ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල ගැන සිදුකළ කමිටු වාර්තාව ඉදිරිපත් කරයි….

ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනු ලබන බව අමාත්‍යවරය වැඩිදුරටත් පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේදීය.

“මේක රජයේ සාමූහික උත්සාහයක්. සාමූහික වගකීමක්. රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ගන්න රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය. ඒ නිසා යම් යම් අය තම තමන්ගේ දේශපාලන හා වෙනත් පටු උවමනාවන් ඉටු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරලා කරන විවේචනයන් අපි සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. එහෙම කිසිඳු එකක් නැහැ. මෙතන තියෙන්නේ සාමූහික රජයේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වීමක්. ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රතිපත්තිමය මූලධර්මයන් මත පදනම්ව තමයි ජාතික අධ්‍යාපන ආයතනය, මේ අධයාපන ප්‍රතිසංස්කරණයන් සකස් කරනු ලැබුවේ. ඉතින් අධ්‍යාපන අමාත්‍යාශය මගින් තමයි මේ සියල් සිදුකරනු ලැබුවේ. මේ ක්‍රියාත්මක කිරීම අපි කාගෙත් වගකීම වෙලා තියෙනවා. ඉතින් එතනදී ඉතා පැහැදිලිව අපි දැකපු දෙයක් තමයි මේ ක්‍රිවලියේදී යම් තැනක අඩුවක් සිද්ධ වුණා.

විශේෂයෙන්ම හයවෙනි ශ්‍රේණියේ විෂය මාලාවට අදාළ මොඩියුලයේ දී බරපතල වැරැද්දක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වැරැද්ද ඉතා පැහැදිලිව අධ්‍යාපන අමාත්‍යාංශය දැන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක හඳුනා ගත්තට පස්සේ හඳුනාගත්ත විගසම ගරු අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් මත ලේකම්තුමා මගින් වහාම අභ්‍යන්තර දත්ත තොරතුරු ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කරා. ඒ වාර්තාව දැන් ලැබිලා තියෙනවා. ඒ වාර්තාව මත පදනම්ව ඒ අදාළ වැරැද්ද සිද්ධ වෙච්ච අයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න ඉදිරි ක්‍රියා කටයුතු සිද්ධ වෙනවා.

ඒ නිසා මෙය කිසිසේත්ම හයවෙනි ශ්‍රේණියේ ඒ මොඩියුලයට ඇතුලත් විය යුතු නැති දෙයක්. ඒ නිසා ඒක ඉවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාශය අනිවාර්යෙන්ම තීරණය කරනවා. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණයන් වඩාත් සාධනීය විදිහට ඉදිරියට ගෙනියන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.”

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි….

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පල කර ඇත.

මේ පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” යනුවෙන් හඳුන්වයි.

ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙයින් ඉවත් කරනු ලැබේ.

සැක දුරු කිරීම සඳහා, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර, 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හෝ 1990 අංක 47 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ ඉහත සඳහන් විධි විධාන යටතේ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තකුට මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බවට මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලාව ආරම්භ වීම ගැන දැනුම්දීමක්….

හෙට සිට ආරම්භ වන නව අධ්‍යනය වර්ශය තුළ පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවේ විෂය මාලාව හඳුන්වා දීම පමණක් නොව ඊට සමගාමීව මෙම අලුත් ක්‍රමයට දරුවන් හුරු කිරීම සඳහා ද වැඩසටහන් සංවිධානය කර ඇති බවය.

එමෙන්ම දෙමාපියන් සඳහා ද එම හඳුන්වා දීම සිදු කිරීමට නව වැඩසටහන් සංවිධානය කර ඇති බව අගමැතිනිය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ විෂයන් තේරීමට හුරු කිරීම ආදී වූ සියල්ල පිළිබඳව අවධානය යොමු කර ඇති බවය.

