යූටියුබ් සුදාගේ ප්‍රකාශයට සජිත්ගෙන් X සටහනක්….

හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සුදත්ත තිලකසිරි නැමැත්තා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “X” සටහනක් තබා තිබේ.

එමගින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ මෙවැනි ප්‍රකාශ අහම්බයක් විය නොහැකි බවත් මෙවැනි සිදුවීම් සැලසුම් සහගතව සිදුකළ එකක් විය හැකි බවය.

එමෙන්ම නීතිය හා සාමාය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස හෙළා දකින බවද විපක්ෂනායකවරයාගේ X සටහනේ සඳහන්ව තිබේ.

වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි….

බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කෙරුණු හිටපු බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙකු බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයං ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකු බවත් පොලීසිය පවසයි.

බණ්ඩාරගම, බොල්ගොඩ තුංබෝධිය පාලම අසලදී ඊයේ (21) පස්වරු 6:05ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථයක රියදුරු වෙඩික්කරුගේ ඉලක්කය වූ බව පොලීසිය පැවසීය.

වෙඩික්කරුවන් එම මෝටර් රථය ලුහුබඳින අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වී තිබුණි.

පොලීසිය සඳහන් කළේ, වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර 29ක් පමණ මෙහිදී එල්ල කර ඇති බවය.

ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන් කළුතර දෙසට පලාගොස් ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා මෝටර් රථය තුළම ජීවිතක්ෂයට පත්වුණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදාගොඩ නමැත්තෙක් වන අතර ඔහු වැඩතහනමට ලක්වූ බන්ධනාගාර නිලධාරියෙකි.

ඔහු සතුව තිබී රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද ඝාතනය වූ අවස්ථාවේදී  පොලිසිය සොයාගෙන තිබේ.

මරණකරු 2021 වසරේ ඩුබායි රාජ්‍යයේදී මාකඳුරේ මදූෂ්ගේ උපන්දින සාදයට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ අයෙක් බවද පොලීසිය පවසයි.

එමෙන්ම කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා අපරාධ කල්ලි සාමාජික සමයං ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවෙක් බවද පොලිසිය සඳහන් කරයි.

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ….

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙසය.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මේ සම්බන්දයෙන් දැනුම්වත් කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසා සිටියේ, වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවය.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගෑසී තිබූ තැපැල් මලු බෙදාහෑරීමේ කටයුතු සිදුකරන බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,

“වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් ලැබෙන්න ඕන. මට දැනුම්දී තිබෙනවා වර්ජනය කරන අතර තුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත්කිරීමක් සිදුවෙන්නේ නැතිවෙයි කියලා. 

ඒ නිසා සේවයට වාර්තා කල අයට විතරක් මුදල් ලැබෙන්න ඉඩ තියෙනවා. වර්ජනය කරන අයටත් දැනුම්දුන්නා අද සේවයට වාර්තා කරන්න කියලා” යනුවෙන් පැවසීය.

සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට…..

හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.

අදාළ සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවද වාර්තා වෙයි.

වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර තිබේ.

වෙඩිවැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලීසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීමට අයදුම්පත් කැඳවයි…..

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇත.

එම ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2025 සැප්තැම්බර් 04 දින හෝ එදිනට පෙර යොමුකළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

අදාළ අයැදුම්පත්‍ර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ යනුවෙන් සඳහන් කළයුතුය.

සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/336 

බණ්ඩාරගම වෙඩිතැබීමක්…

බණ්ඩාරගම, තුන්බෝධිය පාලම අසන්නයේ සිදුකළ වෙඩිතැබීමකි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ටී 56 ගිනඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඩයනා ගමගේට වරෙන්තු නිකුත් වෙයි…..

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකෙරුණි.

විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ටත් නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කෙරුණි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු…

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නුදුරේදීම සකස් කර අවසන් කිරීමට හැකියාව පවතින බව ඒ සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව පවසයි.

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්කළ විද්වත් කමිටුව එහි සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පසුගියදා රැස්වුණි.

එහිදි පනතට ගෙන එනු ලබන සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමුන්ති පීරිස්, ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් වු කමිටුව මේ වන විට 14  වතාවක් රැස්ව ඇති අතර එහි මීළඟ සාකච්ඡාව හෙට (22) දින රැස්වීමට නියමිතය.

පනත් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස්, සිවිල් සංවිධාන අදහස් හා අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගැනීමට කටයුතු කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 3ක් ඉදිරිපත් වී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්. එම්. විජේවික්‍රම යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවය.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කරයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ද පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබුණි.

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීමට සතියක්….

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

“සෙයිරි සතිය” නමින් ප්‍රකාශයට පත් කර ඇති එම වැඩපිළිවෙල සැප්තැම්බර් මස පළමු දින සිට 4 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන් හට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදුකිරීමට සුදුසු පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත අනතුරුදායක නොවන වටපිටාවක් නිර්මාණය කරදීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලෙක්ම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇති බව සඳහන්ය.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරිමට නියමිත අතර අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගැනීම හා අනවශ්‍ය දේ බැහැර කිරීම මෙහිදි සිදුකිරීමට නියමිතය.

එම සතිය තුළ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.