සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්……

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අසාධ්‍ය මට්ටමකට පත්ව ඇති බවය.

ප්‍රශ්නය –  කොහොමද දැන් එතුමගේ සෞඛ්‍ය තත්ත්වය?

“සුරේෂ් දිගින් දිගටම කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. එයා උපවාසය අතඅරින්නේ නැහැ. දිනෙන් දින පිරිහෙනවා සෞඛ්‍ය තත්ත්වය එයාට එන්න එන්න අසාධ්‍ය වෙනවා. කතා කරන්නත් ටිකක් අමාරුයි. එක දිගට ඉඳගෙන ඉන්න බැහැ. එහෙම. මොකද දැන් අර කැනියුලා හින්දා අත් ඔක්කොම ඉදිමිච්ච හින්දා ඒවා ගලවලා දැන් දෙන්නේ එකක් දාලා පොඩ්ඩ පොඩ්ඩ දෙනවා දියර. ඒකෙන් තමයි ඉතින් කොහොමහරි ජීවත් කරවගෙන ඉන්නේ ඩොක්ටර්ස්ලා.”

ප්‍රශ්නය – එතකොට අපි දැක්කා ඊයේ සී. සී. අයි. ඩී. එකේ නිලධාරීන් කැඳවලා තිබුණා. ඔබතුමිය කැඳවලා තිබුණා. මොකක්ද එතකොට වුණේ? මොකක්ද වධ හිංසා කරලා තිබුණද?

“ඔව්. ඊයේ කතා කරලා තිබ්බා. අපි දෙගොල්ලොටම. CID එකෙන් ගිය සැරේ එන්න බැරි උනා. මේ සැරේ තමයි ආවේ. ඉතින්. ප්‍රථම වතාවට ඒගොල්ලෝ පිළිගත්තා සුරේෂ්ට අර කියපු විදියට. සෙල් එකෙන් එළියට අරගෙන, නිරුවත් කරලා. එකක් කරා කියන එක. ඔක්කොමලා ඉස්සරහ. ඉතින් මෙච්චර කල් පිළිගත්තේ නැහැනේ. ඉතින් දැන් කියනවා ඒක කළ බවට. ඒගොල්ලන් පිළිගත්තා.” 

අත්අඩංගුවට ගත් යෝෂිත ඇපත් අරන් එළියට – සම්පූර්ණ නඩු වාර්තාව……

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සහ ඔහු ඇප මත මුදාහැරීමට අදාළ සිදුවීම් මෙලෙසය.

යෝෂිත රාජපක්ෂ මහතා පෙ.ව. 9ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියේය.

ඒ, 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී, බඳවා ගැනීම් සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවැති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලයවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගීවීමට අවස්ථාව සලසා ගැනීම යන චෝදනාව යටතේ සිදුකරන විමර්ශනයට අනුව සිදුකළ කැඳවීමකට අනුවය.

එහිදී පැය 2කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාළ දූෂණ වරදට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ ඔහු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අමා විජේසිංහ මහත්මිය සමග පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ, 2016 ජූලි 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

නිසි සුදුසුකම් සහිත ඉල්ලුම්කරුවන් සිටියදී සුදුසුකම් සපුරා නොමැති මෙම සැකකරු නාවික හමුදා පුහුණුවක් සඳහා එංගලන්තයට සහ යුක්රේනයට යැවීම සහ ඊට අවශ්‍ය කටයුතු සැලසීම සම්බන්ධයෙන් ඇය අධිකරණයට කරුණු අනාවරණ කළේය.

“ස්වාමීනි, 2006 වසරේ ඔක්තෝබර් මස සිවිල් පුරවැසියෙකු වශයෙන් සිටි මේ සැකකරු  එංගලන්තයේ ‘රෝයල් නේවි යං ඔෆිසර්ස්  කෝස්’ නමැති පාඨමාලාවට සහභාගි වීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කරනවා. එම පාඨමාලාවට සහභාගි වීම සඳහා නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් වසර දෙකක පුහුණු කාලය අවසන් කළ දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස තේරී පත්වී තිබිය යුතුයි. 

