ජනපති අමාත්‍යාංශ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක….

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ප්‍රාග්ධනය වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී ‘වියදම් නොවී ඉතිරි වන මුදල්’ පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මුදල් නියමිත පරිදි ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන  විස්තීර්ණ ණය පහසුකම තුළ පවතින සීමාවන් අනුව වැය කළ හැකි වන්නේ ජාතික නිෂ්පාදනයෙන් 13%ක් වැනි ප්‍රමාණයක් බවත්, එයින් අවම 4%ක්වත් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ යුතු බවත්ය.

ඒ අනුව අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ ‘රටේ අත්‍යවශ්‍යතාවලට ප්‍රමුඛතාව’ යන පදනමින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ප්‍රධානම ආයෝජකයා රජය බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1400ක් වෙන් කර තිබෙන බවත්, ඊට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම වන්නේ වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2026 වසරට අදාළව අමාත්‍යාංශ මට්ටමින් සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව කරුණු ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද, අමාත්‍යාංශ ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ASP සහ කාන්තා පොලිස් සැරයන්වරියක් අල්ලස් දැලේ….

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වෙල්ලාවේලි පොලීසියට අනුයුක්තව රාජකාරි කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරී පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අවසරය ලබාගැනීම සඳහා වු නිර්දේශ ලබාදීමට අදාළ කටයුතු සිදුකරදීමට අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය රු 72,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරීවරයෙකු අද (05) උදේ 10.50ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඉහත විමර්ශනයට අදාළව අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තා පොලිස් සැරයන්වරියෙකු අද සවස 3ට පමණ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නුවරඑළිය හා කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජොන්ස්ටන් සහ බාල පුත්‍රයා රිමාන්ඩ්….

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ, සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවය.

මෙම චෝදනාවට අදාළව හිටපු අමාත්‍යවරයාගේ තවත් පුත්‍රයකු සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකුද මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යොදවා තිබීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පාඩු කළේයැයි වූ චෝදනාවට හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් දී තිබුණි.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් 30 වැනිදා කුරුණෑගලදී අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මෙම සිදුවීමට අදාළව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට ඊයේ (04) අත්අඩංගුවටගත් සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල නැමැත්තාද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙවන් පසුබිමක ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ අද පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත දැනුම් දී තිබු අතර එසේ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවද පොලීසිය හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයකු වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු අද පෙරවරු 8.40ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අනතුරුව අද පස්වරුවේ වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

උසස් පෙළ විභාගය ජනවාරි 12 ඇරඹේ – උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්…

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ  අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් 2026 ජනවාරි මස 12 දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කෙරේ….

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 06ක කාලයක් සදහා එම සමාගමේ කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර ඇති බවය.

නවීන් දිසානායක එජාප උප සභාපති ලෙස පත් කෙරේ…

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව මෙලෙස උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින  සිට නවීන් දිසානායක මහතා උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බවද සඳහන්ය.

එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.

කතරගම දේවාලයේ රත්‍රංවලින් කොටසක් විකුණන්න තීරණය කළ හේතුව බස්නායක නිළමේ කියයි…..

කතරගම දේවාලය භාරයේ ඇති රත්‍රං සංචිතවලින් කොටසක් විකිරීමට තීරණය කළ හේතුව පිළිබඳව කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිලිණ මධුසංක මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

ඒ අද (05) පෙරවරුවේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.

“කතරගම දේවාලයේ තියෙන රත්‍රං සංචිතය ඊයේ පෙරේදා ආපු ගංවතුරට ඒ රත්‍රං ටිකේ ප්‍රමාණයක් අහුවුණා. ඒ රත්‍රං ප්‍රමාණය අහු වෙනකොට මොනවහරි යම්කිසි හේතුවක් නිසා ඒ රත්‍රං ගංවතුරට ගහගෙන ගියා නම් ඒකට කවුද වග කියන්නේ? ඒක ඒකයි මං තීරණය කරේ. අපි මේ වෙලාවේ රජයත් ලොකු අපහසුතාවයකට පත්වෙන්න පුළුවන් නිසා. රජය මගින් වෙන ව්‍යාපෘති ටිකට උදව් කරන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. එහෙම නැතුව රජයත් එක්ක ඩීල් එකක් ජනාධිපතිවරයා එක්ක ඩීල් එකක්. එහෙම නැහැ. ජනාධිපතිවරයා අඩු ම ගානේ මගෙන් ඉල්ලීමක් කරලා නැහැ. මේකෙන් උදව් උපකාර කරන්න කියලා.”