මෙම විෂය මාලාව ක්‍රියාත්මක කරන ගුරුවරුන් සඳහා ද පුහුණුව ලබා දී ඇති අතර මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 7,181ක් සිදු කර ගුරුවරු 132,580ක ප්‍රමාණයට පුහුණුව ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

ඒ අනුව මෙම නව මොඩියුල සමග එම විෂයන් උගන්වන ගුරුවරුන්ගෙන් 93%කට මේ වන විට පුහුණුව ලබා දී අවසන් වන බව ද ඇය මෙහිදී කියා සිටියාය.

එමෙන්ම ඊට සමගාමීව මෙම නව ප්‍රතිසංසකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීම කෙරෙහි ද අවධාණය යොමු කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය.

දෙහිවල සැකකටයුතු මළසිරුරක්

දෙහිවල ප්‍රදේශයේ වැඩපලක් ඉදිරිපිට තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සැකපල කරන්නේ පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට ය.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ දෙහිවල, සන්ජයපුර වෛද්‍ය පාර ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු වේ.

ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ගීත්ම ප්‍රනාන්දු මහතා විසින් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇත.

මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ….

මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද (02) පෙරවරුවේ සිදුකෙරුණි.

කෙසේ වෙතත් පදික වෙළෙඳුන් පවසන්නේ, ඒ වෙනුවෙන් තමන්ට ලබාදී ඇති විකල්ප ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.

මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන බවට මහනුවර මහ නගර සභාව දැනුම් දී තිබුණේ පසුගිය ජූලි මාසයේ සිටයි.

ඒ අනුව මහනුවර නගරයේ මෙන්ම පේරාදෙණිය හා කටුගස්තොට නගරවලද අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනගර සභා නිලධාරීන් සහ පොලිසියේ මැදිහත් වීමෙන් අද පෙරවරුවේ සිදුකෙරුණි.

කෙසේ වෙතත්, වෙළෙඳුන් පවසන්නේ තමන්ට විකල්පයක් ලෙස බෝගම්බර ප්‍රදේශයේ ස්ථානයක් ලබාදුන්නද එම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බවය.

රුපියල් මිලියන 34කට අධික කුෂ් සමගින් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට….

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 419ක් සමගින් ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35ක අයෙකු වන අතර සැකකරු විසින් මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 34.19ක් වන බවද රේගු නිලධාරීන් පැවසීය.

සැකකරු බැංකොක් සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙරටට පැමිණ තිබේ.

සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වර්ෂයේදී….

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදන 2025 වර්ෂයේදී සිදු කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ගතවූ වසරේදී ඖෂධ පෙති සහ කරල් මිලියන 3,625ක් නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මාසයක් තුළ සිදුකළ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වසරේ මාර්තු මාසය තුළ සිදු කිරීමට ද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති අතර එම මාසයේ ඖෂධ පෙති සහ කරල් මිලියන 385ක් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.

ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සැපයුම් අංශය ලබා දුන් සියලු ඇනවුම් හිඟයකින් තොරව සැපයීමට ද කටයුතු කර ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2025 වර්ෂයේදී නව ඖෂධ නිෂ්පාදන 05ක් වෙළදපොලට හදුන්වාදීමට ද කටයුතු කර ඇත.

කෙසේවෙතත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ 2025 වර්ෂයේ සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 27.06ක් ලෙස ද සටහන් වී ඇති බවය.

2026 පාසල් කාලසටහන සංශෝධනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්….

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබේ.

ඒ අනුව 2026 වසර තුළ දී පාසල් පැවැත්වෙන වේලාව දැනට ක්‍රියාත්මක වන පරිදි ම පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මින් පෙර ලබා දුන් උපදෙස් පරිදි, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වර්ෂයේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කළ යුතු බව ද එහි සඳහන්.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්….

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා අද (02දා) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.

පත්වීම් ලබා ගැනීමෙන් අනතුරුව, ඒ මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිය ප්‍රථම නිල හමුව අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශාලාවේදී පවත්වන ලදී.