ඒ වගේම ගණිතය සහ විද්‍යාව විෂයන්වලින් අපොස උසස් පෙළ විභාගය සමත් වී තිබිය යුතුයි. නමුත් මේ සැකකරු උසස් පෙළ විභාගය ලියලා තිබෙන්නේ කලා අංශයෙන්. 

ඒ අනුව මෙම සැකකරුට අදාළ පාඨමාලාවට සහභාගිවීමට හැකිවන පරිදි සුදුසුකම් වෙනස් කරනවා. ඒ අනුව විද්‍යාව, වානිජ හා කලා අංශවල පෙනී සිට විෂයන් දෙකක් සමත්වීම ප්‍රමාණවත් බවටත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සම්මාන සාමාර්ථ ලබා සමත් වී තිබිය යුතු බවටත් සුදුසුකම් වෙනස් කරමින් පුවත්පත් දැන්වීම් පළ කරනවා. 

ඉන් අනතුරුව 2006  වසරේ දෙසැම්බර් මස 14 වැනිදා මෙම සැකකරු නාවික හමුදාවට බඳවාගැනීම සිදුවෙනවා. ඔහු සමග ශිෂ්‍ය භටයින් විසිහය දෙනෙකු බඳවාගැනීම සිදුවෙනවා. 

මේ සැකකරු වෛද්‍ය පරීක්ෂණවලට ඉදිරිපත් වන්නේ දෙසැම්බර් මස 06 වනදා. ඒ කියන්නේ බඳවා ගැනීමට පෙර තමයි මොහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඉන් පසුව 2007 වසරේ ජනවාරි මස පළමුවැනිදා අදාළ පුහුණුවට සහභාගි වීම සඳහා සැකකරු එංගලන්තයට පිටව යනවා. 

මෙවැනි පාඨමාලාවකට සහභාගි විය හැක්කේ නාවික හමුදාවේ විධායක අංශයේ දක්ෂතම ශිෂ්‍යයින් ලෙස දක්ෂතා දැක්වූ අයට පමණයි. 1995 වසරේ සිට 2010 වසර දක්වා  නිලධාරින් පස් දෙනෙකු මේ පාඨමාලාවට යවා තිබෙනවා. ඒවා ශිෂ්‍යත්ව වශයෙන් තමයි යවලා තිබෙන්නේ. 

නමුත් මේ සැකකරු සහභාගි වූ පාඨමාලාව වෙනුවෙන් රුපියල් 6,284,218.61ක මුදලක් රජයෙන් වැය කර තිබෙනවා. මෙම ක්‍රියාව තුළින් රජයට එවැනි මුදලක් පාඩු වී තිබෙනවා. එමගින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදුකර තිබෙනවා. 

මෙම සැකකරු සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එක්ව මෙම කුමන්ත්‍රණය සිදුකර තිබෙන බව සාක්ෂි වලින් පැහැදිලි වෙනවා”. 

ඉන් අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භ වී තිබෙන්නේ මීට වසර දහයකට පමණ පෙර බව සඳහන් කළේය.

“ස්වාමීනී මගේ සේවා දායකයාට එරෙහිව මෙවැනි චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඕනෑම පුද්ගලයෙකුට පාඨමාලාවකට අයදුම් කරන්න පුළුවන්. සුදුසුකම් තිබෙනවා නම් පමණයි තෝරාගන්නේ. ඒ වගේ මගේ සේවාදායකයාත් මේකට අයදුම් කළා. ඔහුව තෝරාගෙන තිබෙනවා. ඒකට ඔහුට කළ හැකි දෙයක් නැහැ. එනිසා ඔහු පිට වරදක් පටවන්න බෑ. ” 

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්.සිල්වා මහතා නියෝග කළේ සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසය.

එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පැමිණිල්ල අගෝස්තු මස 4 වැනිදා යළි කැඳවීමට නියමිතය.

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට…..

