විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රු. ලක්ෂ 3,743ක් යළි වින්දිතයින්ට….

2025 වර්ෂය තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරන ලද වින්දිතයින්ට රුපියල් ලක්ෂ 3,743කට අධික මුදලක් යළි අයකරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ.

මේ අනුව පසුගිය වසර තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 791ක් වන අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 4,734ක් කාර්යාංශයට ලැබී ඇත.

තවද මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදුකරන ලද වැටලීම් ප්‍රමාණය 20ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම වැටලීම් අතරට නීතිවිරෝධි ක්‍රියාවල යෙදුණු බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 2ක් අයත්ය.

එමෙන්ම මෙම කාලය තුළදී වංචනිකයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතරට බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 15ක්ද අයත් වන බව සඳහන්.

මේ අතර විදේශ රැකියා වංචා වැළැක්වීම සඳහා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් ඒකකයක්ද පසුගිය වසරේදී කාර්යාංශය තුළ ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති අතර, එමගින් විනිවිදභාවයකින් යුතුව පැමිණිලි කඩිනමින් විසඳීමට හා වංචාකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

වර්තමානයේදී සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගනිමින් විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම් ඉහළ යමින් පවතින බැවින්, එවැනි පුද්ගලයින්ට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කාර්යාංශය ඇමතීමෙන් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

ආපදා දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරයි…

ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

”දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ වල බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 2025-12-20 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (i) මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති නිවාස හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාල උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නිකුත් කළ බව සඳහන් වේ.

ඒ අනුව, 2025 නොවැම්බර් මස 21 වන දින සිට පැවැති ආපදා තත්ත්වය හා පසු ආපදා තත්ත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් 31 දින දක්වා සිදු වූ නිවාස හානි මේ සඳහා අදාළ වේ.

මෙම දීමනා ගෙවීමේ දී අවශ්‍ය කරන ලේඛන ආපදාව හේතුවෙන් විනාශ වී ඇත්නම් එම ලේඛන නොමිලේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම් විසින් සුදුසු වැඩපිළිවෙලක් සකස් කළ යුතු වේ.

ලේඛන පිළිබඳ මතුවන ගැටලු වලදී, ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුව නිර්දේශ මත, ප්‍රාදේශීය ආපදා කළමනා කරණ හා සහන සේවා කමිටුව මඟින් එම ලේඛනවල සහතික කළ පිටපත් හෝ වෙනත් තහවුරු කරගත හැකි ලේඛන අනුව හෝ ලේඛන පසුව ලබාදීමේ පදනම මත ගෙවීම් කළ යුතු බව එම මාර්ගෝපදේශ වල සඳහන් වේ.

ආපදා සහන සැලසීම සඳහා සම්බන්ධ වන ආයතන වල කාර්යභාරය ද විස්තරාත්මකව එහි සඳහන් කර තිබේ.

මෙම මාර්ගෝපදේශය මඟින් ආවරණය වන දීමනා හා සහන ලබාදීමේ දී 2025-01-21 දිනැති ආපදා සහන සේවා මාර්ගෝපදේශ අංක 01/2025 හි 2.1 යටතේ ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවෙහි නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම් වෙත සහාය පිණිස පවතින සංයුතියට අමතරව පහතනිලධාරීන්ට ද වගකීම් පවරා ඇත.

පරිපාලන ග්‍රාම නිලධාරි
ඉඩම් නිලධාරී
ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි
නිවාස සංවර්ධන අධිකාරිය නියෝජිත
සමෘද්ධි නිලධාරි
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිත
නිවාස නිලධාරි
අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්

වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09වන දා සිට…..

ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දස වන පාර්ලිමේන්තුවේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීම සඳහා අද (07) පස්වරුවේ සහභාගී වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළහි වත්මන් තත්ත්වය සහ යළි පදිංචි කිරීමේ සහ වගා හානි සඳහා වන්දි ලබා දීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර නිවැරදි දත්ත රැස් කර ගනිමින්, සත්‍ය සංඛ්‍යා ලේඛන මත පදනම්ව අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර, බැංකු සමඟ සාකච්ඡා කර, එම ණය මුදල ලබා ගැනීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

එසේම, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳවද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් කාර්යක්ෂමව වැය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එසේ නොවුණහොත් නිසි කාලය තුළ අපේක්ෂිත සංවර්ධන අරමුණු ඉටු කර නොහැකි වනු ඇති බවද සඳහන් කළේය.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීමේදී පැවති තලයට වඩා එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබෙන අන්දමින් එම කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

ඉන්දීය යුද හමුදාධිපති යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක…..

දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස අද (7) ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූහ.

