ඉන්දීය සුපිරි නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වෙයි…..

කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා මියගොස් තිබේ.

මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට 74 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සතිෂ් ෂා දිගු කාලයක පටන් වකුගඩු රෝගයකින් පීඩා විදිමින් සිට ඇත.

දශක පහකට ආසන්න සිය රංගන දිවිය තුළ ඔහු ජානේ භි දෝ යාරෝ, මේ හූ නා සහ ඕම් ශාන්ති ඕම් වැනි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 250කට වැඩි සංඛ්‍යාවකට දායක වී තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි….

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය.

මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි.

නලීන් ප්‍රදීප් උඩවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් දක්ෂ කලාකරුවෙකි.

ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක්…

ගීත ක්ෂේත්‍රයට අදාලව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක් අද (11) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීමට සහ ඊට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මූලිකව සාකච්ඡාවට ගනු ලැබීය. ඒ අනුව මීට අදාලව විශේෂඥ කමිටුවක් පත්කොට මාස තුනක් ඇතුලත අදාල නිර්දේශ ලබා ගැනීමට මෙහිදී තීරණය විය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) වෙනුවෙන් එහි සභාපති ගීත රචක නිලාර් එන් කාසිම්, ගීත රචක සුනිල් ආර් ගමගේ, ගීත රචක රවී සිරිවර්ධන, සංගීතවේදී නවරත්න ගමගේ, සංගීතවේදී දර්ශන රුවන් දිසානායක, සංගීතවේදී රංග දසනායක, සංගීතවෙිදී නදීක ජයවර්ධන සහ ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

විලාසිතා නිසා ආන්දෝලනාත්මක කතාමවන ශෙහානි ඒ ගැන කියලා තිබුණේ මොකක්ද කියලා දන්නවාද..?

සරාගී රූමතියක්.. ඒ විතරක් නෙවෙයි කාගේත් නෙත් වසඟයට ගන්න සමත්වුණු තරුණියක්.. 

ඔන්න ඉතින් කාගේත් ආදරය දිනාගත්ත, ඇය දැන් ගායනයටත් අවතීර්ණ වෙලා…

ශෙහානි සිනමා රංගන ශිල්පිනියක් විදිහට ළඟදීම රිදී තිරයෙන් දකින්න පුළුවන් කියලා ආරංචියි..
තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපු ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයෙන් මම සිනමාවට පිවිසෙනවා. සිනමා නිළියක් වීමත් එක්ක මගේ රංගන ජීවිතයේ තවත් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න නියමිතව තිබෙනවා.

නිළියක් විදිහට ක්ෂේත්‍රයට ආපු ශෙහානි ගායිකවක් වුණේ කොහොමද?

පුංචි කාලෙ ඉඳලා මට සිංදු කියන්න හැකියාව තිබුණා. නමුත් රංගන කටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන්කරලා තිබුණ නිසා ගායනයට ඉඩ අඩු⁣ වුණා. ඉස්සර වගේ නිතරම රංගනයට මුල්තැන දෙන්නෙ නැතුව ගායනයටත් කාලය දෙන්න මම හිතුවා. ඉතින් මේ වෙද්දි මගේම ගීත කීපයක් නිර්මාණය කරලා තිෙයනවා. ඒ වගේම ලංකාව තුළ සහ විදෙස් රටවල ප්‍රසංගවල ගීත ගායනා කරන ගායිකාවක් විදිහ⁣ට මට හොඳ ඉල්ලුමක් තිෙයනවා.

ගායිකාවක් වීමත් සමග ශෙහානිට විවේචන රැසක් එල්ල වුණා..
ගායිකාවක් විදිහ⁣ට ප්‍රසිද්ධ වීමත් සමග මම කලාව අවභාවිත කරනවා කියලා ගායන ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයන්ගෙන් සහ නිළියන්ගෙන් විවේචන රැසක් එල්ල වුණා. කවුරුත් වැඩිය දන්නෙ නැතිවුණාට මගේ තාත්තා සංගීතඥයෙක්. පුංචි කාලෙ ඉඳලා සංගීතමය වටපිටාවක් එක්ක හැදුණ වැඩුණ මට සංගීතය සමග ලොකු බැඳීමක් තිෙයනවා. ඒ බැඳීම මත තමයි මම ගායිකාවක් විදිහ⁣ට සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ විදිහ⁣ට සංගීතය ගැන පුරුද්දක් පුහුණුවක් එක්ක ක්ෂේත්‍රයට ඇවිත් දෙයක් කරන්න උත්සාහ කරනකොට විවේචන එල්ලකරලා ඇදවට්ටන්න සමහරු උත්සාහ කළා. නමුත් මම ඒවට සැලෙන්නෙ නැතුව පටන් ගත්තටත් වඩා ශක්තමත්ව සංගීත කටයුතු කරගෙන යනවා.

