ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි…..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියේ සඳහන් අනිවාර්ය විධිවිධානවලට අනුකූලව අධිකරණ බලය අයැදීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති අංක SC/SD/29/2025 දරන පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බවත් කථානායකවරයා විසින් වැඩිදුරටත් නිවේදනය කළේය.

ඇමති වටගලට එරෙහිව පොදු ජන පෙරමුණ අධිකරණයට යන ලකුණු….

අයිස් මත්‍ද්‍රව්‍ය සිද්ධියට චෝදනා එල්ල වී සිටින සම්පත් මනම්පේරි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමඟ ලබා ගත් ඡායාරූප මාධ්‍ය ඉදිරියේ පෙන්වමින් විවිධ ප්‍රකාශ සිදු කරමින් ඔවුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින 2 තුල නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු මොහොතකට පෙර මේ බව සඳහන් කළේ හිරු TV නාලිකාවේ දැන් විකාශය වෙමින් ඇති සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමින්.

බාහිර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරනවා – ඇමති විජිත ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී කියයි…..

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) පස්වරුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතන ලදී.

එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර සිටියේ, එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංගණයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

තවද, මෙම සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ විය.

සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදී නොමැති බවට සඳහන් කර ඇත.

අද සිට ඔක්තෝබර් 8 වනදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එරටට ගොස් සිටියි.

සැසිවාරය අතරතුර ඒ ඒ රටවල, තරුණයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආදි මාතෘකා යටතේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එසේම මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සුඩානය‍, පලස්තීනය, සිරියාව ආදි රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීමට නියමිතය.

මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවය.

එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීමටද මෙමගින් නිර්දේශ කර තිබේ.

කෙසේවෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබුණි.

එමගින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවය.

ඒ යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවත්, දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවත් එමගින් පෙන්වා දී ඇත.

සංචාරය අතරතුර විජිත හේරත් අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

නිමල් ලාන්සාට ඇප…..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැර තිබේ.

2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ඒ අනුව අද (07) දිනයේදී මීගමුව මහාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි…

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුගේ සමන්විත ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගන්නා බවය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09ක් ඉදිරිපත් කර තිබුණි.

ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට….

ඇල්ල වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථ රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂාව සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රුධිර සාම්පල අද දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රීයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලැබීය.

අනතුරින් බස් රථයේ රියදුරු ද මියගිය අතර ඔහු අනතුර සිදුවන අවස්ථාවේ යම් මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙසේ රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් 12 දෙනෙකු තංගල්ල නගර සභාවේ සේවකයින් වන අතර ඔවුන්ගේ දේහයන් මේවන විට සිය නිවෙස් වෙත භාර දී ඇති බවත් අවසන් කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිත බවත් වාර්තා වේ.

මේ අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් 11 දෙනෙකු තවදුරටත් බදුල්ල මහා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදින්….

ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවය.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදි බස් රථයක් ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක පිටුපස ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටද කඩාගෙන අඩි 1000ක් පමණ පහළ ප්‍රපාතයට පෙරළී ගියේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදිය.

මෙලෙස අනතුරට ලක් වුයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 32 දෙනෙකු රැගෙන විනෝද චාරිකාවක ගිය බස් රථයකි.

අනතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වූ අතර බස් රථයේ සිටි 17 දෙනෙකු තුවාල සිදු විය.

අනතුරට ලක්වූ පිරිස බේරා ගැනීමට ඉදිරිපත්වූ දෙනෙකුද මෙහිදී තුවාල ලබා තිබුණි.

තුවාල ලැබූ පිරිසෙන් 13 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් අතර අනතුරට ලක්වූ පුද්ගලයින් බේරා ගැනීමට පළමුව ඉදිරිපත්වූ යුධ හමුදා විශේෂ බලකායේ නිලධාරියාද සිටී.

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට ඇමති විජිත දිවයිනෙන් පිටත්ව යයි….

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරු 06.45ට පමණ ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

ඒ හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වන සැසියට සහභාගි වීම සඳහා ය.

එහිදී අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත්  නියමිතය.

මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමඟ ජිනීවා නුවර දී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk හා අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද මෙහිදී පැවැත්වීමට නියමිතව ඇත.

Volker Turk මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව සහ ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරකින් පසුව පැවැත්වෙන මෙම සමුළුවේ දී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමට හැකි වේ.

මෙවර මානව හිමිකම් සැසියට අමාත්‍ය විජිත හේරත්ට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගි වේ.

ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02ක්….

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කර සිටියේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි…..

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (05) සිදුකළ මෙහෙයුමකදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබීය.

මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වනපරිදි පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ,

“අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් වී ඇත. අප පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන්ට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වනපරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.”

“එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාළ පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.”

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ.

පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය.

02