රජරට රැජින දුම්රියේ ගින්නක්…

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන තිබුණි.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක් පිටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපියට ඉදිරි පියවර ගන්නැයි පොලිස්පති දැනුම්දීලා…

තමාට ආරක්ෂාව සලසන ලෙස වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 6 වනදා ලිපියක් යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි.

එම ලිපියට අදාළව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 12 වනදා යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිපිය, මාතර – හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පසුව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හා මිදිගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබේ.

පොලිසිය සඳහන් කළේ අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සොයාබලා ලසන්ත වික්‍රමසේකරට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන් බවය.

මේ අතර වැලිගම සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් පවතින බව ද පොලිසිය පවසයි.

වෙඩික්කරු බොහෝදුරට ආරක්ෂක අංශයකින් පලාගිය පුද්ගලයෙක් බවට සැකකරන බව පොලීසිය පැවසුවේය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා ප්‍රාදේශීය සභාව තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

මේ වන විට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර ඇත.

මේ අතර ඝාතනයට අදාළ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් දෙකක් සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.

වැලිගම සභාපති ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය…..

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩිතැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

ඔහු බොහෝ දුරට ආරක්ෂක අංශයකින් පලාගිය අයෙකු බවට සැක කරන බවද පොලීසිය පැවසීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා (22) ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කළේය.

මේ වනවිට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර තිබේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් 2ක් CCTV කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් දුරකථන දත්ත ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක බවය.

රජයේ නිලධාරීන්ට බලපෑම් කළ කළමණාකරුවෙකු අත්අඩංගුවට අල්ලස් දැලේ….

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරිමට බලපෑම් කිරීමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් ද සකස් කරමින් මෙසේ රජයේ නිලධාරීන්ගේ රාජකාරී සඳහා බාධා කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවැනි ආකාරයට ව්‍යාජ නිල හැඳුනුම්පත් ඉදිරිපත් කර හෝ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව කොමිෂන් සභාව වෙත (1954) දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටී.

වැලිගම ඝාතකයින් ගැන සාර්ථක තොරතුරක්….

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අද (23)  පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පොලිස් කණ්ඩායම් 4ක් යෙදෙව්වා. මේ වනවිට තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබාදීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි කනගාටු වෙනවා එතුමා ඝාතනයට ලක්වීම ගැන. මම ඊයෙත් කිව්වා මේක පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අපිට අදාළ නෑ. හැම ජීවිතයක්ම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා.”

ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණි.

එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්ය.

මේ අතර  බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන්ගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපල කරයි.

තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්ය.

වැලිගම සභාපති ඝාතනය පිටුපස පාතාල ක්‍රියාකාරකම් ?

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යළි කතා බහක් මතුව තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අද (22) උදෑසන 10.20ට පමණ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඔහුගේ කාමරය තුළදී ඝාතනයට ලක් විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලිපියක් අත්සන් කරගැනීමට යන මුවාවෙන් කාමරය තුළට ගොස් වෙඩි තබා පලාගොස් තිබුණි.

එහිදී බරපතළ තුවාල තැබු සභාපතිවරයා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකය තුළදී ජීවිතක්ෂයට පත්විය.

මෙම ඝාතනයත් සමග සමාජය තුළ යළිත් වරක් පාතාල කල්ලි අතර ඝාතනයන් සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ මොහු ‘ශන්ෂයින් සුද්දා’ නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව තිබීමය.

මොහුට විරුද්ධව අධිකරණය තුළ නඩු 06ක් පවතින අතර මොහු අත්හිටවූ සිරදඬුවම් මත සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම ලසන්ත වික්‍රමසේකර මහතා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන මේවන විට බන්ධනාගාර ගතව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවට ද අනාවරණය වී ඇත.

හරක් කටාගේ කල්ලියේ ප්‍රධානීන් වන ‘මිදිගම චූටි’ හා මිදිගම රුවන් සමග ද ඔහු සමීප ඇසුරක් පවත්වා ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසු කලෙක මිදිගම රුවන් එම කණ්ඩායමෙන් වෙන් වී ඇති අතර අනතුරුව ඔහුගෙන් වික්‍රමසේකර මහතාට මරණ තර්ජන එල්ලවී ඇති බව පොලීසිය පැවසීය.

බන්ධනාගාරගතව සිටින මිදිගම රුවන් එහි සිට ෆේස්බුක්හි පෝස්ටුවක් පළකළ තිබුණි.

