මේ වසරේ පැවැත්වෙන විභාග දින ගැන දැනුම්දීමක්….

මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතය.

මේ වසරේ පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වේ.

විභාග පැවැත්වෙන දින පහතින් දැක්වේ.

1767977431-1

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට ලැබෙන ණය සහන ගැන පැහැදිලි කිරීමක්….

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර ආපදාවට ලක් වු ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම සමබන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇත.

ඒ අනුව රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොළියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විටත් සකසා තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

එමෙන්ම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති බවත්, එකී මුදල් නිසි ලෙස තවමත් යොදා නොගැනීම පිළිබඳව මෙහිදී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී…..

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ සමාරම්භය අද (08) පෙරවරුවේ මට්ටක්කුලිය ලංගම ඩිපෝවේදී සිදු විය.

මෙය පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදු කරන බව වාර්තා වේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, එම ආයතනයේ ජංගම වෛද්‍ය පර්යේෂණ රථයක් උපයෝගී කරගනිමින් සිදු කරන ලදී.

මෙහිදී මට්ටක්කුලිය ලංගම ඩිපෝවේ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ මුත්‍රා සාම්පල ලබාගනිමින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් හඳුනා ගැනීම සිදු කළ අතර විනාඩි 10 වැනි කෙටි කාලයක් තුළ දී අදාළ පරීක්ෂණයේ ප්‍රථිපල ලබාදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී, කේ.එස්.එම්. සමරසේකර මහත්මිය,

“මෙම වැඩසහන ක්‍රියාත්මක කිරීමේ මූලිකම අරමුණ වන්නේ පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමයි. එමගින් දෛනිකව සිදුවන රිය අනතුරු අවම කිරීමට හැකිවීම ඉතාමත් වැදගත් අද දිනයේ මට්ටක්කුලිය ඩිපෝවෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මගින් රියදුරන්ගේ මුත්‍රා සාම්පල ලබාගෙන, ඔවුන් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂා කරනවා. අද දිනයේදී මත්ද්‍රව්‍ය 04ක් පරීක්ෂා කිරීමට හැකි පරීක්ෂණ කට්ටල අපි රැගෙනවිත් තිබෙනවා. එමගින් ගංජා, අයිස්, බාබුල් සහ හෙරෝයින් යන මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කළ හැකි වෙනවා. ඉදිරියේදී මෙම ක්‍රියාවලිය දීපව්‍යාප්තව සිදු කිරීමට බලාපොරොත්තු වනවා” 

අල්ලස් ගත් තාක්ෂණික නිලධාරි‍යා ජනවාරි 23 දක්වා රිමාන්ඩ්….

වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උපකාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙකු ජනවාරි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (08) නියෝග කර තිබේ.

ඒ ගොඩනැගිලි සැලැස්මක් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද සැලසුමේ අඩුපාඩු නොසලකා හැර එය අනුමත කර දීමට අවශ්‍ය කටයුතු සිදු කරදීමට අල්ලස් වශයෙන් රුපියල් 50,000ක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියකට අදාළව ය.

අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

රාගම ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව ‍අල්ලස් කොමිසම සඳහන් කළේය.

පැමිණිලිකරුට අයත් වැලිසර පිහිටි ගොඩනැගිල්ලක සැලැස්මේ අඩුපාඩු පෙන්වා ඇති සැකකරු එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කරදීම සඳහා පැමිණිලිකරුගෙන් මෙම මුදල ඉල්ලා ලබා ගනිද්දි ඊයේ (07) පස්වරු 3.50ට පමණ වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

උඩදුම්බරට භූ චලනයක්….

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබේ.

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.

මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්…..

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඒවාට සාධනීය විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු වූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.

එසේම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

නායයෑම් පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක්….

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන තත්ත්වය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (9) පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා රට තුලට ඇතුළුවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති පුරෝකථන අනුව මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ පහත සඳහන් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම වර්ෂාවෙන් බලපෑම් ඇතිවිය හැකියි.

