උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ මෙහෙයුම්….

උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක අනුර තිලකසිරි මහතා පැවසුවේ මේ සඳහා නිලධාරීන් 2,000ක් පමණ සහභාගී වී ඇතැයිද එම නිලධාරීන් ප්‍රාදේශීය සහ නගර සභා මට්ටමින් කටයුතු කරනු ඇති බවත්ය.

ඒ අනුව ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීම්, නඩු පැවරීම් කටයුතු, නිවේදන ලබා දීම මෙන්ම වෙළෙඳුන් දැනුවත් කිරීම් කටයුතුද සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

උත්සව සමයට අදාළව සකස් කළ ආහාර රස කැවිළි, කේක්, බිස්කට් වර්ග වැනි දෑ සම්බන්ධව විශේෂ අවධානය යොමු වනු ඇති බවත් පැවසූ ඒ මහතා මෙම ආහාරවල ලේබල් සම්බන්ධව මහජනතාවට යම් කිසි ගැටලුවක් පවතින්නේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය බලතල භාවිත කරන බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ එහිදී යම් කිසි වෙළෙන්දෙකුට අදාළව ආහාර පනත යටතේ යම් කිසි ගැටලුවක් පවතී නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීම, සිර දඬුවම් ලබා දීම වැනි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවය.

මේ හේතුවෙන් වෙළෙඳුන් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

කැනඩා සිහින පෙන්වා කෝටි 03ක් වංචා කළ තිදෙනෙකු දැලේ….

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැනඩාවේ ඇති ආයතනයට සම්බන්ධයක් ඇති බව පවසමින් මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචා කර ඇති අතර, ඒ පිළිබඳව කාර්යාංශයට පැමිණිලි 9 ක් ලැබී තිබිණි.

මෙම වංචාවට සම්බන්ධ එක් සැකකරුවෙකු පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් අනෙක් පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ අනෙක් සැකකරුවන් දෙදෙනා අප්‍රේල් මස 08 හා 09 යන දිනයන්හීදි විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන් දෙදෙනා ඊයේ (09) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

1985 අංක 21 දරණ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් අය කිරීම නීති විරෝධි වන අතර, ඒ සඳහා කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට පමණක් අවසර හිමිවේ.

එබැවින් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් නොවන වෙනත් බාහිර පුද්ගලයින්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

එසේම විදේශ රැකියාවක් ලබාදීමට යම් අයෙකුට මුදල් ලබාදීමට පෙර ඒ පිළිබඳව 1989 අංකය ඇමතීම මගින් කාර්යාංශයෙන් තොරතුරු විමසා බලන ලෙස කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.

මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් එන ලකුණු….

මගී ප්‍රවාහන බලපත්‍ර ජනතාවට අයත් බැවින් ඒ සඳහා බලපත්‍ර කාල සීමාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන  අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය 08 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.

එහිදී 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ අංක 2471/68 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද 2026 ජනවාරි 17 දිනැති නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ යම් තැනැත්තෙකු වෙත ප්‍රදානය කරනු ලැබූ මගී සේවා අවසර පත්‍රයක්, වෙනත් යම් තැනැත්තෙකුට පැවරිය නොහැකි වූ අතර මේ නිසා බස්රථ හිමියන්ට මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට විවිධ කළමනාකරණ ගැටලුවලට මුහුණදීමට සිදුවිය.

මීට විසඳුමක් ලෙස 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත මගින් ඉහත විධිවිධාන සංශෝධනය කළ අතර ඒ අනුව මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.

එම නෛතික විධිවිධාන යටතේ මගීසේවා අවසර පත්‍රයක් පැවරීම සඳහා අදාළ විය යුතු නීතිමය නිර්ණායක ඇතුළත් කරමින් 2026 ජනවාරි 17 දිනැති, අංක 2471/68 දරන  අතිවිශේෂ ගැසට්පත්‍රයේ නියෝග ප්‍රකාශයට පත් කර තිබූ අතර කරුණු සළකා බැලූ කාරක සභාව විසින් මෙම නියෝග අනුමත කරන ලදී.

පවතින ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව අදහස් පළ කළ කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගැනීමට කටයුතු කර තිබියදීත් ඇතැමුන් බස් වර්ජනයක් දියත් කරමින් ජනතාව අපහසුතාවට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය.

රජය හැමවිටම බස්හිමියා, මගිී ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව සැලකිල්ලට ගනිමින් තීරණ ගන්නා බවත් ඒ අනුව අසාධාරණ ලෙස ජනතාව අපහසුතාවට පත්කරමින් කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතැබිය යුතු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.

මාර්ග හා මංසන්ධි පුළුල් කිරීමේ ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීම් පිළිබඳව කාරක සභා සභාපතිවරයාගේ අවධානය යොමුවූ අතර අදාළ අනෙකුත් ආයතන සමඟ මනා සම්බන්ධීකරණයෙන් ඒවා කඩිනම් කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.

මේ පිළිබඳ කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්…

පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසළ අංගණයේ අද (10) පස්වරුවේ හටගත් හදිසි ගිනි ගැනීම හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින බව පොලිසීය පවසයි.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ පිළියන්දල පොලිසිය එක්ව කටයුතු කරමින් සිටී.

මින් පිටවන දුමාරය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් එම කසළ අංගණයට ආසන්න අතුරු මාර්ග භාවිත කරන මහජනතාව එම ප්‍රදේශය මගහැර ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය දැනුම්දෙයි.

තවද එම ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරන මහජනතාව එම දුම ආග්‍රාහණය වීමෙන් සිදුවන සංකූලතා වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසද සඳහන් කරයි.

හෝමාගම සාදයේදී සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්…..

හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම සාදය පවත්වා තිබූ අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හට ගෙන තිබුණි.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්…..

උත්සව සමය තුළ ජනතාවට සුරක්ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්‍ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ මඟින් අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වලදී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කරනු ලබන බවද නිවේදනයේ සඳහන්.

එමෙන්ම මේ සඳහා, කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර, එය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සමග පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැක.

දුරකථන අංක
011-2013051/011-2027148
011-2027149/011-2430912

විද්‍යුත් තැපැල් ලිපිනය
igp.opsroom@police.gov.lk

සියලුම ආරක්ෂක ආයතන අතර සමීප සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඕනෑම හදිසි හෝ ආරක්ෂක තත්ත්වයකදී ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මධ්‍යස්ථානය හරහා පහසුකම් සපයනු ලැබේ.

මෙම නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ සියලු ජනතාව වෙත සාමකාමී සහ සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ආරක්‍ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත උපරිම සහයෝගය ලබා දෙන ලෙසය.

මුණුපුරාගේ පහරදීමකින් මිත්තණියට දිවි අහිමිවෙයි….

තඹුත්තේගම – මල්වානේගම ප්‍රදේශයේ දී කාන්තාවකට පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (08) උදෑසන මරණකාරියගේ මුණුපුරා විසින් පුද්ගලික ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ වයස අවුරුදු 82 ක් වූ මල්වානේගම, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

වයස අවුරුදු 23 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

කුෂ් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට…..

මොරගහහේන, කුඹුක ප්‍රදේශයේ දී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව අද අළුයම් කාලයේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් පරීක්ෂක විමල් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතත්තේ, වීර හැන්නදිගේ කුසුම්ලතා ප්‍රනාන්දු නොහොත් “කාන්ති” යන සැකකාරිය වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සොයාගෙන ඇත.

වැටලීම අතරතුර සැකකාර කාන්තාව තම පුතා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් පරීක්ෂාවට විරෝධය පළ කර ඇති අතර, පසුව නිලධාරිනියක විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඇය සතුව තිබූ මත්ද්‍රව්‍ය හෙළිවී තිබේ.

පොලිස් පරීක්ෂණ අනුව මෙම නිවස ප්‍රදේශය පුරා කුෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට භාවිතා කළ ආරක්ෂිත ස්ථානයක් ලෙස යොදාගෙන ඇති අතර, සැකකාරියගේ පුතා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන බවටද තහවුරු වී ඇත.

මෙම වැටලීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.ප. විමල්, පො.සැ. 52566 රොෂාන්, පො.කො. 35039 මධුසංක, පො.කො. 97342 දිසානායක, පො.කො. 100291 ලසිත, පො.කො. 102726 ජයසුන්දර, කා.පො.කො. 13090 කරුණාරත්න, පො.කො.රි. 94735 මධුසංක යන නිලධරයන් කණ්ඩායම සහ පො.සැ. 75056 ඉන්දික, පො.කො. 104547 කුරු කුලසූරිය, යන ආවේක්ෂණ නිලධරයන් විසින් සිදු කරන ලදී.

ලොරි රථයක් පෙරළී අනතුරක් දෙදෙනෙකු රෝහලේ…

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශවයට අයත් වරුණගම ප්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.

මාලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක තවත් ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වෙයි.

අනතුරින් මාලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක ද සටහන් වී තිබේ.

අනතුර සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව වැඩිදුර සඳහන් වෙයි.

NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට…..

NDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවය.

NDB බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම් හෝ තැන්පතුවලට බලපෑමක් සිදුවී නොමැති බවය.

සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද බැංකුව පවසයි.

මෙම වංචාව බැංකුවේ නිශ්චිත මෙහෙයුම් අංශයකට සීමා වූ අතර, එයට සේවකයින් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවයක් හඳුනාගෙන ඇත. සිද්ධිය අනාවරණය වූ වහාම අදාළ සේවකයින් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති අතර, සාක්ෂි සහ වාර්තා ආරක්ෂිතව රඳවාගෙන ඇති බවද සඳහන් වේ.

තවද, අදාළ අංශය දැඩි අධීක්ෂණයට යටත් කර ඇති අතර, අභ්‍යන්තර පාලන, වාර්තාකරණ හා ආරක්ෂණ පද්ධති තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බව බැංකුව පවසයි.

බැංකුව අනාවරණය කරන්නේ, අතිශය නරකම තත්ත්වයකදී වුවද, මෙම සිද්ධියෙන් සිදුවිය හැකි අලාභය 2026 මාර්තු 31 අවසන් වන කාර්තුව සඳහා රුපියල් බිලියන 4.0ක් පමණ බවයි.

කෙසේ වෙතත්, බැංකුවේ මූල්‍ය ශක්තිය තවදුරටත් ස්ථාවර බව අවධාරණය කරයි.

2025 වසර සඳහා බැංකුව රුපියල් බිලියන 11ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, 2026 මාර්තු 31 වන විට සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 990ක් පමණ වන බවද සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර, අවශ්‍ය නියාමන අධීක්ෂණ සහ සහාය ලබාදී ඇත. නියාමන උපදෙස් අනුව, 2026 අප්‍රේල් 6 දින ගෙවීමට නියමිත මුදල් ලාභාංශය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, Scrip Dividend යෝජනාව සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වේ.

මෙම සිද්ධිය පිළිබඳ ස්වාධීන වෝහාරික විගණනයක් සිදු කිරීම සඳහා ස්වාධීන විමර්ශන විශේෂඥයෙකු පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

NDB බැංකුව අවසානයේ සඳහන් කරන්නේ, විනිවිදභාවය, වගකීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා තම කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන බවය.

මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තහවුරු නොකළ තොරතුරු, කටකතා හෝ අනුමාන ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසය.