කොළඹ වරායට නුදුරු මුහුදේ නාඳුනන මළසිරුරක්……

කොළඹ වරායට නුදුරු මුහුදේ මෘත ශරීරයක් ඇති බවට කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත කොළඹ වරාය පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය.

ඔහු උස අඩි 05 අඟල් 06ක් පමණ වන කොණ්ඩය කොටට කපා රැවුල වවා ඇති පුද්ගලයෙකු වන අතර කළු පැහැති කොට කලිසමක් සහ දුඹුරු පැහැති කමිසයක් හැඳ සිටි බවද සඳහන්.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්…..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිදුකර තිබූ කැඳවීම පිළිගන්නා අතර අදාළ දිනයේ දී ඒ සඳහා පෙනී සිටීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළැඹෙන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබුණි.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණි.

විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද, රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බව කපිල චන්ද්‍රසේන පැවසූ බවය.

නමුත් ඊට විරෝධය දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවය.

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්…..

මැයි පළමු වනදා සිට ක්‍රියාත්මක වනු ලබන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව රක්ෂණ ආයතන මඟින් මෙලෙස මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වා දී ඇත.

ඒ අනුව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය හඳුන්වා දී ඇති අතර, එයට පහත සඳහන් ක්‍රම මඟින් ප්‍රවේශ විය හැක.

මෙමඟින් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව ද දන්වා ඇත.

i). USSD Code: *1338# ඔස්සේ පහත පියවර අනුගමනය කළ හැකි බව දැනුම් දී ඇත.
ඕනෑම ජංගම දුරකථන සම්බන්ධතාවක් මඟින් *1338# අංකයට ඇමතීම.
වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීම.
අදාළ රක්ෂණ ඔප්පුවෙහි වත්මන් තත්ත්වය ක්ෂණිකව ලබාගත හැකි බව සඳහන් කර ඇත.

ii). SMS: 1338 කෙටි පණිවිඩ සේවාව.
ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මඟින් 1338 වෙත යොමු කළ හැක.
එවිට රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව පවතින්නේ ද යන්න කෙටි පණිවිඩයක් මඟින් ක්ෂණිකව පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇති බව දන්වා ඇත.

iii). ක්ෂණික දුරකථන අංකය වන 1338 අංකයට ඇමතීම.
ඇමතුම ලබා ගත් පසුව ලැබෙන උපදෙස් අනුව අදාළ රක්ෂණ ආයතනය තෝරා ගන්න.
එවිට අදාළ රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අංශය වෙත යොමු වේ.
අදාළ රක්ෂණ සමාගම වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දෙන්න.
ඔවුන් විසින් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරනු ඇත.

*1338# මඟින් සහ කෙටි පණිවිඩ මඟින් තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුළත් කිරීමේදී වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් සමන්විත ඉලක්කම ඇතුළත් කළ යුතු වේ. 

වාහන අංකය ඇතුළත් කිරීමේ දී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ තැබිය යුතු නැත.

යම් මෝටර් වාහනයක අංකය “ශ්‍රී” වශයෙන් පවතින විට එම අක්ෂරය “SRI” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු වේ.

ඉහත ක්‍රම මඟින් මෝටර් රථයක රක්ෂණය පරීක්ෂා කරන අවස්ථාව වන විට වලංගුව පවතින්නේ ද නැද්ද යන්න ක්ෂණිකව දැන ගත හැකි අතර කෙටි පණිවිඩ සේවාව මඟින් වඩා පහසුවෙන් මෙම තොරතුරු ලබා ගත හැකිය.

1338 කෙටි දුරකථන අංකයට ලබා ගන්නා ඇමතුම් හෝ කෙටි පණිවිඩ සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොකරන බව දැනුම් දී ඇත.

රක්ෂණ සමාගම් මඟින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළ ද තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම තවදුරටත් සිදු කරනු ලබයි.

ඉදිරියේදී තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම නතර කිරීමට අපේක්ෂා කර ඇති අතර එතෙක් තාවකාලික රක්ෂණ ආවරණ පෙර පරිදි ම වලංගුව පවතින බව තවදුරටත් දන්වා ඇත.

මැයි 01 දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කිරීම සිදු කළ ද මේ දක්වා නිකුත් කර ඇති රක්ෂණ කාඩ්පත්වල එහි වලංගු කාලය අවසන් වන තුරු එලෙසම වලංගුව පවතී.

යම් රියදුරෙකු විසින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අවස්ථාවකදී ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ මුද්‍රිත ඡායා පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවක දී, කෙටි දුරකථන අංකය භාවිතයෙන් හෝ කෙටි පණිවිඩ සේවාව මඟින් එම රක්ෂණයේ වලංගුභාවය තහවුරු කර ගැනීමට හැකියාව පවතී.

