හිටපු ජනපති මහින්දගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්…..

හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමා කාල්ටන් නිවසට පැමිණි මොහොතේ සිට මේ දක්වා තමා වෙත පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහා සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාවය පිරිනමන බවය.

– උපුටාගැනීම –

මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්මවයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ. 

හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. 

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක. 

කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි. 

ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි.

– උපුටාගැනීම අවසන් –

නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්….

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිර්මාණය කළ හා සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශවයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවය.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදීගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණි.

අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් බවය.

එම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර පක්ෂය ද මහජනතාව ද තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබමල් රේණුවකින් හානියක් සිදුවන කටයුත්තක් තමා විසින් සිදුකර නොමැති බවද ඔහු පවසයි.

නීතීඥවරයෙකු ලෙස ද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තමා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටින අතර, එම නිදහස දුෂ්ඨ ලෙස අවභාවිතා කිරීම, එය දිනාගැනීමට අනේකවිධ කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයක් බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙයි.

අදාළ ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් හඳුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම් බව දැනුම්දෙයි….

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.

එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව කල්යයි…..

අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශවයට විවෘත අධිකරණයේදී භාර දෙනු ලැබීය.

තවදුරටත් ලේඛන අවශ්‍ය නම් ඒවා අද දින සිට සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විසින් විත්ති පාර්ශවයට නියම කර ඇත.

ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝබර් 01 වනදා කැඳවීමට දින නියම කෙරිණි.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය , සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය ඇරඹෙයි

Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

“පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” උදා කර දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව, ‘Clean Sri Lanka’ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

වසර 60ක කාලය තුළ මෙම පර්යන්තය සම්පූර්ණයෙන් වසා දමා සියලු පහසුකම් සහිත නවීන සහ ආකර්ෂණීය බස් නැවතුම්පොළක් ලෙස පුර්ණ සංවර්ධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික විද්වත් සංසදය ඇතුළු සංවිධානද ස්වේඡාවෙන්ම මේ සඳහා එක්ව සිටී.

2026 වසරේ අප්‍රේල් මාසයේදී, සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමටද නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ පොදු ප්‍රවාහනය ශක්තිමත් නොකර, රටක් දියුණු කළ නොහැකි බවය.

පොදු ප්‍රවාහනය රටක ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සුවපහසු, කාර්යක්ෂම සහ අඩු පිරිවැයකින් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබා දීම තුළින් මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම වේගවත් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සමරු ඵලකය නිරාවරණය කර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවද නිරත විය.

නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රාජ්‍ය නිලධාරිහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහු, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීහු සහ වෘත්තීය සංගම්,වෙළෙඳ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් රසායන ද්‍රව්‍ය ඇති බව තහවුරු වෙයි…..

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබේ.

ඒ බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී අදාළ අනාවරණය සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයාගත්තේය.

ඒ කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු අනුවය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සසහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මෙම කරුණු අනාවරණය කරගෙන තිබුණි.

අනතුරුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණි.

ඒ අනුව අදාළ සාම්පල සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගිය සිකුරාදා පොලීසියට භාරදී ඇති බව වාර්තා වෙයි.

කෙහෙළියගේ පුත් රමිත් මාස 21කට කෝටි 27ක වත්කම් උපයලා…..

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතත්, උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිචෝදනා කර ඇත.

එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී රමිත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබුණි.

එම ධුරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත.

ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී තිබේ.

අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇත්තේ ඒ අනුවය.

තවද එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස දෙකක් ඇත.

එමෙන්ම රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් discovery jeep රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.

එසේම විත්තිකරුගේ හා බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයිද අල්ලස් කොමිසම අනාවරණ කරගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය.

ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.

ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි….

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.

ඒ,අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.

හිටපු මන්ත්‍රී රාජිතට රාජිතට ඇප හිමිවෙයි….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.