පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

ඒ අනුව එම කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතු බවද දීපානී වීරකෝන් මහත්මිය පැවසුවාය.

ඇය පැවසුවේ පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බවය.

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට ඇමති විජිත දිවයිනෙන් පිටත්ව යයි….

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරු 06.45ට පමණ ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

ඒ හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වන සැසියට සහභාගි වීම සඳහා ය.

එහිදී අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත්  නියමිතය.

මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමඟ ජිනීවා නුවර දී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk හා අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද මෙහිදී පැවැත්වීමට නියමිතව ඇත.

Volker Turk මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව සහ ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරකින් පසුව පැවැත්වෙන මෙම සමුළුවේ දී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමට හැකි වේ.

මෙවර මානව හිමිකම් සැසියට අමාත්‍ය විජිත හේරත්ට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගි වේ.

සියඹලාණ්ඩුව රිවිදනවි සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹේ…

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 140කි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොටියාගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ අක්කර 500 ක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉදි කිරීම කෙරෙන මෙම ව්‍යාපෘතිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ව්‍යාපෘති භූමිය, ප්‍රවේශ මාර්ගය සහ ආදාළ සියලු අනුමැතීන් සහිතව ව්‍යාපෘති ආයෝජක වෙත ලබාදුන් පළමු ව්‍යාපෘතිය වේ.

මෙරට වාර්ෂික විදුලිබල පරිභෝජනය ගිගාවොට්පැය 15,000- 16,000ක අතර ප්‍රමාණයක් වන අතර මෙම ව්‍යාපෘතිය මගින් ගිගාවොට්පැය 219ක් වාර්ෂිකව ජාතික පද්ධතියට එක් වේ.

ඒ හේතුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල් ආනයනය වෙනුවෙන් දැරීමට සිදුවන  රුපියල් බිලියන 21ක විදේශ විනිමයක් වාර්ෂිකව රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව එක අක්කරයකින් දළ වශයෙන් රුපියල් මිලියන 41ක විදේශ විනිමයක් රටට ඉතිරි වනු ඇත.

මෙරට තිරසර සංවර්ධනයේ සහ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් වන රිවිදනවි ව්‍යාපෘතිය හේතුවෙන්,  වායුගෝලයට විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 150,000ක් පමණ අඩුවේ යැයි අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය මෙගාවොට් පැය 12ක බැටරි ගබඩා පහසුකම්ද සහිත වීම නිසා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේදී විශාල සහයක් වනු ඇතැයිද සැලකේ.

මෙම සූර්ය බලශක්ති උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය, ජනන  පද්ධතියක් වෙත සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 27ක දිගින් යුත් 132 kv නව සම්ප්‍රේෂණ පද්ධතියක්ද ඉදි කෙරෙන අතර ආයෝජකයා විසින්  සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදි කරනු ලබන මෙරට පලමු බලශක්ති ව්‍යාපෘතියද මෙය වේ. එසේම මොනරාගල ප්‍රදේශයේ ඉදි කෙරෙන 132 kv නව ග්‍රිඩ් උපපොළක් ද මීට ඇතුළත්ය.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය ලක්දනවි සමාගම සහ වින්ඩ් ෆෝස් (WindForce PLC)  සමාගම ඒකාබද්ධව පිහිටුවන ලද “රිවි දනව්” පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙරට බලශක්ති ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව ඇති කරමින් ව්‍යාපෘතියේ කටයුතු 2027 පළමු කාර්තුවේදී අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම මෙම ව්‍යාපෘතියට සමගාමීව පළාතේ  යටිතල පහසුකම් සංවර්ධනය, නව රැකියා අවස්ථා උදා කිරීම සහ සමාජ සුබසාධන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ. ඒ අතර උසස් පෙළ සිසුන් සඳහා රිවි නැණ ශිෂ්‍යත්ව වැඩසටහන, කොටියාගල අක්කර සීය සහ කම්මල්යාය ජල ගැටලුව හේතුවෙන් පීඩා විඳින නිවාස එකසිය තිස්පහක් පමණ ආවරණය වන පරිදි ජල පහසුකම් සැපයීමට අදාළ ව්‍යාපෘතිය,  මුත්තාවල වැව ( මුත්තකණ්ඩිය වැව) ප්‍රතිසංස්කරණය කිරීම, ඇතිමලේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි ක්‍රියාත්මක කර්මාන්ත ශාලා විදුලි කාර්මික තාක්ෂණ ශිල්පී පාඨමාලාව NVQ Level 4 දක්වා ඉහළ දැමීමට අදාළ පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ඊට අයත්ය.

