වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද……

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවය.

එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හෙට පෙරවරු 4.00 – 5.00 දක්වා කාලයේ දී ඉතා හොඳින් නිරීක්ෂණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා,

”අද රාත්‍රී කාලයේදී සහ හෙට අලුයම් කාලයේදී අපිට වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව තමයි අපි ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා නම් කරන්නේ. මේක කියලා නම් කරන්න හේතු වෙලා තියෙන්නේ මේක අපිට සාමාන්‍යයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ ලියෝ එහෙම නැත්නම් සිංහ කියන තාරුකාරාශිය ආශ්‍රිතව වීම නිසයි. වල්ගා තරුව ගමන් කරපු මාර්ගය හරහා පෘථිවිය ගමන් කරද්දී ඒ වල්ගා තරුවෙන් ඉවත් වෙලා ගිය කුඩා දූවිලි කොටස් වගේ දේවල්, පෘථිවි වායුගෝලය සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් තමයි මේ උල්කාපාත වර්ෂාව ඇති වෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධ විශේෂ කරුණක් තමයි, මේ උල්කාපාත වර්ෂාව ඇතිවන ඒ දූවිලි කොටස්වල වේගය ටිකක් වැඩියි. ඒක හින්දා මේ උල්කාපාත වර්ෂාවේදී එම කොටස් පෘථිවි වායුගෝලය සමඟ වැඩි වේගයකින් ඝට්ටනය වෙන හින්දා, අපිට මේ උල්කාපාත වැඩි දීප්තියකින් යුතුව බලන්න පුළුවන් වෙනවා. නැගෙනහිර දිශාවෙන් මේක මතුවෙලා රාත්‍රි කාලයේ ඒ කියන්නේ අලුයම් කාලය වෙද්දි මේක අහසේ දුරට ගමන් කරනවා. ඒක හින්දා මේ උල්කාපාත වර්ෂාව බලන්න සුදුසුම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් උදේ 4.00 සහ 5.00 වගේ කාලය. මේ කාලය ඇතුළත අපිට මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරනවා නම්, සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 15ක් 20ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා.”

නතරවී තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ඇරඹෙයි….

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ.

පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ.

එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර ඉදිරියේදී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර දින 14ක් ඇතුළත එය නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

ඒ සඳහා සියලුම දිස්ත්‍රික්ක මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කිරීමට සැළසුම් කර ඇති අතර මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

වේරහැර ප්‍රධාන කාර්යාලයට අමතරව හම්බන්තොට, අනුරාධපුර යන දිස්ත්‍රික්ක කාර්යාලවලද රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවන අතර ඉදිරියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්….

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (16) පස්වරු 12.30ට නික්තුකරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල්…..

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් මේ වන තෙක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට එළැඹෙන 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පල කරන ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ පැවති මාධ්‍ය හමුක් අමතමිනි.

“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරලා නැහැ. අල ගොවියට, වට්ටක්කා ගොවියට, බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා.

දැන් ඒ ජනතාව පාරටත් බැහැල. ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා. මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නැහැ. ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි.”

කුඩා ගිනිඅවියක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට…..

අඟල් 6ක් පමණ දිගැති විදෙස් රටක නිෂ්පාදිත කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගිනිඅවිය බෙල්ජියම රටේ නිෂ්පාදිතය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් බව පොලීසිය පැවසීය.

මෝටර් රථ අමතර කොටස් අළෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුගේ නිවස වටලා කාමරයේ සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම ගිනිඅවිය මියගිය සිය පියාගෙන් තමාට ලැබුණ බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.

විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වෙයි….

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සියඹලාගස්වැව අබිනවාරාමාධිපති තඹුත්තේගම සාසන බල මණ්ඩලයේ සභාපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වී ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

තඹුත්තේගම – බී.ඩබ්ලිව්.ඩී.ධර්මකීර්ති

රුහුණු සරසවියේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 6ක් රෝහලට….

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණි.

බඹර ප්‍රහාරය එල්ල වූ අදාළ සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්ය.

එම ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වන බව අප වාර්තාකරු පැවසීය.

බගවන්තලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී…..

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස අද (14) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

1998 මාර්තු 2වනදා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබූ ඒ මහතා, එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස එම දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙක්ය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණවීම මත පසුගිය 13වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම ධුරය මේ දක්වා පුරප්පාඩුව තිබුණි.

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි…..

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.

තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය විසින් සැකකරන අතර, අනතුර සිදු කරන ලද රථය නොනවත්වා පලා ගොස් ඇත.

මෘත ශරීරය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්…..

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක්  කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කෙරේ.

ඉන් අනතුරුව පෙ.ව. 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සියලු කටයුතු නොමිලයේ සිදුකරන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය පවසයි.