ලොව පුරා Facebook, Instagram සහ Threads යන සමාජ මාධ්‍ය බිඳවැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ හේතුවෙන් පරිශීලකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන්ය.
Latest News
ලොව පුරා Facebook, Instagram සහ Threads යන සමාජ මාධ්‍ය බිඳවැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ හේතුවෙන් පරිශීලකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන්ය.
අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) නිවේදනය කර ඇත්තේ, මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති අතර, එය එල්-නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවය.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙවර එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් “දරුණු එල්-නිනෝ” තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.
එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල්-නිනෝ සංසිද්ධීන් අතරට එක්විය හැකි බවටද විද්‍යාඥයින් අනාවැකි පළ වී තිබේ.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වය ද එකතු වීම නිසා, ඉදිරි වසරක කාලය (බොහෝ දුරට 2027 වසර) වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් ඇතිවිය හැකි අතර, නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩිවිය හැකි බවද සඳහන් වේ.
NOAA ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සමකාසන්න පැසිෆික් කලාපයට ඉහළින් පවතින සුළං රටාවන්හි ද මේ වනවිට වෙනස්කම් නිරීක්ෂණය වන අතර, එමගින් සාගර උෂ්ණත්වය ඉහළ යාමට වායුගෝලයද ප්‍රතිචාර දක්වමින් සිටින බවට පැහැදිලි සංඥාවක් බවයි.
මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවල අයහපත් කාලගුණික සිදුවීම් වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන අනතුරු අඟවා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ෙවිනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජයදාස රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබෙන බව සිහිපත් කළේය.
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඒ පිටුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කල්ලියක දෘෂ්ටිවාදය පවතින බවට තොරතුරු හෙළිදරව්වී තිබියදීත් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර මහතා ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
අදාළ සිද්ධියට විදේශීය ත්‍රස්ත සංවිධානයක දෘෂ්ටිවාදී මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව්වී තිබියදීත් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට හැකියාවක් තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් නොසැලිකිළිමත්ව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළ බව සඳහන්ය.
2016 වසරේ අප්‍රේල් මස 20 වනදා සිට 2019 වසරේ අප්‍රෙල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97 ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක සඳහන්ව තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි අන්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන පුද්ගලයින් 129 දෙනෙකුගේ ලයිස්තුවක්ද ඉදිරිපත් කර තිබූ බවත් පැවසුවේය.
එහෙත් මෙවැනි අනතුරු ඇඟවීමේ වාර්තා සම්බන්ධයෙන් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ රවි සෙනෙවිරත්න යන අය විසින් නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර ඇත.
ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් හා ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, පිහි ප්‍රහාරයක්, ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබූ බවත් එම ප්‍රහාරයට සහභාගිවීමට නියමිත සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින්ගේ නම්ගම් පවා එම තොරතුරු තුළින් හෙළිදරව් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එහෙත් එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කොට විමර්ශන සිදු කිරීමට වග උත්තරකරුවන් කටයුතු නොකළ බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රහාරවලට සුරේෂ් සලේ සම්බන්ධවී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කොමිසමකින් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණවී නොමැති බවත් පැවසුවේය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් මහත්මියගේ කමිටුව විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
ඉන් අනතුරුව පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ජුලි මස 10 වනදා දක්වා කල්තැබීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (10) දහවල් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා පසුව අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඒ, 2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වෙච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ සිද්ධියක් පිළිබඳ එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි.
එහිදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීම හා දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරු 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ලද පුටු 16,361ක්, නිවාස කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මඟින් රජයට පාඩු කර ඇතැයි පැවසෙයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා, රැදවුම් භාරයේ සිටියදී වධහිංසාවට පත්ව ඇත්දැයි සොයාබැලීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව අද (10) යළි කැඳවිණි.
එහිදී සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ, සම්පූර්ණ නියෝගය පිටු 17කින් සමන්විත බවය.
“පූර්වගාමී මහෙස්ත්‍රාත්තුමා අප්‍රෙල් 22 වැනිදා ලබාදී ඇති නියෝගය 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 9 (ආ) (3) වගන්තියෙන් මහේස්ත්‍රාත්වරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට වන පදනමේ සිට ලබාදී ඇති බව විත්තියේ ලිඛිත දේශනයේ සඳහන් කර තිබෙනවා.
නමුත් කරුණු සලකා බැලීමේදී පෙනී යනවා එම නියෝගය සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට මතයක් සහිතව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයක් නොවන බව.
සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුවුණු පෙබරවාරි 25 වනදා සිට එම නියෝගය නිකුත් කළ අප්‍රේල් 22 වැනිදා දක්වා සැකකරු කෲර අමානුෂික වධහිංසාවට ලක්ව ඇති බවට නිශ්චිත අනාවරණයක් වී නැහැ. මැයි 20 මා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීත් මා ඉදිරියේ කෲර අමානුෂික වධහිංසාවට ලක්වූ බවට කරුණු ඉදිරිපත් කෙරුණේ නැහැ”.