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට අලුත් පිටුවක් එකතු කරමින්, ලෝක මලල ක්‍රීඩා සංගමය අද (17) ප්‍රකාශයට පත් කළ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ.

මීට පෙර ඔහු පසුවූයේ මෙම ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේය.

ඊයේ (16) චෙක් ජනරජයේ පැවැති සුප්‍රසිද්ධ ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’මලල ක්‍රීඩා ශූරතාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මව්බිමට අතිදැවැන්ත කීර්තියක් අත්කරදීමට රුමේෂ් සමත් විය.

එම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඔහුගේ ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය 1,333ක් දක්වා ඉහළ ගියේය.

පෙර ශ්‍රේණිගත කිරීම්වලදී රුමේෂ් තරංග පසුවූයේ එවකට දෙවැනි ස්ථානයේ සිටි ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ට (ලකුණු 1,326) වඩා ලකුණු 2ක ඉතා සුළු පරතරයකින් පසුපසිනි.

නමුත් ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමග ඇන්ඩර්සන් පීටර්ස් අභිබවා යමින් දෙවැනි ස්ථානය තමන් සතු කරගැනීමට රුමේෂ්ට හැකිවිය.

මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය තවමත් ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන සිටියි.

පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුවට දින දෙයි….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ජුලි මස 31 වෙනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළහ.

මෙම නඩුව අද (15) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කළේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ තීන්දුව ජූලි මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළහ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ද ඉකුත් සිකුරාදා අවසන් කෙරුණි.

ඒ අනුව පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ තීන්දුව ද ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් සිකුරාදා නියෝග කර තිබුණි.

පරාජයත් සමඟ දඹුල්ලේ දී නොසන්සුන් වූ සූරියවංශි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ ගැටෙයි….

15 හැවිරිදි සුපිරි ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූරියවංශි (Vaibhav Sooryavanshi), අද (15) දඹුල්ලේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක සහ තල්ලු කරගැනීමක් සිදුකර ගත්තේය.

සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම තීරණාත්මක තරගයෙන් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති විය.

සුපිරි පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වූ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ වේගපන්දු යවන ක්‍රීඩක කගුදාස් මතුලන් හමුවේ ඉන්දීය පිලට රැස්කරගත හැකි වූයේ ලකුණු 9ක් පමණි.

එහිදී අවසන් පන්දු තුනට මුහුණ දුන් සූරියවංශිට ලබාගත හැකි වූයේ එක් හතරේ පහරක් ඇතුළුව ලකුණු 6ක් පමණි.

තරගය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරීමට පටන් ගත්තේය.

සූරියවංශි සහ ඔහුගේ සහායක ක්‍රීඩක සූර්යන්ශ් ෂෙඩ්ජ් යළි ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔවුන් දෙසට යම් ප්‍රකාශයක් සිදුකර ඇති බව පැවසේ.

එයින් කෝපයට පත් සූරියවංශි, ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නා වූ මතුලන් දෙසට වේගයෙන් කඩා වැදුණු අතර පසුව ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයේකුව තල්ලු කර දමන ආකාරය වීඩියේ දර්ශන වල පටිගත වී තිබේ.

තත්ත්වය වඩාත් නරක අතට හැරීමට පෙර ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහා මැදිහත් වී ක්‍රීඩකයන්ව දෙපසට කර ගැටුම සමනය කිරීමට පියවර ගත්තේය.

මීට පෙර, තරගය අවසන් වූ අවස්ථාවේදී සුපිරි පන්දුවාරයක් පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉන්දීය නායක තිලක් වර්මා විනිසුරුවන් සමඟ විනාඩි 10ක් පමණ උණුසුම් සාකච්ඡාවක නිරත විය‍.

එහිදීද සූරියවංශි විනිසුරුවන් සමඟ වාද කිරීමට පැමිණි නමුත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු විසින් ඔහුව මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.

මෙම විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට නිල දඬුවම් පනවන්නේද, නැතහොත් අවවාද කර මුදාහරින්නේද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වේ.

එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ අවමයි…..