“රත්‍රං ටික හරි විදියට අලෙවි කරනවා මම ඒකෙ වගකීම සීයට සීයම ගන්නවා. මේ රත්‍රංවල අඩු මුදලකට විකිණෙන්න දෙන්නේ නැහැ. සීයට සීයක්ම හරි මිලකට තමයි විකුණන්නේ. ඒක මම සමාජ ජාල ඔස්සේ දැනුවත් කිරීමක් කරනවා. විකුණන මිල, විකුණනවා නම්, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ අනුමැතිය ඇතුව විකුණනවා නම්, ඒක සීයට සීයක් විනිවිදභාවයකින්ම කරන්න මම බලාපොරොත්තු වෙනවා. කිසි විදියකට වංචාවක් කිරීමට මා බලාපොරොත්තු වෙන්නෑ. කවුරුහරි කියනවා නම් යම්කිසි විදියකට මම දේවාලයේ දේවල් ගන්න හදනවා කියලා. මම අවුරුදු හතරෙම මට හම්බෙන භාරකාර දීමනාවත්, කිසිම භාරකාර මහන්සියවත් මම දැනට විෂ්ණු දේවාලයෙන් අරන් නෑ. මම කතරගම දේවාලයෙන් ගන්නෙත් නැහැ.”

ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට තිබු ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක වීම කල්දමයි….

ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ ඇති නියෝග කිහිපයක් බලාත්මක වන දිනය කල් දැමීමට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ආහාර උපදේශන කමිටුවෙන් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 පෙබරවාරි මස 14 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක කිරීම ලබන ජුලි මස 01 වන දින දක්වා කල් දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ආහාර ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ නියෝගය, දියර ආහාරවල සීනි මට්ටම සදහා වර්ණ සංකේතවත් කිරීමේ නියෝගය,  ආහාර සදහා ලුණු අයඩීනිකරණය කිරීමේ නියෝගය සහ ට්‍රාන්ස් මේද පිළිබඳ නියෝගය යන නියෝග බලාත්මක කිරීම ජුලි මස 01 වනදින සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මීට පෙර අදාළ නියෝග මේ වසරේ ජනවාරි මස 01වනදා සිට බලාත්මක කිරීමට නියෝග කර තිබුණි.

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු රිමාන්ඩ්….

අත්අඩංගුවට ගත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල මහතා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (04) ඔහු වත්තල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය කළ බව “අද දෙරණ වාර්තාකරු” පැවසීය.

රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කලමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති අදාළ සැකකරු 2012 වර්ෂයේදී අදාල ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ ලොරි රථය අමාත්‍යංශයේ රාජකාරි සඳහා යොදවන බවට සටහන් තබමින් සැකකරු විසින් පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති අතර එහි සේවකයින්ට රජයෙන් වැටුප් ගෙවා ඇති බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුතු ද අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔවුන් දෙදෙනා මේ වන විට සැඟව සිටින බව පොලිසිය සඳහන් කළේය.

විදෙස් මාධ්‍යවේදිනියගේ අත්බෑගය සොරාගත් සැකකරු අත්අඩංගුවට….

උණවටුන වෙරළ තීරයේ අවන්හලක් අසලදී ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියගේ වටිනා ජංගම දුරකතනයක්, බැංකු කාඩ් ඇතුළු මුදල් තිබු අත්බෑගයක් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන සංචාරක පොලිසිය සමත් වී තිබේ.

ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියක් වන මෙම තරුණිය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ ඇත්තේ තනිව සංචාරය කරන්නියක් ලෙසය.

සොරාගත් බෑගය තුළ iPhone වර්ගයේ ජංගම දුරකතනයක්, විදේශීය මුදල් සහ බැංකු කාඩ්පත් ද තිබී ඇත.

ඇය ඒ සම්බන්ධයෙන් අද (04) උණවටුන සංචාරක පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය විසින් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (05) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.