මෙම උත්සව සභාව ඇමතූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදු කරන ව්‍යාපෘතියක් බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ආයෝජකයන් දිරි ගන්වමින් ඔවුන්ට සහාය ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ඔප්පු කළ අවස්ථාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය අනුව යමින්, ආයෝජකයන්ගේ සහාය සහ අත්දැකීම් සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යාම අරමුණ බව සඳහන් කළ අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වත්මන් රජය කියන දේ, ක්‍රියාවෙන් ඔප්පු කරන රජයක් බවත්,  මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවී සිටින බවත් අවධාරණය කළේය.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වු අතර අපේ රටට බලශක්ති ස්වාධීනත්වය ලබාගත හැකි ප්‍රභවයන් අප රට සතුව අවශ්‍ය තරම් පවතින බවත්,  එම සම්පත් උපරිමයෙන් භාවිතයට ගනිමින් බලශක්ති ස්වාධීනත්වය ඇති කර ගතහොක් බලශක්ති සුරක්ෂිතතාව ඇති රටක් නිර්මාණය වන බවත් පෙන්වා දුන්නේය.

දැනට පවතින ක්‍රමවේදය අනුව මෙවැනි ව්‍යාපෘතියක් වෙනුවෙන් ආයතන 12කින් පමණ අනුමැතිය ලබා ගැනීමට සිදුවන බවත් පසුගිය මාස 6-9ක කාලය තුළ එම කටයුතු කඩිනම් කර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන විශාල සහයෝගයක් දැක්වූ බවත් පැවසූ ඒ මහතා, ආයෝජකයන් වෙනුවෙන් එක් වහළක් තුළ මෙම කටයුතු වේගවත්ව සිදු කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමටත්, යෝජනා ලබා දීමටත් සූදානම් බව පැවසීය.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ….

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4 දෙනෙකු පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ලබාදුන් ලැයිස්තුවට අදාළව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව දර්ශිකා කුමාරි, පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න නව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස වැඩ භාරගැනීමට නියමිතය.

ආධුනික උප පොලිස් පරීක්ෂකවරියන් ලෙස මින් තිදෙනෙකු 1997 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වී තිබේ.

ඒ අනුව අදාළ උසස්වීම් මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන් ය.

මෙම පොලිස් නිලධාරිනියන් 4 දෙනාගෙන් දර්ශිකා කුමාරි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස මේ වනවිටත් කටයුතු කරනු ලබන අතර ඇය එම මූලස්ථානයේ පළමු කාන්තා අනදෙණ නිලධාරිනියද වෙයි.

මේ වනවිට කළුතර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පද්මිණී වීරසූරිය කටයුතු කරන අතර ඇය පොලිස් ඉතිහාසයේ දිස්ත්‍රික්කයක් භාරව කටයුතු කළ පළමු නිලධාරිනිය ද වෙයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර මහත්මිය ඵමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කරන අතර නිශානි සෙනෙවිරත්න මහත්මිය පර්යේෂණ හා තොරතුරු කොට්ඨාසයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස කටයුතු කරනු ලබය.

නිශානි සෙනෙවිරත්න මහත්මිය මෙම සිව්දෙනා අතරින් ජ්‍යේෂ්ඨතම නිලධාරිනිය වන අතර ඇය දීර්ඝ කාලයක් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කර ඇත.

ඇල්ලේ බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට….

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වනවිට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබේ.

ඒ, මියගිය අයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට මියගිය පුද්ගලයින් 10 දෙනෙකුගේ දේහයන් නගර ශාලාවට රැගෙනවිත් ඇති බවය.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පෙරේදා (04) ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි විය.

මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණි.

අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්….

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පවසා සිටියේ, ස්වේච්ඡා වන්දි යෝජනා ක්‍රමයක් සඳහා ද කිසිඳු සේවකයෙකු එකඟ වී නොමැති බවය.

“අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පළමු අදියර යටතේ ක්‍රියාත්මකයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණයේ දී වත්මන් ආණ්ඩුව වගකීම් විරහිතව වැඩකිරීමේ ක්‍රියාමාර්ගය නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුනේ.

පසුගියදා ඇමතිවරයා එක්කත් සාකච්ඡාකළා. එහිදී සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ” යනුවෙන් පැවසීය.

යෝජිත ජිනීවා මානව හිමිකම් වාර්තාවට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු….

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 60 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීම සඳහා ගොනුකර ඇති මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පිළිතුරු ලබාදී තිබේ.

එමඟින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය පෙන්වාදී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව විසින් පිළිනොගත් එකක් බවය.

එමෙන්ම ඒ යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවද එමගින් සනාථ කර තිබේ.

විශේෂයෙන් දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවද ශ්‍රී ලංකාව මෙමගින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සහ එහි නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයක් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවද ශ්‍රී ලංකාව සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ අවසන් වාර්තාව නිවැරදි සහ සමබර ආකාරයෙන් ඉදිරිපත් කරන ලෙසද ශ්‍රී ලංකා දුත මණ්ඩලය ඉල්ලා ඇත.

එහිදී මෙරට මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ලක් රජය ගෙන ඇති පියවර මෙන්ම විශේෂයෙන් නිවැරදි විය යුතු කරුණුද ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරිපත් කර තිබේ.

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට…..

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය.

එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ.

පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය.

කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය.