ගෝලීය වශයෙන් ඇතිවන එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇති වීමේ ඉඩකඩ ඉතා අවම බව දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණි මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරනුයේ පැසිපික් සාගරයේ නිවර්තන කලාපයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් ගෝලීය වශයෙන් ඇතිවන මෙම තත්ත්වය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම එළැඹෙන පෙබරවාරි මාසයෙන් පසුව ඇති විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් මේ වන විට පුරෝකථනය කර ඇති බවය.

ශ්‍රි ලංකාවට මේ වන විට නිරිත දිග මෝසම් වැසි ලැබෙමින් පවතින අතර එය සැප්තැම්බර් දක්වා පවතිනු ඇති බව පැවසූ ඒ මහතා එළැඹෙන ජූලි සහ අගෝස්තු මාස දෙකෙහි විටින් විට වැසි ඇති විය හැකි නමුත් පොදුවේ මෝසම් වර්ෂාව අඩුවන බවද සඳහන් කළේය.

එමෙන්ම දෙවැනි අන්තර් මෝසම් වැසි ඔක්තෝම්බර් – නොවැම්බර් කාලවල ඇති වන බවත් එහිදී තරමක් ලොකු වර්ෂාපතනයක් ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා ඉන් අනතුරුව ඊසාන මෝසම් වැසි ආරම්භ වී එය එළැඹෙන පෙබරවාරි දක්වා පවතිනු ඇති බවද පැවසීය.

ඉන් පසුව පළවෙනි අන්තර් මෝසම් වැසි සමය මාර්තු – අප්‍රේල් කාලසීමාවේදී ආරම්භ වන බැවින් මෙරටට වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ ඊසාන මෝසම් වැසි තුළින් බවද සඳහන් කළේය.

ජූලි – අගෝස්තු යම් වියලි කාලගුණයක් දක්නට ලැබෙන බවත් එල්-නිනෝ බලපෑමක් ඇති වුවවහොත් එය නිරිත දිග මෝසම් වැසිවලට හෝ අතරමැදි නොවැම්බර් මාසවල ලැබෙන වැසිවලට වඩා වැඩි බලපෑමක් ඇති කරනුයේ ඊසාන වැසි තත්ත්වය බව පෙන්වා දුන් ඒ මහතා එළැඹෙන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල උෂ්ණත්වය ඉහළ යාම ඇතිවිය හැකි බව මේ වන විට පුරෝකථනය කර ඇති බවත් පැවසීය.

කෙසේ නමුත් පැසිෆික් සාගරයේ සිදුවන මෙම ගෝලීය කාලගුණික තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති බැවින් ඉන්දියන් සාගරයේ ඇති ඉන්දියානු ද්වි ධ්‍රැවි යාන්‍ත්‍රණය මගින් මෙහි බටහිර ප්‍රදේශයන් හී උණුසුම ඉහළ යාමෙන් දේශගුණික විපර්යාසයක් සිදුවුවද මෙරට රට මැද කඳුකරය ප්‍රදේශයක් පැවතීම සහ ශ්‍රී ලංකාව දූපතක් බැවින් රට මුහුදෙන් වටවීම හේතුවෙන් ජල වාශ්පවල අඩුවීමක් සිදුවිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් මෙරටට දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ අඩු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණි මහතා,

