නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ…..

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, බුලත්සිංහල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, රත්නපුර, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ, කලවාන, නිවිතිගල, අයගම, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දේකැටිය, හල්දුම්මුල්ල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, තුම්පනේ, ගඟ ඉහළ කොරළය, උඩු නුවර, උඩුදුම්බර, උඩ පළාත, ගඟවට කෝරළය, පස්බාගේ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව, වරකාපොල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඕපනායක, වැලිගෙපොල, කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු ඇඟවීමේ නිවේදයක් නිකුත් කර ඇත.

එමෙන්ම කඳු ආශ්‍රිතය යම් තරමක වර්ෂාපතනයක් පවතින බැවින් එම ප්‍රදේශවල අනතුරුදායක ස්ථානවල ජීවත් වන පිරිස් සහ ඇළ මාර්ග දෙපස ජීවත් වන ජනතාව මේ සම්බන්ධව සැලකිළිමත් විය යුතු බවත් එම සංවිධානය සිය නිවේදනයේ දන්වා තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ යම් ආකාරයක වර්ෂාපතනයේ ක්‍රමික වර්ධනයක් පැවතිය හොත් අනතුරුදායක ස්ථාන වෙතින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට ගමන් ගන්නා ලෙසත්ය.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව කැඳවයි…..

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරු සඳහන් කළේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යවා අදාළ ඉදිකිරීම පිළිබඳ පරීක්ෂාවක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලයට අනුව සුදුසු තීන්දුවක් ගැනීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් නියම කළේය.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශවයට දැනුම් දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක්….

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම කමිටුව පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා වන කමිටුවේ සභාපති ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය අර්ජුන තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය, නීති නිලධාරී වෛද්‍ය චාමින්දිකා හේරත් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කර ඇත.

2026 ජනවාරි 20 වන දිනට පෙර සේවා ව්‍යවස්ථා කෙටුම්පත සකස්කර ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කමිටුවට උපදෙස් ලබා දී ඇත.

උපාධිය ගැන පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නාමල් කියයි…..

තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මඟින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වෙනිදා උත්තර ලැබේවි”

අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධි සහතිකය පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, එයට පිළිතුරු දීම ඔහුගේ වගකීමක් බවය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ දහවල් විවේක කාලයෙන් අනතුරුව මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා පවසා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් කටඋත්තර ගනු ලැබූවද අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවය.

“ආණ්ඩුව ෆේල් වෙන විට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ” යනුවෙන් ද  ඩීවී චානක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණය ඉල්ලයි….

අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් අද (19) නියම කර තිබේ.

මෙම කරුණට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මෝසමක් මාර්ගයෙන් සලකා බැලීමෙන් අනතුරුව දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අදාළ මෝසම මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ  අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගත යුතු යෝජනා මාලාවක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වග උත්තරකරුවන් වෙත ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන්ග ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බවය.

ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනු කර තිබුණි.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ඉදිරිපත් කළ එම මෝසම වෙනුවෙන් නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා දැක්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට නියෝග කළේය.

මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් – පැය 2න් ඇවිද්දීමට සලසන බව වෛද්‍යවරු කියයි….

මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් පසුගිය 16 ‍වෙනිදා ආරම්භ වූ අතර එම ශල්‍යකර්ම මාලාව අද (19) දක්වා සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සියවස් ගණනාවක් පුරාවට පැවැත්වෙන බෞද්ධ සබඳතාව සහ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තානාපති සේවාව ආරම්භ වී වසර 70ක් සපිරීම නිමිති කරගනිමින් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකළ බව සඳහන්ය.

තායිලන්ත රජයේ දානමය ප්‍රදානයක් ලෙස සිදුවන මෙම ශල්‍යකර්මය සඳහා තායිලන්තයේ සිරිරාජ් රෝහල මූලිකව එරට ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන ත්‍රිත්වයක රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන හිමිවී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙරට රෝහලකදී දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයක් සිදුකළහොත් එම රෝගියා ඇවිද්දවීම සඳහා දින කිහිපයක් ගතවූවද  ඉතා කෙටි කාලයත් තුළ සිදුකෙරෙන මෙම දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මෙන් පැය 02කට පමණ පසු රෝගියාට ඇවිදීමට හැකිවීමයි.

මහනුවර ජාතික රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් සහ තායිලන්ත සිරිරාජ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු 80ක රෝහල් කාර්ය මණ්ඩලයේ සහායෙන් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකරනු ලබයි.

21 ජනරැළියට සහභාගි වන්නැයි දිලිත් ප්‍රමුඛ සර්වජන බලයට ආරාධනා….