එහිදී කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවුණේ පද්මේ විසින් මෙරටට පාකිස්තානුවකු මාර්ගයෙන් කන්ටේනර් පෙට්ටි දෙකක රසායනික ද්‍රව්‍ය තොගයක් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වා ඇති බවය.

අනතුරුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල හා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද දිනයේදි මිද්දෙණිය, තලාව ප්‍රදේශයට ගොස් එහි වූ ඉඩමක් පරීක්ෂා කළේය.

එහිදී අදාළ ඉඩමේ වලදමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ බැකෝ සමන් ඒවා තම මිතුරන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුනුකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට හා එම පක්ෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයට තරගවැදි පුද්ගලයෙකුට ලබාදී ඇති බවය.

සහෝදරයින් වන ඔවුන් සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි නැමැත්තන් බව පොලිසිය පැවසුවේය.

බැකෝ සමන් පසුගියදා මිද්දෙණියට රැගෙන ඒමෙන් පසුව බියවූ අදාළ සහෝදරයන් දෙදෙනා වෙනත් ස්ථානයක තිබූ රසායනික ද්‍රව්‍ය බූම් ට්‍රක් රථයක් යොදාගෙන මෙම ඉඩමට ගෙනැවිත් වළදමා ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.

අද දිනයේදී එම ස්ථානයට කොන්ක්‍රීට් දැමීමට සූදානම්ව සිට ඇති බව ද පොලිසිය පැවසුවේය.

මේ වන විට අදාළ සොහොයුරන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෙම රසායනද්‍රව්‍ය භාවිත කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් පමණ සැකසීමේ හැකියාව තිබූ අතර ඒවා අලෙවි කර රුපියල් බිලියන දෙකක් පමණ මුදලක් ඉපැයීමට හැකියාව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට ලක්ෂ 10 බැගින් වන්දි….

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ.

ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාතික සමාජ සංවර්ධන ආයතනය ජාතික විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ කිරීමේ ව්‍යාපෘති යෝජනාව ඇමති අතට…..

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාඨමාලා මෙරට ජාතික මට්ටමේ විශ්ව විදදක්වා උසස් කිරීමේ ව්‍යාපෘති යෝජනාවක් මෙම මස පළමුවෙනිදා අමාත්‍යංශයේ පැවති ප‍්‍රගති සාමලෝචන රැස්විමේදී ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පේ‍්‍රමකුමාර් ද සිල්වා විසින් ග‍්‍රාමසංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප‍්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ වෙත භාරදෙන ලදී.

2025 මාර්තු 17 වන දින කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව, අමාත්‍යවරයා විසින් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාලක සභාව වෙත ලබාදුන් උපදෙස් මත පත්කළ තාක්ෂණික කමිටුවක් විසින් මෙම ව්‍යාපෘති යෝජනාව සකස්කර ඇත.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ක‍්‍රියාත්මක සංවර්ධන කටයුතු හරහා උත්පාදනය වන ඉල්ලූමට සරිලන සමාජ සංවර්ධන ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් පුහුණු කිරීම අරමුණු කරගෙන ආයතනයේ පාඨමාලා විශ්ව විද්‍යාල මට්ටමේ ගුණාත්මක උපාධි බවට පත් කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.

සමාජ වැඩ ස`දහා වන ලංකා ආයතනය ලෙස 1952 වසරේදී ආරම්භ කර ඇති ජාතික සමාජ සංවර්ධන ආයතනය මේ වනවිට සමාජ සංවර්ධන විශයට අදාලව පස්චාත් උපාධි පාඨමාලා, උපාධිපාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා සහ සහතික පත‍්‍ර පාඨමාලා පවත්වාගෙන යනු ලබයි. එයට අමතරව, පුහුණු වැඩසටහන් පවත්වාගනිමින් සමාජ සංවර්ධන ප‍්‍රතිපත්ති සම්පාදනය හා සමාජ සමීක්ෂණ කටයුතුද සිදුකරනු ලබයි. සී¥ව ලියනෙගෙමුල්ල මූලස්ථානය පිහිටා අති අතර තලාව අම්පාර හා කිිලිනොච්චි නගරවල මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යනු ලැබේ.

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පේ‍්‍රමකුමාර් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍යංශ අතිරේක ලේකම් රාධා නානායක්කාර මහත්මිය, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී.දයාරත්න මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතන පාලක සභාවේ සාමාජික මහාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතන පාලක සභාවේ සාමාජික ආචාර්ය දර්ශන සමරවීර මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතන පාලක සභාවේ සාමාජික ශාමිනී අත්තනායක මහත්මිය, ජාතික සමාජ සංවර්ධන ආයතන අධ්‍යන කටයුතු මණ්ඩලයේ සාමාජික මහාචාර්ය ධනපාල විජේසිංහ මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතන පාලක සභාවේ සාමාජික ආචාර්ය දුෂ්මන්ති සිල්වා මහත්මිය, ඇතුලූ නවදෙනෙකු කටයුතු කරන ලදී.