ඒ අනුව, පවතින වර්ෂාව සහ මෑතකදී ඇති වු නායයෑම් හා භූ අස්ථාවර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම ප්‍රදේශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂා කර, නායයෑම් අවදානමට ලක්විය හැකියැයි හඳුනාගත් ස්ථාන, දැනටමත් නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, බෑවුම්, නිම්න හා මිනිසා විසින් සකස් කළ කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඇති විය හැකි නායයෑම් තත්ත්වයන් සලකා, හෙට (9) පස්වරු කාලයට පෙර පහත ස්ථානයන්ගෙන් ඉවත් වී සුරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දන්වා ඇත.

මහනුවර දිස්ත්‍රික්කය- මිනිපේ, මැදදුම්බර, පන්විල, දොළුව, දෙල්තොට සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.

බදුල්ල දිස්ත්‍රික්කය- කන්දකැටිය, පස්සර, බදුල්ල, ලුණුගල, හපුතලේ, ඇල්ල, බණ්ඩාරවෙල, හාලි ඇල, වැලිමඩ, මීගහ කිවුල සහ ඌව
පරණගම

මාතලේ දිස්ත්‍රික්කය- විල්ගමුව, අඹන්ගඟ කෝරළේ, රත්කොට, නාඋල, උකුවෙල සහ ලග්ගල පල්ලේගම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ- වලපනේ, නිලදණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ නුවරඑළිය

පුරෝකථනය කොට ඇති පරිදි වර්ෂාමය තත්ත්වයක් ඇති වී නායයෑම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත්, එම ස්ථාන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කොට අවශ්‍ය උපදෙස් ලබාදෙන තෙක් ආරක්ෂිත ස්ථානයන්හිම රැදී සිටින මෙන් ද දැනුම් දී ඇත.

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් 10ක්……

ආපදා තත්ත්වයකදී භාවිතා කිරීම සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවලදී පුද්ගල සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා භාවිතා කළ හැකි බව ඇය පවසයි.

ඒ අනුව මෙම යානා වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්, ඒවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිත බවත් සිය ‘X’ ගිණුමේ දක්වා ඇත.

කුවේට් බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක් ආපසු ගෙන්වා ගනී….

කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය, කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02යි විනාඩි 21කට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා ගෙන තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන මෙම ගුවන් යානය අද (08) සවස 06.44ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබුණි.

එහෙත් මෙම ගුවන් යානයෙහි හයිඩ්‍රොලික් පද්ධතියෙහි හටගත් කාර්මික දෝශයක් නිසා, එහි ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොළ පාළක මෙහෙයුම් මැදිරිය මේ පිළිබද දැනුවත් කිරීමෙන් පසුව ගුවන් යානය ආපසු හරවා ගෙන පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ ගුවන් නියමුවා රාත්‍රී 09.05ට තම ගුවන් යානය නිරුපද්‍රිතව, ආරක්ෂාකාරීව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් යානයෙහි ගුවන් මගීන් 179 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිට ඇති බවද සඳහන්.

කෙසේවෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුවේ මෙම ගුවන් යානයෙහි වූ ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් කුවේට් රාජ්‍යය වෙත යොමු කිරීමට පියවර ගත් බවය.

විෂයමාලා, පෙළපොත් සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන්ට මාර්ගෝපදේශන සංග්‍රහයක්…

විෂයමාලා, පෙළපොත් සකස් කරන සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

6-13 ශ්‍රේණි සඳහා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ කාර්ය සාධන බළකායේ මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම  සයිබර් ආරක්ෂණයට අදාළ කාර්ය කන්ඩායම (work group) සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06)  අරලිය ගහ මන්දිරයේදී පවත්වා තිබේ.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා ඇත.

පාසල් සිසුන් සඳහා විෂයමාලා සකස් කිරීම, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදුකිරීම යන කාර්යයන් සිදුකරන නිලධාරීන් සඳහා මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම, සයිබර් ආරක්ෂණය (Online Safety, Digital Wellbeing, Cyber Security) වෙනුවෙන්  මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.