“පැසිෆික් සාගරයේ ඒ සිදුවන ගෝලීය කාලගුණික තත්ත්වය කෙසේ වෙතත් ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන නිසා ඉන්දියන් සාගරයේ තිබෙනවා ඉන්දියානු ද්වි ධ්‍රැවි යාන්ත්‍රණය කියලා එකක්. එකෙදි වෙන්නේ ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශවල උණුසුම වැඩි වෙනවා, උණුසුම වැඩි වෙනකොට මුහුදු ජලය වාශ්ප වෙනවා. මුහුදු ජලය වාශ්ප වෙනකොට ඉහළ යන ප්‍රවාහ ධාරා නිසා ජල වාශ්පවලින් වලාකුළු හැදිලා ලංකාවේ භූ විශමතාවය අනුව රට මැද කඳුකරය තියෙනවා සුළං හමාගෙන ඇවිල්ලා කඳුකරය ආශ්‍රිතව සීතල වෙලා වලාකුළු හැදිලා වහිනවා. ඒ කටයුතු නිසා, ලංකාව දූපතක් නිසාත්, රට මැද කඳුකරයක් තියෙන නිසාත් රට වටේ ලොකු සාගරයක් තියෙන නිසාත් අපිට ජල වාශ්ප හිඟ වීමක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අපිට වර්ෂාව අඩුවෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇති නොවේවි කියලා තමයි අපිට පේන්නේ. දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ දෙසැම්බර් පහුවෙලා ජනවාරි, පෙබරවාරි කියන කාලවලදි. මොන විදිහේ තත්ත්වයක් ආවත් පෙර සූදානම ඉතා වැදගත් ඒනිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, දරුණු එල්-නිනෝ තතත්වයක් ඇති වුණොත් ආහාර හිඟයක් ඇති වීම, අපි බලාපොරොත්තු වෙන අස්වනු අපිට බෝග වගාවෙන් බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා. වී අස්වනු අඩු වෙන්න පුළුවන්. යම් හෙයකින් අපිට මෙහි බලපෑමක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා සූදානම් වීමත් වැදගත්”

ඩුබායිවලින් පිටුවහල් කළ ප්‍රබල පාතාල නායකයන් දෙදෙනාගේ තොරතුරු රැසක් හෙළිවෙයි….

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් මෙරටට පිටුවහල් කළ අපරාධ කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර ගැන තොරතුරු රැසක් මේ වන විට පොලීසිය විසින් අනාවරණය කර තිබේ.

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන තිබුණේ එරට අබුඩාබි නුවර රැඳීසිටියදීය.

ඒ මැදපෙරදිග යුද්ධයට අදාළව ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යට සිදුකළ පහරදීම් වලට අදාළ දර්ශන සහ ඡායාරූප සිය ජංගම දුරකථන තුළ තබාගෙන සිටීම සම්බන්ධයෙනි.

දින කිහිපයක් එරට බන්ධනාගාරයක රඳවා තබා එරටින් පිටුවහල් කළ සැකකරුවන් දෙදෙනා රැගත් එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ (13) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.

එහිදී සැකකරුවන් දෙදෙනා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතරින් 40 හැවිරිදි බ්ලූමැන්ඩ්ල් සංඛ මෙරට තුළ සිදුවූ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් රැසකට අදාළව පොලීසියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකි.

ඔහු 2015 වසරේ කොළඹදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, 2016 වසරේ මාළිගාවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබලදීම, 2018 වසරේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම ඇතුළු අපරාධ සිදුවීම් රැසක සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

ඔහු සම්බන්ධයෙන් 2022 වසරේ සිට අපරාධ ක්‍රියාකාරකම් වාර්තා වී නොතිබුණද, ඊට පෙර සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධවීමෙන් පසු රටින් පලා ගොස් සිට ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවටගත් බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගෙන් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ කාර්යංශය වෙත රැගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරු වන චතුර දිල්රුක්ෂාන් හෙවත් මෝදර චතුර සිය සහෝදරයා වන මෝදර නිපුනගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙහෙයවූ පුද්ගලයා බවට හඳුනාගෙන ඇත.

අබුඩාබි නුවර පැවති සාදයක් අතරතුර මොහු අත්අඩංගුවටගෙන ඇති බව වාර්තා වේ.

ඔහු 2019 වසරේ ගංජා සන්තකයේ තබා ගැනීමෙ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති අතර  2020 වසරේ මෝදර පොලීසියට වාර්තා වූ පොල්ලකින් හා උල් ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම පිළිබඳ නඩුවක සැකකරුවෙකු ද වේ.

එසේම 2022 වසරේ නොවැම්බර් මස කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරේන්තුවක් ද මෝදර නිපුන් නැමැත්තාට එරෙහිව නිකුත් කර තිබේ.

ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදෙනු දී ඇත.

අනතුරුව මෝදර චතුර නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙනවිත් තිබේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ සිදුකිරීම නියමිතය.

මේ අතර මෝදර චතුර නැමැත්තා අත්අඩංගුවට පත්වීමේ පුවත සැලවීමත් සමග මෝදර විදීවල රතිඤ්ඤා දැල්වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්….

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට (Timetable System) පමණක් මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවය.

සිදුව ඇති හානිය නිවැරදි කර, වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය නිල වෙබ් අඩවියේ එම කොටස පමණක් තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

ඩෙංගු මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට…..

වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ ඩෙංගු මරණ 23ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසන්නේ කුඩා ළමුන් සිව් දෙනෙකු ද ඒ අතර සිටින බවය.

එමෙන්ම ගත වූ මාස 6ක කාලය තුළ ඩෙංගු රෝගීන් 40,443 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 50ක්ම බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් සදහන් කළාය.

කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දිස්ත්‍රික්ක ලෙස හදුනා ගෙන ඇති බව ද සඳහන් වේ.

වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සදහන් කර සිටියේ දින දෙකකට වැඩි තද උණ, හිසරදය, වමනය හා ශරීරයේ වේදනාව යන රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ජුනි මස 15 වන දින සිට 21 වන දින ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර තිබේ.

ඒ, එම කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීය.

රට පුරා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25.8ක්ම කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තා වී ඇත.

ඒ හේතුවෙන් එම කලාපය ‘අධි අවදානම්’ දිස්ත්‍රික්කයක් ලෙස නම් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර ඇති බව සඳහන්ය.

රෝග ව්‍යාප්තිය ඉහළ යාමට, වෛරසයේ ස්වභාවය මෙන්ම, ඊට එරෙහිව ජනතාව තුළ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමාණවත් පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබීම බලපා ඇති බවද එම කමිටුවේදී හෙළි වී ඇත.

විශේෂයෙන්ම, පසුගිය කාලයේ පැවැති අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය නැවත වරක් උග්‍රවී ඇති බව සෞඛ්‍ය අංශ විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

මෙවර ඩෙංගු ව්‍යාප්තිය, නිවාසවලට වඩා වැඩි වශයෙන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් සහ ආගමික ස්ථාන වැනි පොදු ස්ථානවලින් වාර්තා වන බව විශේෂයෙන් හඳුනාගෙන තිබේ.

කාර්යාල සහ පොදු ස්ථානවල ඉවත් කරන ඝන අපද්‍රව්‍ය සහ කානු පද්ධති හරහා මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව නිරීක්ෂණවලදී සොයාගෙන ඇත.

ඒ අනුව ඩෙංගු මර්දන සතිය තුළ රාජ්‍ය, පෞද්ගලික ආයතන, පාසල් සහ නිවාස ඇතුළු පරිසරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අධි අවදානම් නිවාස පරීක්ෂාවට ලක් කිරීම සහ දැනුවත් කිරීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, අත්පත්‍රිකා බෙදාහැරීම, බැනර් ප්‍රදර්ශනය සහ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා 10 ශ්‍රේණියට පහළ සිසුන් යොදා නොගැනීම සහ ශිෂ්‍යයෙකුට රෝගය වැළඳී ඇත්නම් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම්දීම සිදු කරන ලෙස ද මෙහිදී සෞඛ්‍ය අංශ පාසල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පූජිත්ගේ නඩුවේ තීන්දුව ජූලි 31වනදා…..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ තීන්දුව ජුලි මස 31වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

එය අද (12) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශවකරුවන් විසින් මේ වනවිට ඉදිරිපත් කර අවසන් කර තිබේ.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ තීන්දුව ජූලි මස 31වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

මේ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ද අද (12) කැඳවූ අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා දේශන ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහතා දේශන ඉදිරිපත් කළ අතර ඔහුගේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන සඳුදා (15) දක්වා කල් තැබීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.