ශෙහානි තවමත් හෙමින් ගමනක් යන්නෙ ඇයි?
රංගනය, ගායනය, නර්තනය සහ චිත්‍ර ශිල්පය යනාදි සියලුම කලා ශිල්පයන් ගැන මට හැකියාව තියනවා. නමුත් ඒ සියලු දේවල් එකවර කරන්න ගිහින් නිදහස නැතිකරගෙන ඔළුවෙ කැක්කුම හදාගන්න මම කැමැති නැහැ⁣. ඒ නිසා හෙමින් හෙමින් සියලුම කලා ශිල්පයන්වල දස්කම් දක්වමින් ඉදිරියට යන ගමනකුයි මට තියෙන්නෙ. අද වෙද්දි ඒ විදිහ⁣ට හෙමින් හෙමින් ඉස්සරහට ඇවිත් තියන ගමනෙදි ශෙහානි කහඳවල කිව්වහම කවුරුත් දන්න අඳුරන සන්නාම නාමයක් විදිහ⁣ට මගේ නම කා අතරත් ප්‍රසිද්ධයි.

ශෙහානිගේ විලසිතා ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙනවා..
හැඩකාර විදිහ⁣ට ඇඟ නඩත්තු කරලා ඇඟේ හැඩයට ගැළපෙන විදිහ⁣ට මම විලාසිතා කරනවා. ඒ විලාසිතා කරන්නෙ මට සතුටු විදිහ⁣ට මිසක අනිත් අය අඳින්න පලඳින්න කැමැති විදිහ⁣ට සහ සමාජ සම්මතයට ඕන විදිහ⁣ට නෙවෙයි. මම විලාසිතා කරන විදිහ නිරුවත පෙන්නනවා කියලා සමහරු හැඳින්වූවාට මම අඳින්නෙ පලඳින්නෙ ජාත්‍යන්තර තලයේ පිළිගත් විලාසිතා. ඒ විදිහ⁣ට මටම අනන්‍ය වුණ විලාසිතා කිරීම තුළින් රසිකයෝ අතර මට සන්නාමයක් විදිහ⁣ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් වෙලා තියනවා. 

Hiru Gossip

 

කාගේත් ආකර්ෂණය දිනාගත් හෙක්ටර්ගේ විවාහ සංවත්සරය…..

ආදරණීය කතා මේ ලෝකේ හැම තැනකම.. මේත් අන්න ඒ වගේ ලස්සන ආදර කතාවක්..
ඇත්තටම ඔවුන් දෙදෙනා හැමෝටම ආදර්ශයක්.. 

පැටී වගේම හෙක්ටර්.. ඔවුන්ගේ විවාහ සංවත්සර සාදය ඊයේ පැවැත්වුණා..
ඒ ආදරණීය හෝරාව මොන තරම් නම් ලස්සනයිද..? ඒ වගේමයි ඒ දෙන්නාගේ ආදරයත්..

 

 

ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය සහ ජනපති අතර සාකච්ඡාවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.

 

ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම  ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට තිබෙන නිසා ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් අර්බුදයකට පත් ව ඇති අතර, තමන්ගේ සමාජ මාධ්‍යක ගීතයක් පළ කිරීමටද හැකියාවක් නැති බවද මෙහිදී අවධාරණය කෙරිණි. මේ හේතුවෙන් වෘත්තීය වශයෙන් ගායන ක්ෂේත්‍රයේ නියුතු බොහෝ ගායක-ගායිකාවන් අසාධාරණයට ලක් ව ඇත. මේ සියලු කරුණු පිළිබඳව සලකා බලා ස්වාධීන කමිටුවක් පත් කර අවශ්‍ය නීතී සංශෝධනය කර දෙන ලෙස ගායක-ගායිකා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

මෙම ගැටලුව කාලාන්තරයක් තිස්සේ පැවතෙන බවත්, ඒ නිසා මේ පිළිබඳ අධ්‍යයනය කර දැනට පවතින ජාත්‍යන්තර නීතිය සහ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී ඇති සම්මුති  අධ්‍යයනය කරමින්ද, ඉහත සඳහන් සියලු පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින්ද, සෑම පාර්ශ්වයකටම සාධාරණත්වය ඉෂ්ට වන පරිදි විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, සංගීත අනුමණ්ඩලයේ සභාපති නදීක ගුරුගේ, සුජාතා අත්තනායක, ටී.එම්. ජයරත්න , සුනිල් එදිරිසිංහ, මල්කාන්ති නන්දසිරි, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, දීපිකා ප්‍රියදර්ශනී, රොඩ්නි වර්ණකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

‘සිත් රූ’- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි….

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන “සිත් රූ– 2025 ප්‍රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී  අද (05) පස්වරුවේ  පැවැත්විණි.

 ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ රජය ක්‍රියාත්මක කරන “එක්ව – අත් නොහැර ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් එක් ක්‍රමෝපායක් ලෙස සිත් රූ ප්‍රසංගය සංවිධානය කරනු ලබයි. එය මෙවර සංවිධානය කෙරුණේ වසර 06කට පසුව වීම විශේෂත්වයකි.