”ගරු සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එකගොඩේ හිටිය වග. බොරු කියලා නාට්ටි දාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයාගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනික උඹට මම ගහන්න ඉන්නවා කියකියා එක එකාට කියන්න එපා. මම ප්‍රතිපත්තියක් වශයෙන් හරක් මරන්නේ නෑ.” යනුවෙන් එහි සටහන් කර තිබිණි.

එලෙස එල්ල වූ තර්ජන හමුවේ ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවය.

“මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මා හට විශ්වාසයක් පවතින බව සැළකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ලකර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට, විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැළකර සිටිමි. සමාජ මාධ්‍යයන් ඔස්සේ මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නැමැති පුද්ගලයා විසින් මුහුණුපොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරයක් මාහට දැනගැනීමට හැකියාව ලැබුණා. මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට මා හට දැනෙන බැවින්ද, ඒ බවට දැන් දැන් සිදුවන තර්ජන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින්ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමර්ගයෙක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.”

කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය පිළිබඳව එම වකවානුවේදී තර්ජනයක් එල්ල වී නොතිබූ බව පොලීසිය සඳහන් කළේය.

නමුත් සභාපතිවරයා විවිධ ස්ථානවල සැඟවී සිටිමින් සිට ඇති අතර සභාවාරයන් සඳහා පමණක් වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ සභික නීතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට ඉකුත් ජූලි මස 16 වනදා වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේද ලසන්න වික්‍රමසේකර මහතාටය.

එයද මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් සිදුකර එහි චෝදනා ඔහු වෙත එල්ලකීරීමට උත්සාහ දරා ඇති බව පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත.

ඒ අනුව පොලීසිය සැක පළකරන්නේ ලසන්න වික්‍රමසේකර මහතාව මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් ඝාතනය කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ කණ්ඩායම් 04ක් විසින්  සිදු කරනු ලබයි.

මේ අතර ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද ජයග්‍රහණය කළ අතර ඔහු එහි සභාපති ධූරයට පත්වූයේ ඒ සඳහා පාර්ශ්ව දෙකක් අතර පැවති මතභේදාත්මක තත්ත්වයකින් පසුව වීමද විශේෂත්වයකි.

පද්මේගේ දුරකථනයක තිබූ දෙයක් ගැන CIDය පියුමිගෙන් ප්‍රශ්න කරයි…..

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

එම ඡායාරූපයේ පද්මේ සමග පියුමි හංසමාලි ඇතුළු මෙරට තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වේ.

එමෙන්ම පද්මේ පියුමි හංසමාලි සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක් ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති බව පැවසේ.

එම ඡායාරූපයේ සිටින සෙසු රංගන ශිල්පිනියන් ද ඉදිරියේදී ගෙන්වා ප්‍රකාශ ලබාගන්නා බව පොලීසිය පැවසුවේය.

මාරක බස් අනතුරක් – පුද්ගලයෙක් මරුට – 10ක් රෝහලට….

මන්නාරම – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීර් 35 කණුව සහ කිලෝමීටර් 36 කණුව අතර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (22) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

කොළඹ දෙස සිට මන්නාරම දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනෙහි තිබූ ගසක ගැටී මෙම අනතුරක් සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ, ආසිකුලම්, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මන්නාරම් හා වව්නියාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

මෘත ශරීරය සෙට්ටිකුලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

යළිත් හිස ඔසවන ඩෙංගු – මරණ 22ක් දක්වා ඉහළට……

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ ගොස් ඇති බවය.

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,392 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 22ක් සිදු ව තිබේ.

පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සදහන් කළේය.

කුලී පදනම මත නිවසක් ලබා ගනිමින් කුෂ් වගා කළ විදෙස් ජාතිකයෙකු අල්ලයි…..

අක්මීමන ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක කුෂ් වගාකළ බෙලරූස් ජාතිකයෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ නිවසේ කාමර දෙකක් තුළ ඔහු සූක්ෂ්ම ලෙස මෙම කුෂ් වගාව සිදු කර ඇති බවය.

මෙරටට පැමිණෙන විදේශිකයින්ට අලෙවි කිරීම සඳහා ඔහු ඒවා වගා කර ඇති බව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අදාළ නිවස කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට අයත් නිවසක් වන අතර සැකකරු විසින් අදාළ නිවස කුලී පදනම මත ලබා ගෙන ඇති අතර ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ එකහමාරක කුලී මුදලක්ද ගෙවා ඇති බවත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් සිදුකරනු ලබයි.