මෙහිදී ඉන්දීය යුද හමුදාධිපතිවරයාව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් පිළිගන්නා ලද අතර, ඊට පෙර යුද හමුදා භටපිරිස් විසින් ඉන්දියානු යුද හමුදාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන් අනතුරුව දෙරට යුද හමුදාධිපතිවරු අතර සුහද හමුවක් පැවැති අතර, එය අවසන්වීමෙන් පසු ඉන්දියානු ආධාර බුත්තල  යුද හමුදා යුධ විද්‍යාලයේ ඉදි කිරීමට යෝජිත ඉන්දු – ලංකා ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වූ ගිවිසුම අත්සන් කරනු ලැබීය.

මෙහිදී ශ්‍රී ලංකාවට බළපෑ ආපදා තත්ත්වය තුළදී සක්‍රීයව දායකත්වය දැක්වූ යුද හමුදා ප්‍රතිචාර කණ්ඩායම්වල සාමාජිකයින්ගේ විශිෂ්ට හා කැපවූ සේවය ඇගයීම සඳහා සංවිධානය කරන ලද උත්සවයකටද ඉන්දීය යුද හමුදාපතිවරයා  සහභාගි විය.

මේ අතර මහින්ද්‍රා ස්කොර්පියෝ වර්ගයේ වාහන 20ක්, පුහුණු සමාකෘති සහ ගිලන් රථ 2ක් නිල වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත ප්‍රදානය කිරීමද සිදුවිය.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.

යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයට පෙර ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වෙත පැමිණියේය.

එහිදී  ඉන්දියානු යුද හමුදාධිපති විසින් එම විද්‍යාලයීය පුස්තකාලයේ ‘ඉන්දියානු අංශය’ විවෘත කළ අතර, විද්‍යාලය වෙත ගිලන් රථයක් ද පරිත්‍යාග කළේය.

එමෙන්ම, ඉන්දියානු යුද හමුදාධිපති බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් දිවිපිදූ ඉන්දීය හමුදා සාමාජිකයන් වෙත ගෞරවාචාර පිදීමකටද එක්විය.

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්…..

ශ්‍රී ලංකාව පුරාම සිටින දරුවන් සඳහා එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහතමිය පවසයි.

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන වැඩසටහ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්  අමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ නිරෝගී මනසක් සහ නිරෝගී ශරීරයක් සහිත දරුවෙකු බිහිකිරීම ජාතික ඉළක්කයක් බවය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ “මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 12 ක එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජනවාරි 10 වන දින අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එළිදැක්වීමට සැළසුම් කර ඇත.

ඊට සමගාමීව මුල් ළමාවිය දරුවන් තුළ සහකම්පනය, චිත්තවේග කළමණාකරනය, ආචාරධර්මීය සංවර්ධනය, යහපත් සෞඛ්‍ය  පුරුදු හුරු කිරීම, සන්නිවේදන කුසලතා වර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාකාරාම් පාදක ඉගැන්වීම රටාවක් සහ ඒ සඳහා අවශ්‍ය මෙවලම් කට්ටලයක්ද හදුන්වා දීමට නියමිතය.

මහ බැංකුවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට…..

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත වාර්තාතා පෙන්වා දේ.

මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 13.1%ක ඉහළ යාමකි.

මේ අතර සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2025 නොවැම්බර් මාසයේ පැවති ඩොලර් මිලියන 5,944 සිට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3%කින් පසුගිය 2025 දෙසැම්බර් මාසය තුළ දී ඉහළ ගොස් ඇත.

සිස්ටම් චේන්ජ් වී කැකිරාව සති පොලේ උණුසුම් තත්වයක්. බදු මුදල අසාධාරණයි. ආණ්ඩු වෙනස් කළේ තවත් දුක් විඳින්න ද වෙළෙදුන් අසයි…