එමෙන්ම පූර්වගාමි මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග ප්‍රකාරව මින් පෙර අධිකරණය කැඳවා ඇති මානසික වෛද්‍ය වාර්තාවක් සම්බන්ධයෙන්ද මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය තුළ කරුණු පැහැදිලි කළේය.
“පූර්වගාමි මහෙස්ත්‍රාත්වරයා සැකකරු පෝෂණවේදියෙකු, අක්ෂි විශේෂඥයෙකුට සහ මානසික විශේෂඥයෙකුට යොමුකරන්න කියලා නියෝගයක් කරලා තියෙනවා. එහිදී අංගොඩ මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ මානසික විශේෂඥ වෛද්‍ය සී.ජී.කේ. ප්‍රනාන්දු නිකුත් කළ වාර්තාවේ මෙම සැකකරු මානසික වධදීමකට ලක්ව ඇති බව සඳහන් වෙනවා.
ඒ වගේම මානසික රෝග කිහිපයක් තිබූ බවත් සඳහන්. එසේම සැකකරුගේ බාහිර තුවාල නිරීක්ෂණය නොවුණු බවත් ඔහු තමන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා අවබෝධ කරගනිමින් නඩු විභාගයකට මුහුණදීමට සුදුසු තත්ත්වයක සිටින බවත් එම වාර්තාවේ සඳහන් වුණා.
නමුත් එම වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නොවන බවත් තවදුරටත් සම්පූර්ණ පරීක්ෂණයක් කළයුතු බවටත් එහි නිර්දේශ කර තිබෙනවා. කොහොම නමුත් මේ විශේෂ වෛද්‍ය වාර්තාවට එම වෛද්‍යවරයා විතරයි අත්සන් කර තිබෙන්නේ. පරීක්ෂා කිරීමට සහභාගි වූ සෙසු වෛද්‍යවරුන් සිව්දෙනා අත්සන් කර නැහැ.
ඒ වගේම ඔවුන් විශේෂඥ වෛද්‍යවරුනුත් නොවෙයි. මෙම වාර්තාව නිකුත් කළ දිනය ලෙස සඳහන් වෙන්නේ අප්‍රේල් 21. නමුත් වාර්තාව කැඳවන ලෙස නියෝගය කර තිබෙන්නෙත් අප්‍රේල් 22″.
ඒ අනුව මෙම සියලු කරුණු සලකා බලා රැඳවුම් භාරයේ සිටියදී සැකකාර සුරේෂ් සලේ වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේය.
“මෙම කරුණු සලකා බැලීමේදී සැකකරු රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට පංච විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට අධිකරණය තීරණය කරනවා.
පැමිණිල්ලේ යෝජනාව වුණේ ඒ පිළිබඳ පරික්ෂා කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත්කරන්න කියලා. නමුත් විත්තිය ඊට විරුද්ධ වුණා. එබැවින් අධිකරණය විසින් ස්වාධීන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත්කරනු ලබනවා”.
ඒ අනුව සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට අධිකරණය පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සහ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතය.
එහි සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස් මහතා පත්කළ අතර සෙසු සාමාජික විශේෂඥ වෛද්‍යවරුන් වන්නේ චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලෙයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධනය.
ඒ අනුව අදාළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට සුරේෂ් සලේ මහතා කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පරික්ෂාවට ලක්කර ඉදිරි නඩු දිනට ප්‍රථම වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළේය.
නඩුව ජුලි මස 01 වනදා යළි කැඳවීමට නියමිතය.
දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට වසර හතර බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම් නියම කළේය.
ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබේ.
නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව හතර ගොනුකර තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිල්ල විසින් ඔප්පු කර තිබෙන බවය.
රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහිද අගතියක් සිදුවන බවත් ආර්ථිකය බංකොලොත් වීමක් කෙරෙහි මෙවැනි ක්‍රියා බලපෑ බවත් නඩු තීන්දුවේ සඳහන් වුණි.
රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා එම ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් විනිසුරුවරයා පැවසුවේය.
මෙම විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303වන වගන්තිය යටතේ ලිහිල්ව කටයුතු කරන ලෙස විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
නමුත් මෙම වරදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයේ දඬුවමක් ලබාදීමට අධිකරණයට සිදුවන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන රැඳවුම් නියෝගය වහාම අවලංගු කරන ලෙසය.