“මහා ජන හඬ” නමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව 21 දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී වන්නැයි, අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර මහතාට ආරාධනා කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පා.ම. මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් මෙම ආරාධනය කළේය.

“මේ අණ්ඩුව උත්සහා කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලවලා ඒ අයට තවත් රැස්වීම් තියන්න. ඒ අයට තියෙනවා වගේම අපිටත් අයිතිය තියෙනවා රැස්වීම් තියන්න. මේ ආණ්ඩුව දුන්න පොරොන්දු සම්බන්ධයෙන් මතක් කරන්න අපිට අයිතියක් තියෙනවා.

විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ ප්‍රතිපත්තියක් නැති තමන්ට බලය ගන්න ඕනේ නම් ඕනේම කෙනෙක් එක්ක එකතුවෙන. දැන් මේ අය විරුද්ධ පාක්ෂිකයෝ හොරු හොරු කියලා කෑ ගහද්දි මේ අය රහසේ පාළාත් පාලන වල බලය ගන්න එදා හොරු වෙච්ච අය එක්ක එකතුවෙලා බලය පිහිටවනවා. අද වෙන විට ප්‍රසිද්ධියේ අයවැය එක එක පරාද වෙනවා. ඒ රහසේ බලය අරගෙන. මේ ආණ්ඩව බලය සඳහා නොකරන දෙයක් නෑ.  අපි දැක්කා ඊයේ සීතාවක වෙච්ච දේ. අර සර්වජන බලයේ මන්ත්‍රීවරයෙකුට සල්ලි දීලා. බලය පිහිටව්වා. දිලිත් ජයවීර මහත්තයා වමේ කෙනෙක්. එතුමාටත් කියනවා මේ කල් මැරුවා ඇති. මේ ආණ්ඩුව නොකරන දෙයක් නෑ. කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාටත් හොඳටම ඉඩ තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. සියලුම නායකයින්ට අපි ආරාධනා කරනවා තවත් දින දෙකක් තියෙනවා. “

රට රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට….

කැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් කැනඩාවේ  රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගෙන ඇත.

මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි විදේශ රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත  ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් වරකාපොල, අඹගලකන්ද ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදී  ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදීමට රු.75,000 බැගින් ලබාගත් ගිවිසුම් 3ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17ක මුදලක් වංචාකළ කාන්තාවක්ද පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබේ.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාරිය කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර, රැකියාව ලබා නොදීම හේතුවෙන් ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

එම කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහජන සම්බන්ධතා නිළධාරිනියක වශයෙන් සේවය කරන තැනැත්තියක් වන අතර,අදාල පැමිණිල්ල මත සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඇය නිළධාරීන් මග හැර සැඟව සිට ඇති බව සඳහන්වේ.

පසුව අදාල සැකකාරිය සේවය කරන පුද්ගලික රෝහලේ සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාල කාන්තාව මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

TNA මන්ත්‍රීවරු ජනපති හමුවෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව  පැවැති බව සඳහන්වේ.

මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල  පැන නැගී ඇති අර්බුධ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ  ඇති වී ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිගේ අවධානයට යොමුකළ මන්ත්‍රීවරු එය වැළැක්වීම සඳහා ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳවඳ  ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිල  Facebook පිටුවේ සටහනක් තබා තිබුණි.

එය පහතින් දැක්වේ.

දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ හමුවකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ එක්වීමි.

පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් මම පෙන්වා දුන්නෙමි.

උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නෙමි.

එමෙන්ම, රට තුළ ජාතිවාදී අවස්ථා නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද මම අවධාරණය කළෙමි.

මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ – අමාත්‍ය චන්දන අබේරත්න…..

නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මහාචාර්ය චන්දන අබේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෙැමැති බවද ඔහු මෙහිදී අවධාරණය කරයි.

මෙහදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“අපි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. ඊට අදාළ නීතිමය කරුණු ටිකක් විසඳගන්න තියෙනවා. ඒකට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියනවා,පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට. අවශ්‍ය කටයුතු කරලා අපිට ජන්දය තියන්න පුලුවන්.

ඔබතුමන්ලා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවා. දන්නවා ඇති අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. අපිට කඩිනමින් විසඳුම් දෙන්න බෑ. අපි විධිමත් ක්‍රමවේදයකට අනුව අවශ්‍ය මැදිහත්වීම් කරලා ජන්දය පවත්වනවා. ඒ පිළිබඳ සැකයක් තියා ගන්න එපා.”