විදෙස් මත්පැන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට….

රුපියල් මිලියනයකට අධික විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු දෙහිවල දී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය මගින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී විදෙස් මත්පැන් බෝතල් 180ක ප්‍රමාණයක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, එක් පුද්ගලයෙකු සතුව තබාගත හැක්කේ මත්පැන් ලීටර 80ක් පමණක් බවය.

එවන් පසුබිමක මෙම පුද්ගලයා සතුව ඊට වැඩි ප්‍රමාණයක් ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සඳහා ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති සරත් වෙත්තසිංහ, සුරාබදු පරීක්ෂක, ජී. රෝහණ, සුරාබදු කෝප්‍රල් හර්ෂ කුමාර, උපුල් නිලන්ත රාජපක්ෂ, රමේෂ් වික්‍රමසිංහ, චම්පික මානවඩු හා සුරාබුදු රියදුරු චමත් යන අය එක්වූහ.

කන්ටේනර් නිදහස්කිරීම ගැන තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනාවක්….

නිසි ක්‍රමවේදයකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන සොයාබලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් අදාළ යෝජනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩු විභාගය ඇරඹෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අයථා ලෙස වක්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව මර්වින් සිල්වා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ගොනුකිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබා ගත් බව සඳහන් කළේය.

එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් ඇය සඳහන් කර සිටියාය.

එහිදී විත්තිකරු සිය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කෙරුණු බවත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ විය.

2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට…..

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති බව වාර්තා වේ.

කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධිචෝදනා භාරදෙයි….

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු විය.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා  යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම චෝදනා භාරදී ඇත.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කර ඇත.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාරදීම සිදු කළේය.

ඉන් අනතුරුව ඔවුන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කර ඇත.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියෝග කළේය.

එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි 20 වනදා කැඳවීමට ද එහිදී නියෝග කෙරිණි.

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අයථා ලෙස වත්කම් හා දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩු ගොනු කර තිබෙන බව වාර්තා වේ.

ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දෙන්න – ජනපති GMOAවෙන් ඉල්ලයි….

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (17) පෙරවරුවේ පැවැත්විණි.

2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් මෙහිදි සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්‍රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත් එය තම රජයේ මුලික අරමුණක් බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරිමට රජය බලාපොරොත්තු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ  ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදි සලකා බලන බවත් සඳහන් කළේය.

ඔබ ඉල්ලන්නා මම ලබාදෙන්නා බවට පත් නොවී සියලු දෙනා එක්ව රට ගොඩ නැගිය යුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බවද, ඒ අනුව ඔවුන්ගේ යෝජනා සහ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිම මෙම සාකච්ඡාවේ අරමුණ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එහිදි සඳහන් කළ අතර, එම යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි…..

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන අද (17)  විවාදයට ගැණුනු අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

එලෙස සම්මත් වුයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.

විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් ඉල්ලා සිටි අතර එහිදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 80කින් සම්මත විය.

එම වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 87ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමිවුණේ 7ක් පමණි.

මේ අතර අද විවාදයට ගැනුණු  අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශය වැය ශීර්ෂය ද වැඩි ඡන්ද  80කින්  සම්මත විය.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජී. ජී. පොන්නම්බලම්  යන මහත්වරුන් විසින් අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද  87ක්ද විපක්ෂව ඡන්ද 7ක්ද හිමි විය.

ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්…..

ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (17)  එම නියෝගය දුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

මෙලෙස චෝදනා එල්ල වන්නේ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඊයේ පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානය පසුගිය 14 වනදා පස්වරුවේ වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණි.

සොයාගත් ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිත කර ඇතැයි සැක කරයි.

ලොව ප්‍රකට කාටුන් සහ රූපවාහිනී කතා මාලාවන්හි එන චරිත යොදාගෙන සැකසූ ස්ටිකර් තොගයක්ද ඒ අතර වේ.

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්….

දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (17) ප.ව. 7:00 සිට හෙට (18) ප.ව. 7:00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:
අරණායක

ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
බණ්ඩාරවෙල
හපුතලේ

කළුතර දිස්ත්‍රික්කය:
වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:
ගඟවට කෝරළය
උඩුනුවර
උඩපලාත
තුම්පනේ
පාතහේවාහැට
⁠උඩුදුම්බර
ගඟ ඉහළ කෝරළය
⁠පස්බාගෙ කෝරළය
⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
රඹුක්කන
⁠මාවනැල්ල
දැරණියගල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
මාවතගම
⁠මල්ලවපිටිය

මොනරාගල දිස්ත්‍රික්කය:
බිබළ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
අඹගමුව
හගුරන්කෙත
වලපනේ
නෝර්වුඩ්
කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
කිරිඇල්ල
⁠බලන්ගොඩ
කලවාන
කොලොන්න
රත්නපුර

මීටියාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මරුට……

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (17) රාත්‍රි 8.30ට පමණ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

යතුරුපැදියකින් පැමිණි දෙන්නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වුණි.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ඒ අනුව වසරේ මේ දක්වා සිදුව ඇති වෙඩි තැබීම් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයන් 54 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබේ.

අම්බලංගොඩ – අනුරාධ ප්‍රියදර්ශන