ජාතික මීලාද් – උන් – නබි සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්…….

ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී පැවැත්විණි.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉස්ලාම් ආගමික නායක මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබු අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ජනතාවගේ  සහයෝගය සහ දායකත්වය ඊට හිමි වීම විශේෂත්වයකි.

2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර  හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් සම්පාදනය කෙරණු “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසය සහ වර්ධනය” ග්‍රන්ථයද පිළිගැන්විණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල ඉගෙනුම ලබන ජාති භේදයකින් තොරව සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා පවත්වන ලද චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.

2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය සඳහා සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වුණු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් ජුම්මා පල්ලියේ දායක සභාව විසින්ද ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.

මෙම උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අදාළ සාකච්ඡා මේ වන විට සිදු කරන බවය.

ඒ අනුව මෙරට ඉස්ලාම් බැතිමතුන්ට හජ් වන්දනාව සඳහා වැය කිරීමට සිදුව ඇති මුදල අඩු කර ගැනීමට සහ වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හැකිවනු ඇති බව ද එහිදී අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කිරීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

මෙහිදි අදහස් දැක්වූ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆ්ෆර් මහතා සඳහන් කළේ සාමය, එකමුතුකම සහ එකිනෙකාට ගරු කිරීම නබි නායකතුමාගේ මගපෙන්වීම බවයි.

සියලු ජනතාව අතර සාමය සහ සංහිදියාව ගොඩනැගුණු ලස්සන රටක් වත්මන් රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා 2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීමට ප්‍රදේශවාසින්ගෙන් විශාල දායකත්වයක් ලැබුණු බව සිහිපත් කළ අතර මෙම එකමුතුභාවය ලස්සන රටක් පිළිබඳ විශ්වාසය තහවුරු කරන බවද සඳහන් කළේය.

ඇල්ල බස් අනතුරට හේතුව ? – තුවාල ලැබූ අයෙකුගෙන් හෙළිදරව්වක්….

ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු බව පොලීසිය පවසයි.

රියදුරු සහ රිය සහායක සමග බස් රථයේ 34 දෙනෙකු ගමන් කර තිබුණි.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 සහ 24 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී 9ට පමණ අනතුර සිදුවී ඇත.

අදාළ බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකද ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේද ගැටී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

කෙසේවෙතත් අනතුරින් පසුව ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, ආරක්ෂක අංශ මෙන්ම මුදාගැනීමේ කණ්ඩායම් තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මේ වනවිට පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මොවුන් සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා තහවුරු කළේය.

මෘතශරීර මේ වනවිට දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල තැන්පත් කර තිබේ.

මේ අතර බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් අනතුර සිදුවීමට පෙර බස් රථයේ රියදුරු විසින් තිරිංගවල යම්කිසි දෝෂයක් පවතින බවට ප්‍රකාශ කර ඇති බවට අනතුරින් දිවි බේරාගත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

“ඇල්ල හරියේ වංගුවක් ගාවදී කිව්වා බ්රේක් නැහැ කියලා. මම බොනට් එක උඩ වාඩිවෙලා කතා කර කර හිටියා. ඩ්‍රයිවර් එහෙම කිව්ව එකට කොන්දොස්තර හිනා වුණා. එහා පැත්තේ ආසනයේ එක්කෙනෙක් හිටියා. එයත් හිනා වුණා…බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුවේදී තමයි කිව්වේ ඇත්තම තමයි බ්රේක් නැහැ කියලා. එකපාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තටම බ්රේක් නැහැ කියලා. එතනදි වාහනයක් ආවා..ඒකේ වැදිලා තමයි බස් එක පල්ලමට ගියේ. මම නම් ඒ වේලාවේ හිතුවා ඉවරයි කියලා.”

“බස් එක පහළට පෙරළිලා පොඩි දරුවෙක් අඬන සද්දයට තමයි මම නැඟිට්ටේ. ඊට පස්සේ ඒ ළමයවත් අරගෙන මම උඩට එන්න හැදුවා. පස්සේ කැහැගැහුවා..ඊට පස්සේ තමයි කට්ටිය ආවේ.”

බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගතකර තිබුණි.

මෙම බස් රථ අනතුරින් පුද්ගලයින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර මියගිය අය අතරට තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා සහ එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද අයත් ය.

බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය.

මේ අතර මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ අනතුර සිදුවූ ස්ථානයට බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ඇතුළු දෙදෙනෙකු පරීක්ෂණ සඳහා ගොස් ඇති බවය.

ඔවුන් විසින් මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මූලික වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි…..

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.

බස්රථය කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති අතර, එය මීටර 200ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.

ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇත.

ඔවුන් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා නොවේ.

රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් අත්හිටුවීමේ නියෝගයක්….

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයක් තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අද (4) අතුරුතහනම් නියෝගයක් නිකුත් කළේය.

2023 වසරේ දී බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

ඒ අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදෙනු ලැබීය.

මහින්දානන්දට නලින්ට එරෙහි නඩුව කල් යයි…..

පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මේ වනවිට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (04) දින නියම කළේය.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී සිරදඬුවම් නියමවී බන්ධනාගාර ගතවී සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් විත්තිකරු අසනීපයෙන් පසුවන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.

විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කටයුත්ත මාධ්‍ය හරහා ප්‍රචාරය වනවිට විත්තිකරුගේ පවුලේ අය සහ හිතවතුන් අපහසුතාවට සහ පීඩාවට පත්වීමට හැකියාව තිබෙන නිසා නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ පසු පමණක් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී විනිසුරුවරයා පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු විභාගය පැවැත්වෙන අතරතුරදී ව්‍යතිරේක අවස්ථාවකදී හැර අන් සෑම අවස්ථාවකදීම විත්තිකරුවන් අධිකරණය ඉදිරිපත් කළ යුතු බවය.

නිසි පරිදි නඩුව පවත්වාගෙන යාමට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් මෙහිදී විනිසුරුවරයා අවධාරණය කළේය.

ඒ අනුව විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා සෑම නඩු දිනයකදීම විත්තිකරු අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරයාට නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

වියත්පුර නිවාස ලබාදීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් සහන ඉවතට……

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේ දී ලබාදී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පසුගිය 2022 මැයි මස 9 වන දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද මෙම වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබාදීමට 2022 ජූලි 4 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබුණි.

ඉන් අනතුරුව එම නිවාස සහනදායි ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන ලෙස අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව රු මි 15.5ක අවම වටිනාකමකට සහ රු මි 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රු මි 13.34ක් ලෙස සහ උපරිම වටිනාකම රු මි 18.21ක් ලෙස අඩුකර සහනදායි ක්‍රමවේදයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමටත්, විකුණුම් මිලෙන් 25%ක මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොලී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අයකර ගැනීමටත් 2024 ජූලි 15 වන දා කැබිනට් අනුමැතිය හිමිවුණි.

එම ක්‍රමවේදය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට 2024.12.31 දින වනවිට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබේ.

මෙම සහනදායි ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රු මි 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති අතර, දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

ඒ නිසාවෙන් අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටත් නාගරික සංවර්ධන, ඉදිරිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කර කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය…..

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටු වීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.

ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත්ව වසා දැමීමට අනුමැතිය හිමිව තිබේ.

ප්‍රකාශයක් ලබාදෙන්න ආ රාජිත යළි බන්ධනාගාරයට….

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්….

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.

ඉකුත් 2017 වසරේ අප්‍රෙල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවය.

රාජිතව අල්ලස් කොමිසමට රැගෙන එයි….

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.