එහිදී මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ඒ මහතා නිලධාරීන් දැනුවත් කළේය.

පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය පනී

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර්  බිලියනය ඉක්මවා ගොස් තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් ගෙඩි පිටරට පැටවීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමය.

මේ යටතේ දියරමය පොල් කිරි, වර්ජින් පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල් (DC), ඇක්ටිවේටඩ් කාර්බන් (Activated Carbon) සහ කොකෝ පීට් (Coco Peat) වැනි නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇත.

මේ වන විට මෙරට සමස්ත අපනයන ප්‍රමාණයෙන් 7.2% ක්ම නියෝජනය කරනු ලබන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ය.

මෙම සාර්ථකත්වය පොල් කර්මාන්තකරුවන්ගේ සමූහ අධිෂ්ඨානයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල සම නායකත්වයෙන් කළ උත්සාහයෙනුත්, විශේෂයෙන්ම දේශීය නාස්තිය අවම කර අපනයන වෙත පොල් යොමු කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයත් වැදගත් විය.

අනාගත ඉලක්ක සහ තිරසාර වර්ධනය රජයේ ඉදිරි සැලසුම් අනුව 2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක අපනයන ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත.

මේ සඳහා දීර්ඝකාලීන පියවරක් ලෙස “උතුරු පොල් ත්‍රිකෝණය” ස්ථාපිත කර ඇති අතර, එහි අක්කර 16,000 ක් ද ඇතුළුව සමස්තයක් ලෙස අලුතින් පොල් අක්කර 36,000ක් වගා කිරීමේ කටයුතු සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් එම පියවරවල ප්‍රතිඵල දැක ගත හැක්කේ මධ්‍යම හා දිගු කාලීනව වුවද කෙටි කාලීන වශයෙන් දේශීය පරිභෝජනය රටා වෙනස් කිරීම වෙනුවෙන්, ගෘහස්ථ මට්ටමේදී පොල් භාවිතය වඩා කාර්යක්ෂම කර ගැනීම (පොල් වතුර, පොල් කටු, පොල් ලෙලි), දෛනික පරිභෝජනය සඳහා විකල්ප නිෂ්පාදන භාවිතයට ගැනීම (පිටි හා කිරි), දේශීය නාස්තිය අඩු කිරීම සඳහා සරල තාක්ෂණ භාවිතය මෙන්ම පොල් අපනයනකරුවන්ට නැවත අපනයනය සඳහා පමණක් සීමා කරමින්, පොල් කිරි සහ පොල් ගෙඩි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට අවසර ලබා දීම වැනි තීරණ කිහිපයක් රජය විසින් ගන්නා ලදි.

මෙලෙස ආනයනය කළ ප්‍රමාණය ඉතා සීමිත වුවද, මෙම කාලෝචිත ප්‍රතිපත්ති තීරණය මඟින් දේශීය වෙළඳපොළේ හිඟයක් ඇති නොවීමටත්, එකවරම අපනයන කර්මාන්තයේ ගමන්මග ආරක්ෂා කිරීමටත් හැකි වී තිබේ.

මෙම සාර්ථකත්වය පොල් කර්මාන්තකරුවන්ගේ සමූහ අධිෂ්ඨානයත්, වැවිලි හා ප්‍රජා යටිතලපහසුකම්  අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සමනායකත්වයෙන් කළ උත්සාහයෙනුත්, විශේෂයෙන්ම දේශීය නාස්තිය අවම කර අපනයන වෙත පොල් යොමු කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයත් වැදගත් විය.

කෙසේ වුවද මෙම ඉලක්කය පිළිබඳව 2025 ජනවාරි මස පැවති මාධ්‍ය හමුවක දී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කියා සිටියේ 2025 වසර අවසානයේ ඩොලර් බිලියනය ඉක්මවූ අදායමක් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා හැකි අයුරින් පොල් පරිභෝජන රටාව සහ නාස්තිය අවම කරගන්නා ලෙසත්ය.