 ආබාධ සහිත  පුද්ගලයන් පුනරුත්ථාපනය, සවිබල ගැන්වීම හා රැකවරණය වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව  වෙත මෙවර අයවැයෙන් රුපියල් මිලියන 632ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

 “සිත් රූ 2025 පළාත් තරගාවලියෙන් ජයග්‍රහණය කළ ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානවල, ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සහ වෘත්තීය පුහුණු ආයතනවල දරු දැරියන් වෙත තිළිණ සහ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

 එම දරු දැරියන් සමඟ සුහද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපවලටද එක් විය.

 සිසුවියක් විසින් අඳින ලද,  ජනාධිපතිවරයාගේ රුව රැගත් ඡායාරූපයක්ද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

 ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න යන මහත් මහත්මීහු සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සීයයකට අධික සිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් නාරී 2025 ප්‍රසංගය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ ශ්‍රී සෝරත ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි….

රන්සිළු කලායතනය මගින් 2025.07.26 වන දින සීයයකට අධික සිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් නාරී 2025 නමින් නර්තන ප්‍රසංගයක් වේදිකා ගත කරන ලදී. මෙම ප්‍රසංගය අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ ශ්‍රී සෝරත ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උඩරට අධ්‍යනාංශයේ හිටපු අධ්‍යනාංශ ප්‍රධානී , මහාචාර්ය ධම්මිකා ලංකාතිලක මහත්මියයි.. ඊට අමතරව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ,නර්තන ගුරුවරුන් සහ නර්තන ශිල්පීන් රැසක් මෙම අවස්ථාව ඒකාලෝක කිරීමට සහසම්බන්ධ විය. උඩරට, පහතරට, නිර්මාණ, භරතනාට්‍යම් සහ නව නිර්මාණ යන නර්තන අංග රැසකින් මෙම ප්‍රසංගය වර්ණවත් විය. මෙහි සියලු නර්තන නිර්මාණයන්හි නර්තන රචනය නෘත්‍ය විශාරද, රන්සිළු කලායතනාධිපති මේධනී මධුශානි අමරතුංග මහත්මිය විසින් සිදු කිරීම විශේෂත්වයකි. දරුවන්ගේ නව්‍ය චලන ප්‍රාසාංගික වේදිකාවට ගෙන එමින් ඔවුන්ගේ නර්තන කුසලතා සමාජගත කිරීම මෙම ප්‍රසංගයේ අරමුණ විය. එය ඉතා සාර්ථක අයුරින් මෙලෙස දිගහැරුණි..

 

IMA_1652 IMA_1969 IMA_2785 IMB_6933 IMB_7902 IMB_8209

මහනුවර ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය ඇරඹෙයි…..

රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය.පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතිනි.පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා සහ කෝට්ටේ රාජා හස්තීන් ගමන් කළේය.පළමු දිනයේ පෙරහර නැරඹීමට දේශීය සැදැහැවතුන් මෙන්ම විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියේය.ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වනදා වීථී සංචාරය කිරීමට නියමිතය.

YouTube අවකාශය තුළ (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ‘MrBeast’ යූ ටියුබ් චැනලය පත්වෙයි…

YouTube අවකාශය තුළ ග්‍රාහකයින් (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ජේම්ස් ස්ටීවන්  ඩොනල්ඩ්සන්ගේ ‘MrBeast’ යූ ටියුබ් චැනලය පත්ව තිබේ.

ඒ අනුව ඔහු වෙනුවෙන්ම නවතම මාදිලියෙන් යුත් Play Button එකක් නිර්මාණය කර, YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් මහතා විසින් ඔහුට ලබා දී ඇත.

අමෙරිකානු ජාතිකයෙකු වන මේ වනවිට 27වන වියේ පසුවන ඩොනල්ඩ්සන්ගේ මෙම ‘MrBeast’ නාලිකාව 2012 වසරේ දී ආරම්භ කර වූවකි.

එයට 2016 වසරේදී ග්‍රාහකයින් ලක්ෂය සම්පූර්ණ කිරීමට හැකි වූ අතර, 2017 වසරේ දී මිලියනය සම්පූර්ණ කරගත හැකිවිය.

සිය ග්‍රාහකයින් සංඛ්‍යාව අධිවේගයෙන් ආකර්ෂණය කරගත් ඔහු 2018 වසරේදී මිලියන 10 සීමාව සම්පූර්ණ කළ අතර, 2021 වසරේ දී මිලියන 50 සීමාව පසුකර ගියේය.

එමෙන්ම වසරක් තුළ දී එනම්, 2022 වසරේ දී ඔහුට මිලියන 100 සීමාව දක්වා සිය නාලිකාව වැඩිකරගැනීමට හැකිව තිබේ.

මේ වනවිට වීඩියෝ 888කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති ‘MrBeast’යූ ටියුබ් චැනලය බිලියන 91කට වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියයි.