් කිරීම වළක්වන නියෝගයක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙතට නිකුත් කළ ලෙසත් පෙත්සමෙන් වැඩිදුරත් ඉල්ලා තිබේ.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක්…..

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනයකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව සිදු කෙරෙන මූලික විමර්ශනවලට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකළ බව පොලීසිය සඳහන් කළේය.

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ….

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පැපොලේවෙල, කුඩා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා තම සහෝදරයාගේ නිවසේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර සහෝදරයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කුරුණෑගල – බිමල්

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිළධාරී මඩුල්ල තෝරා පත් කර ගනියි…..

2025 / 26 වර්ෂ සඳහා
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය. තෝරා පත් කර ගැනීමේ මහා සභා රැස්වීම ඊයේ කොළඹදී පැවැත්වුණා.

ඒහිදී පත්වුන නව නිළධාරී මණ්ඩලය මෙසේය…

1. සභාපති : ඩී. එච්. වික්‍රමපාල , ස්වර්ණවාහිනීය.
2.ලේකම් : දිනේෂ් එස්. පෙරේරා , ස්වාධීන රූපවාහිනීය

3. භාණ්ඩාගාරික : බුද්ධි මාධව , හිරු
4. ප්‍රධාන සංවිධායක : චන්දිම ජයලාල්
5. උප සභාපති : අසංක සංජය , සිරස
6. උප ලේකම් : බුද්ධික කුමාරසිරි , දෙරණ
7. උප භාණ්ඩාගාරික : දමිත් වානගුරු , රූපවාහිනී

විධායක කමිටු සාමාජිකයන්
8. අවංක කුමාර , සිරස
9. සුනෙත් හේවාවිතාරණ ,
ස්වාධීන රූපවාහිනි
10.ලංකා ඩී. ජයවර්ධන , DAN TV

11. සුසන්ත රත්නායක , හිරු
12. බිල් ක්ලින්ටන් , දෙරණ
13. සුමේධ සංජීව , ස්වර්ණවාහිනී
14. ධම්මික සේනාරත්න , රූපවාහිනී
15. සචින් චතුරංග , ස්වර්ණවාහිනී

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දිවයිනට….

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා අද (12) දිවයිනට පැමිණ තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 78 වන අග්නිදිග ආසියානු කලාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහායි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන මෙම සමුළුව හෙට (13) දින සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවට අග්නිදිග ආසියානු කලාපයේ රටවල් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරවරු 09.40ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීම සදහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.