අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට……

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ආසන්නයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

හරක් ප්‍රවාහනය කළ ලොරියට පොලීසියෙන් වෙඩි……

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට හුංගම, කට්ටකඩුව ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ලොරි රථයකින් නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අද (20) උදෑසන කට්ටකඩුව ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා තිබූ බව සඳහන්ය.

කෙසේ වෙතත් අදාළ ලොරි රථය එම මාර්ග බාධකය නොතකා පළාගොස් තිබේ.

ඒ අනුව පොලිසිය විසින් ලොරි රථය ලුහුබැඳගොස් නවත්වා ගැනීමට උත්සාහ කළ ද නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊට වෙඩි තබා නතර කර ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී ලොරි රථයේ සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

විමල්ට තවත් නඩුවක් වැටෙයිද?

රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධය ඕනෑම නඩු කටයුත්තකට මුහුණදීමට තමා සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් වැටෙයිද ?

හිටපු පාර්ලිමේන්තු විමල් වීරවංශ – “රණවිරුවන් සිහිකරලා මල් කළඹක් අරගෙන ගිහිල්ලා ඒ ගෞරවය ඔවුන්ට පුදකරන්න දරපු උත්සහායට කඩු දානවානම් එවැනි නඩුවකට මුහුණ දෙන්න කිසි ලෙසකින් අපි පැකිලෙන්නේ නැහැ.”

කපිලට ඇප දුන් ව්‍යාජ ඇපකරුවන් ඇතුළු හතරකට ඇප…..

අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ව්‍යාජ ඇපකරුවන් බව කියන මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාඩ් සහ ඔවුන්ට ආධාර අනුබල දුන් බව කියමින් අත්අඩංගුවට ගත් ආරියතිස්ස ද සිල්වා සහ අරවින්ද ද සිල්වා මහතාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගනේෂ් යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හරින ලෙස නියම කෙරුණි.

ඒ අනුව එක් එක් සැකකරුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් නියම කර තිබේ.

ඊට අමතරව ඇපකරුවන් විසින් අදාළ ඇප මුදල ගෙවිය හැකි බව තහවුරු කරන වත්කම් පිළිබඳ වාර්තා දිවුරුම් ප්‍රකාශ මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු බවටත් මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී, කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් මේ ආකාරයට ඇප තැබීම සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ග්‍රාම නිලධාරී සහතික 17 ක් ලබාගෙන තිබෙන බව සඳහන් කර තිබේ.

මීට අදාළව ග්‍රාම නිලධාරියාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව කී පොලීසිය අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දුරකථන ඇමතුම් පිළිබඳව විස්තර වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පවසා ඇත.

මෙම සැකකරුවන් මේ ආකාරයට වෙනත් නඩු සඳහාද ඇප තබා තිබේද, අධිකරණය මගහැර තිබේද? වරෙන්තු වී තිබේද? යන කාරණා පිළිබඳව අදාළ වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.

මියගිය කපිල චන්ද්‍රසේන නමැති සැකකරුට ඇප තැබීම සඳහා මෙම සැකකරුවන්  උත්සාහ කර ඇති බව මෙන්ම ඊට ආධාර අනුබල දීමක්ද සිදුකර ඇති බවට සෘජු සාක්ෂි අනාවරණය වී ඇති බවත් විමර්ශන කටයුතු ද අවසන් වී නොමැති හෙයින් මොවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහිදී ව්‍යාජ ඇපකරුවන් බව පැවසුණු පුද්ගලයින් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින් කිසිදු අවස්ථාවක බැඳුම්කරයක් සඳහා අත්සන් කර නොමැති බව සඳහන් කර ඇත.

ඇපකරුවකු වීමට නම් බැඳුම්කරයකට අත්සන් තැබීම අනිවාර්ය බව පෙන්වා දුන් නීතිඥවරයා තම සේවා දායකයින් එවැනි බැඳුම්කරයකට අත්සන් තබා නොමැති බැවින්  ඔවුන් ඇපකරුවන් වශයෙන් සැලකිය නොහැකි බවත් පැවසුවා.

තම සේවාදායකයින් අපරාධයක් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් මේ දක්වා ඉදිරිපත් කර නැති හෙයින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම නඩුවේ තවත් සැකකරුවකු වන පෙරුමාල් ගනේෂ් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්තිදස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ළඟ වසර 22ක් පමණ සේවය කරන බවය.

ඔහු කපිල චන්ද්‍රසේන නමැත්තාව හඳුනන බවත් ඔහුට මුදල් ඇපය තැන්පත් කිරීම සඳහා අධිකරණයට පැමිණි බවත් පවසා ඇත.

ඔහු විසින් නීති විරෝධී ක්‍රියාවක් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන්නට නොමැති බැවින් ඔහුව ඇප මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම්දුන් මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුනි මස 25 වන දා කැඳවන ලෙස නියම කර තිබුණි.

මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයින් 322ක් අත්අඩංගුවට…….

මෙවර ශ්‍රීපාද වාරය ආරම්භ වූ දා සිට මේ දක්වා එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, හැටන් කොට්ඨාසයේ, හැටන්, පොල්පිටිය, ගිණිගත්හේන සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන මගින් සිදුකරන ලද වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

එහිදී වැටලීම් 336ක් සිදුකර ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් රුපියල් විසි ලක්ෂ 65,000ක දඩ මුදලක් ද අයකරගත් බව සඳහන් වෙයි.

පොලීසිය සිදුකළ වැටලීම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, හෑෂ්, කුෂ්, මාවා, මදන මෝදක සහ මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය සොයාගත් බවද සඳහන් වෙයි.

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි…..

මොනරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ සිරිගල, කිරිමණ්ඩල හන්දිය අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 14 හැවිරිදි පාසල් දැරියකගේ පාදයක් ඉවත් කිරීමට සිදුව ඇති අතර ඇය මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මොනරාගල දෙස සිට ඔබ්බේගොඩ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඔබ්බේගොඩ දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය සහ ඇයගේ පියා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

මොනරාගල, මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් දැරියක් සහ 47 හැවිරදි ඇයගේ පියා මෙලෙස තුවාල ලබා තිබුණි.

අනතුර හේතුවෙන් දැරියගේ එක් පාදයක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇති අතර ඇය ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බව අතර පියා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්,  කැබ්රථය පැද වූ 17 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවා ඇප මත මුදාහැර තිබේ.

ඔහු මොනරාගල, මදුරුකැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මොනරාගල පොලිස් සඳහන් කර ඇත්තේ කැබ් රථය පැදවූ බාලවයස්කාර සිසුවා සතුව බරවාහන පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබී නොමැති බවය.

ඔහු සතුව තිබී ඇත්තේ සැහැල්ලු වාහන පුහුණුවන්නන් සඳහා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රිය පුහුණු බලපත්‍රයක් පමණි.

එම බලපත්‍රයෙන් කිසිදු අයුරකින් බර වාහන ධාවනය කිරීමට නීතිමය අවසරයක් නොමැති බව පොලීසිය පවසයි.

කැබ් රථයේ රියදුරු අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස සහ අපරීක්ෂාකාරී අයුරින් රිය ධාවනය කිරීම අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුරෙන් පසු අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු බාලවයස්කාරයෙකු වීම සැලකිල්ලට ගෙන රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මොනරාගල පොලිස් රථ වාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විශේෂ විමර්ශන සිදුකරයි.

අධිබලැති විදුලි රැහැනක් කැඩී මැල්සිරිපුර අවට ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී….

මැලිසිරිපුර ප්‍රදේශයේ විශාල කොටසකට විදුලිය සපයනු ලබන ප්‍රධාන අධිබලැති විදුලි රැහැනක් (High Tension Line) අද (20) පස්වරුවේ කැඩීයාම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.

මෙම බිඳවැටීම හේතුවෙන් මැල්සිරිපුර ගොවිපොළ අසල සිට ඕමාරගොල්ල දක්වා, ඕමාරගොල්ල සිට මඩහපොල කන්ද දක්වා හා හෙවනතැන්න සිට කටුවාලන්ද දක්වා යන ප්‍රදේශවලට විදුලි සැපයුම බිඳවැටී ඇත.

විදුලි රැහැන කැඩී ගොස් ඇත්තේ ඝන කැලෑබද ප්‍රදේශයක බැවින්, පවතින රාත්‍රී කාලය තුළ නඩත්තු වාහනවලට එම කැලෑව මැදින් අදාළ ස්ථානය වෙත ළඟාවීම දැඩි අපහසු කටයුත්තක් වී තිබේ.

ඒ අනුව පවතින ප්‍රවේශ වීමේ අපහසුතා හේතුවෙන් අදාළ නඩත්තු කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා හෙට (21) දහවල් 2:30 පමණ වනු ඇති බව වාර්තා වේ.

විදේෂිය දුම්වැටි 66000 ප්‍රමාණයක් අත්අඩංගුවට…….

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂා කාර්ය බලකායේ සහය ඇතිව කොළඔ  පරණ යෝන් විදිය ප්‍රදේශයෙන්  විදේෂිය දුම්වැටි 66000 ප්‍රමාණයක් අත්අඩංගුවට  ගෙන ඇති අතර වටිනා කම 6600000 ආසන්න වේ

අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට……

කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසා ඇත්තේ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 568යි මිලි ග්‍රෑම් 100ක්, ජංගම දුරකථන 2ක්, බැංකු කාඩ්පත් 3ක් සහ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

41 හැවිරිදි වියේ පසුවන සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි…..

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

පසුගිය පෙබරවාරි මස 16වනදා සිදුකළ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද මෝටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙලෙස සහාය ඉල්ලා තිබේ.

මෙම සැකකරුගේ විස්තර පහතපරිදි වේ.

නම – කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ
ලිපිනය – වීරසිංහ මල්ශාලාව, පරගොඩ, ඉමදුව
ජා.හැ.අංකය -199714103549

සැකකරුගේ ඡායාරූපය –

මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071- 859 2279
ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071- 859 6065