2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය ප්‍රකාරව මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම, එහි බලපෑම හෝ වලංගුභාවය අහිමි කළ නොහැක.

තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර…..

රත්නපුර – බලන්ගොඩ මාර්ගයේ බත්ගම්ගොඩ හන්දිය අසලදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බලන්ගොඩ දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැණ් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පැල්මඩුල්ල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

වැල්ලවාය – කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි……

වැල්ලවාය සහ අවට ප්‍රදේශවලට අද (10) රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් වැල්ලවාය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

වැල්ලවාය ගංගාරාම විහාරස්ථානය සහ ඇතිලිවැව යන ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවී ඇත.

මුහුදු වෙරළේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි…..

කිරින්ද පොලිස් වසමේ ගුරුගොඩැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ තිබී ඊයේ (08) සවස කාන්තා මළ සිරුරක් ඇති බවට කිරින්ද පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු  40 ක් පමණ වූ උස අඩි 05 අගල් 02ක් වන උඩුකයට සහ යටිකයට දුඹුරු වර්ණයෙන් යුත් ඇදුම් හැද සිට ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් සිය තල හේනට ගිය පියෙකු අවසන් ගමන් යයි…..

තිරප්පනේ, උට්ටිමඩුව ප්‍රදේශයේදී වනසතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන්, සිය වගා බිමට යමින් සිටි පියෙකු අද (09) අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිරප්පනේ පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සිවලාකුලම, කුට්ටිකුලම ලිපිනයේ පදිංචි (54) හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළකු වන තිදරු පියෙකි.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ අයෙක් බව සඳහන් වෙයි.

මියගිය පුද්ගලයා අද අලුයම් කාලයේ උට්ටිමඩුව ප්‍රදේශයේ පිහිටි සිය තල හේන වෙත යමින් සිටියදී, මාර්ගය අසල වූ කුඩා කැලෑබද ප්‍රදේශයක වල් ගෝනුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් අටවා තිබූ බදින තුවක්කුවකට මෙලෙස ගොදුරු වී තිබේ.

බදින තුවක්කුව පත්තුවන ශබ්දය ඇසී ඒ අසල සිටි පිරිසක් වහා එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇත. ඒ වන විටත් පපුව සහ ඉණ අතර ප්‍රදේශයට වෙඩි වැදී බරපතළ තුවාල ලබා බිම වැටී සිටි රත්නායක මහතා, එම පිරිස විසින් වහාම පයිරමඩුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් රෝහල් ගත කිරීමෙන් සුළු වේලාවකට පසු ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දින සිදු කිරීමට නියමිතව ඇත.

අදාළ බදින තුවක්කුවක් ඇටවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තිරප්පනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

දේහය මේ වන විට පයිරමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.

කුරුණෑගල නි. නගරාධිපති රිමාන්ඩ්…..

රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීමට අදාළව අල්ලසක් ලබාගැනීමට යාමේදීය.

ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (08) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදුකිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යෑමේදීයි.

කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කිසිදු පක්ෂයකට බහුතරයක් ලබාගැනීමට නොහැකි වූ අතර, අවසානයේදී ජාතික ජන බලවේගය වෙනත් පාර්ශ්වයන්ගේ සහාය ඇතිව බලය තහවුරු කර ගනු ලැබීය.

එහිදී ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කළ මොහොමඩ් මොයුනුදීන් මහතාද සහාය පළ කළ අතර ඔහු සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්කෙරුණේ ඒ අනුවය.

අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහනගර සභාවේ නි.නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබුණි.

දිවයින අවට අඩු පීඩන කලාපයක් – වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක්….

ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 වෙනිදා පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් එය ඉදිරි දින 07 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමේ සම්භාවිතාව ඉතා අඩු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව පළමු දින තුන තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය නොවනු ඇත.

පස්වන දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමේ සම්භාවිතාව අඩුව වූවත් හය වන දිනයේදී එම සම්භාවිතාව සාමාන්‍ය අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් හත් වන දිනයේදී එම සම්භාවිතාව ඉහළ බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දක්වා තිබේ.

අද (09) දින ලබාගත් දත්ත මත මෙම කාලගුණ අනාවැකිකරණය සිදු කර ඇත.

මේ අතර දිවයිනට වඩා පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාලයේ 7ක් කොටුවෙයි……..

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඩුබායි සුද්දාගේ’ මත්ද්‍රව්‍ය ජාවාරමේ බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය පැකට් කරන තිප්පොළක් වැටලූ අවස්ථාවේදී මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

එහිදී රුපියල් ලක්‍ෂ 15කට අධික හෙරොයින් ග්‍රෑම් 50ක් හා අයිස් ග්‍රෑම් 25ක්, එම මත්ද්‍රව‍ය පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා අනෙකුත් උපකරණද මෙහිදී සිය භාරයට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

බණ්ඩාරගම, වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.