කැකිරාව ප්‍රාදේශිය සභාව යටතේ මෙතක් කල් පවත්වාගෙන ආ බව කියන කැකිරාව නගරයපවත්වාගෙන යනු ලබන සති පොල මෙවර ප්‍රාදේශීය සභාව මඟින් කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයකුට ටෙන්ඩර් ලබා දිමට කටයුතු කර ඇතැයි ද ටෙන්ඩර්කරු විසින් අසාධාරණ ලෙස ඉහළ බදු මුදලක් තමන්ගෙන් එකතුකරන බවද කැකිරාව සතිපොල වෙළදුන් චෝදනා කරයි.
ඒ අනුව සතිපොල බදු අය කිරිමට පැමිනි ටෙන්ඩර් කරු ඇතුලු ⁣පිරිස අධික බදු මුදලක් තමන්ගෙන් අය කල බවද එය තමනට දරා ගැනිමට නොහැකි බවද පවසන වෙළදුන් වෙනත් සති පොලවල් වල එලෙස අසාධාරණ බදු මුදල් අය නොකරන බවද පෙන්වා දෙති.
මෙහිදි අද සතිපොල මුදල් එකතු කිරිමට පැමිණි පිරිස හා වෙලෙදුන් අතර තරමකඋණුසුම් තත්වයක්ද හට ගැනින.
මෙලෙස අසාධාරණ ලෙස බදු මුදල් අය කළ ද සතිපොළ වෙලෙදුන්ට අවශ්‍ය වැසිකිළී පහසුකම්හෝ සතිපොළ භූමියේ නිසි ලෙස නොමැති බවද එම වෙළෙදුන් පෙන්වා දෙති.
මෙහි වෙලදාමේ නිරත ඇතැම් පිරිස් දැනට වසර 40ක පමණ කාලයක සිට මෙම පොලෙහි වෙලදාම් කටයුතුවල නිරත වන බවද එම ඉතිහාසයේ මෙවැනි අසාධාරන බදු මුදල් අයකිරිමක් සිදු නොවු බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අනුව සතිපොලෙන් අය කෙරෙන නව බදු මුදල් සදහා වෙලදුන්ගේ දැඩි විරෝධතාවයක් ද එල්ලවි තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ තම ව්‍යාපාරික කටයුතු වලට මෙලෙස අසාධාරන ලෙස බදු පැනවිම මගින් තමන් කබලෙන් ලිපට වැටි ඇති බවයි. එසේම මෙලෙස අසාධාරණ ලෙස අයකරන බදු මුදල සෘජුවම සභාවට හෝ රජයට නොලැබෙන බවත් එය තුන්වන පාර්ශවයක් වන ටෙන්ඩර්කරුගේ අතට පත්වන බැවින් මේ සදහා සාධාරනයක් ඉටුකරන ලෙසත්, තමන් මෙම රජයෙන් බලාපොරොත්තු වු සහනය මෙය නොවන බවත් වෙලෙ⁣දුන් පෙන්වා දෙති.
සතිපොල ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා පවසන්නේ එම බදු මුදල් අයතිරීම ප්‍රාදේශීය සභාවේ තීරණයක් අනුව සිදුකරන බවයි.
මෙම අවස්ථාවේ කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ බලය හිමි ජාතික ජනබල වේගයේ මංත්‍රීවරයකු වන නවරත්න බංඩාර මහතාද සති පොලට පැමිණී සිටි අතර ඔහුට ද මෙම අසාධාරණ බදු අයකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වෙළෙදුන් කටයුතු කරනු ලැබීය. වෙළෙදුන් හමුවේ ඔහු කියා සිටියේ තමන්ද එම අවස්ථාවේ ගැටළුව ගැන නොදන්නා බවත් තමන්ද බඩු ගන්න පොලට ආ බවයි. කෙසේ වෙතත් මෙවළදුන් පත්ව ඇති මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ස භාව දැනුවත් කරන බවටද මංත්‍රීවරයා එහිදී වෙළෙදුන්ට පොරොන්දු විය.
කැකිරාව සතිපොල වෙළදුන් ඉල්ලා සිටින්නේ ටෙන්ඩරය අහෝසි කර පෙර පැවැති ලෙස මෙම පොල සදහා ප්‍රාෙද්ශී්‍ය සභාව යටතේම පවත්වාගෙන යමින් බදු අය කිරිම ප්‍රාදේශිය සභාව මඟින් සිදුකර එම සමස්ථ බදු මුදල සෘජුවම රජයේ පාර්ශවය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට අයවන ලෙස කටයුතු කරන ලෙසයි.
වෙළෙදුන් පවසන්නේ මෙලෙස අසාධාරණ බදු මුදල අයකරන්නේ නම් ඉදිරියේදී සතිපොල ව්‍යාපාරිකයින් ලෙස තමන්ට ද දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවයි.

සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් 2025දී ඩොලර් බිලියන 11ක ආදායමක්…

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක් ඉපැයීමට හැකි වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදෙස් ප්‍රේෂණ හරහා ඩොලර් බිලියන 07කට අධික ආදායමක් හා සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3යි දශම 2ක ආදායමක් උපයා ඇති බවය.

අද (05) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු බලපෑම සැලකිල්ලට ගනිමින් විදෙස් රටවලින්, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු පාර්ශ්ව මගින් මේ වන විට පරිත්‍යාග ලෙස රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් ලැබී ඇති බව ද විජිත හේරත් අමාත්‍යවරයා එහිදි කියා සිටියේය.

හම්බන්තොට මයුරපුර මහවැලි කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…..