එමෙන්ම සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු පසුගිය මැයි 20 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ බවත් එම නඩු කටයුතු අතරතුර අධිකරණ නියෝග පරිදි සකස් කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව ලැබුණු බවත් එම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමන මගින් තම ස්වාමිපුරුෂයා විසින් රැඳවුම් භාරයේ සිටියදී විඳි ශාරිරිත හා මානසික පීඩාවන් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රකාශ කළ කරුණු සනාථ වී ඇති බවත් ඇය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
රෝහල්ගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවමත් ආහාර හෝ ජලය ලබා නොගන්නා බව ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ අද (08) සුරේෂ් සලේ මහතාගේ සුවදුක් බැලීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
“සර් තාම කන්නේ බොන්නේ මොකුත් නෑ. එයාට අසාධ්‍යයි. වෛද්‍යවරු නම් බලනවා. සේලයින් දෙනවා. සර් කන්නේ බොන්නේ නෑ. මොකුත් කරන්නේ නැහැ. සර්ගේ උපවාසය අත්හරින්නේ නෑ,” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
සුරේෂ් සලේ මහතා මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු සිය උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බව පවුලේ සාමාජිකයන් සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, සලේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට මේ දක්වා විමර්ශන කටයුතු සදහා සාධනීය සහයක් ලබා නොදෙමින් කටයුතු කරන බවයි.
සුරේෂ් සලේ මුල් අවස්ථාවේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනීතිකව චෝදනා කරමින් කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් අතර
එම දෙපාර්තමේන්තුව අද(08) ගොනුකළ වාර්තාවේ සඳහන් වන්නේ, සැලසුම් සහගතව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා විසින් අවස්ථා දෙකකදී සැකකරු පරීක්ෂා කර රුධිරයේ සීනි මට්ටම අඩුවී ඇතැයි තහවුරු කිරීමෙන් පසුව ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි.
සාධනීය, අතිශය සංවේදී කරුණු විමර්ශනයේදී අනාවරණය වෙමින් තිබියදී ඊට බාධා කරමින් හා තවදුරටත් සාක්ෂිකරුවන් කරුණු හෙලිදරව් කිරීම වැළැක්වීමේ අරමුණින් සැකකරු චේතනාන්විතව කටයුතු කරමින් සිටින බවද එහි සඳහන් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, විමර්ශන නිලධාරීන් කෙරෙහි මහජනයා තුළ වෛරී හැඟීමක් හා අප්‍රසාදයක් ඇතිකර මෙම විමර්ශනයට එරෙහිව ජනතාව රැස්කර පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හා විමර්ශන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය කෙරෙහි මහජන විරෝධතාවයක් ඇතිකරවීමට සැළසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි.
එම සැළසුම් සහගත ක්‍රියාදාමය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ගේ මෙහෙයවීම මත සිදුකරනු ලබන බවටත් පැහැදිලිව නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(08) දැනුම් දී තිබේ.
හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑ බවට වූ සිද්ධියට අදාළව කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා අද (7) අදාළ බැංකු පරිශ්‍රය වෙත රැගෙන ආ අතර, එහිදී සොරකම සිදුකළ ආකාරය සම්බන්ධයෙන් පාපොච්ඡාරණයක් සිදුකර ඇති බව වාර්තා වේ.
මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සහකාර බැංකු කළමනාකාරවරයා විවිධ කාන්තාවන්ගෙන් පොලී පදනම මත ලබාගත් මුදල්වල පොලිය පියවීම සඳහා බැංකුවෙන් මුදල් වංචාකර ඇති බවටය.
ඔහු එලෙස ලබාගත් මුදල් පතල් කර්මාන්තය වැනි විවිධ ව්‍යාපාර සඳහා යොදවා ඇති බවද අනාවරණවී තිබේ.
තවද විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ රාජ්‍ය බැංකුවේ ATM යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ මෙම සැකකරු බවය.
ඔහු බැංකුවෙන් නියම කරනලද මුදලට වඩා අඩු මුදලක් ATM යන්ත්‍රවලට ඇතුළත් කර, ඉතිරි මුදල් හොර රහසේ තමන් සන්තකයේ තබාගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
එම බැංකුව දීර්ඝ කාලයකින් භෞතිකව මූල්‍ය විගණනයක් සිදුකර නොමැති වීමෙන් මෙම වංචාව අනාවරණවීමක් සිදුව නොමැත.
මේ අතර අදාළ සහකාර කළමනාකාරවරයාද විවිධ පුද්ගලයන්ට පොලියට මුදල් ලබාදීමද සිදුකර ඇති අතර, ඔහු සමීප සබඳතා පවත්වන නිරූපන ශිල්පිනියන්ද ඇතුළු ළාබාල තරුණියන් කිහිපදෙනෙකුට විශාල වශයෙන් මුදල් වියදම්කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණවී තිබේ.
මෙම රාජ්‍ය බැංකුවේ බාහිර පාර්ශවයක් මුදල් කොල්ලයක් සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලට අනුව කිසිදු අයුරකින් අනාවරණවී නොමැත.
එය සැකකාර සහකාර කළමනාකරු, ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් සැලසුම් සහගතව ගොතන ලද බොරුවක් බවට පොලිසිය සැක පළකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.ඩබ්.සී.ධර්මරත්න මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.