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි ගොවීන්ට නිසි අයුරින් ජලය නොලැබෙන පසුබිමක දේශපාලනඥයින්ගේ උවමනාවන් මත DC 7 ඇළ මාර්ගයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක් භාවිත කර වෙනත් ගොවීන් පිරිසකට ජලය ලබාදීමකට කරයුතු කරන බවට පවසමින් මහවැලි ගොවීන් විරෝධතාවක් සිදුකර තිබේ.

ඔවුන් පවස්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කණුවක් භාවිත කරමින් නීති විරෝධී ලෙස හම්බන්තොට කෑලියපුර ප්‍රදේශයේ DC 7 ඇලෙන්, හම්බන්තොට ස්වර්ණමාලි වැව ප්‍රදේශයේ මහවැලි නොවන ගොවින් පිරිසකට ජලය ලබාදීමට යම් කිසි පිරිසක් උත්සාහ දරණ බවය.

පසුගිය 03වනදා පිරිසක් විසින් ජලය ගෙනයාම සඳහා අදාළ කානුවක පිලිසකර කර තිබේ.

එම ස්ථානයට ගිය මහවැලි ගොවින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නකරන විටදී ඔවුන් පවසා ඇත්තේ වැසි ජලය ගෙනයාම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ඇතිව අදාළ කානුවේ පවිත්‍රතා කටයුතු කරණ බවය.

මෙවන් පසුබිමක පසුගිය 04 වනදා වනවිට එම කානුව  DC 7 ඇළ මාර්ගය දක්වා දික්කොට අදාළ ඇලට කොන්ක්‍රීට් බෝක්කුවක්ද දමා ඇළ මාර්ගය ද හරස් කර තිබු බව ගොවින් පවසයි.

ඒ අනුව අද (05) පෙරවරුවේ අදාළ සිදුවීම සඳහන් කරමින් සිය විරෝධතාවය දන්වා මහවැලි ගොවීන් විසින් හම්බන්තොට මයුරපුර මහවැලි කොට්ඨාශයේ, කළමනාකරණ කාර්යාලයේ කොට්ඨාශ කළමනාකරුට ලිපියක් ලබා දීමට පැමිණ තිබේ.

නමුත් අදාළ නිලධාරියා ගොවීන්ගේ ගැටලුවට නිසි පිලිතුරක් ලබාදීමට නොපැමිණීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.

පසුව පොලීසිය පැමිණ අදාළ කොට්ඨාශ කළමනාකරු සමඟ ගොවින්ට සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කලත් කොට්ඨාශ කළමනාකරු ගොවීන්ගේ ගැටලුවට නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැත.

එම අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණ සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ හා හම්බන්තොට මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම ගැටලුවට මැදිහත්වීමත් සමඟ ගොවින් සහ ඔවුන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

ගොවින් පවසන්නේ ගොවින් හා නිලධාරීන්ගේ ගැටලුවලට මේ ආකාරයෙන් දේශපාලඥයින්ගේ අනිසි මැදිහත්වීමක් තමන් බලාපොරොත්තු නොවන බවය.

කෙසේ වෙතත් ගොවින් ඒ සඳහා දැඩි  විරෝධය දක්වමින් අදාල නිලධාරීන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගිය බව  වාර්තාකරු පවසයි.

සැකකරුවෙකු යැයි සිතා තමාට පහර දුන් බවට තරුණයෙකුගෙන් පොලීසියට චෝදනා….

සැකකරුවකුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගනිමින් බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙක් චෝදනා කර තිබේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන අයෙකි.

දෙසැම්බර් 30 වැනිදා රාත්‍රීයේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් 16 හැවිරිදි දැරියකට තුවාල සිදු විය.

එම සිද්ධියට අදාළව පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් අතින් අඳින ලද සැකකරුවෙකුගේ සිතුවමක්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.

මෙවන් පසුබිමක දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුසංඛ නැමැත්තා ඉකුත් ජනවාරි පළමුවැනිදා කොළඹට පැමිණ තිබුණේ සිය ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහාය.

ඔහු එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇති අතර ඊට පසුදින උදෑසන කාලයේ එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ තිබුණි.

අනතුරුව ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය තමන්ට අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා පොලිස් නිලධාරීන් පහරදුන් බවට තරුණයා චෝදනා කර ඇත.

දින 2කට ආසන්න කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා සිටි ළහිරුව ඉන් නිදහස් කර ඇත්තේ ඉකුත් 3 වැනිදා පස්වරුවේදීය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් සිදු කළේය.

එහිදී ස්ථානාධිපතිවරයා පැවසුවේ සැකපිට අත්අඩංගුවට ගත් අදාළ තරුණයාගේ තොරතුරු පරීක්ෂා කර පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගත් බවය.

කෙසේවෙතත් ඔහුට පහරදුන් බවට පොලිසියට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.