ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය සහ ජනපති අතර සාකච්ඡාවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.

 

ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම  ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට තිබෙන නිසා ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් අර්බුදයකට පත් ව ඇති අතර, තමන්ගේ සමාජ මාධ්‍යක ගීතයක් පළ කිරීමටද හැකියාවක් නැති බවද මෙහිදී අවධාරණය කෙරිණි. මේ හේතුවෙන් වෘත්තීය වශයෙන් ගායන ක්ෂේත්‍රයේ නියුතු බොහෝ ගායක-ගායිකාවන් අසාධාරණයට ලක් ව ඇත. මේ සියලු කරුණු පිළිබඳව සලකා බලා ස්වාධීන කමිටුවක් පත් කර අවශ්‍ය නීතී සංශෝධනය කර දෙන ලෙස ගායක-ගායිකා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

මෙම ගැටලුව කාලාන්තරයක් තිස්සේ පැවතෙන බවත්, ඒ නිසා මේ පිළිබඳ අධ්‍යයනය කර දැනට පවතින ජාත්‍යන්තර නීතිය සහ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී ඇති සම්මුති  අධ්‍යයනය කරමින්ද, ඉහත සඳහන් සියලු පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින්ද, සෑම පාර්ශ්වයකටම සාධාරණත්වය ඉෂ්ට වන පරිදි විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, සංගීත අනුමණ්ඩලයේ සභාපති නදීක ගුරුගේ, සුජාතා අත්තනායක, ටී.එම්. ජයරත්න , සුනිල් එදිරිසිංහ, මල්කාන්ති නන්දසිරි, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, දීපිකා ප්‍රියදර්ශනී, රොඩ්නි වර්ණකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

‘සිත් රූ’- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි….

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන “සිත් රූ– 2025 ප්‍රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී  අද (05) පස්වරුවේ  පැවැත්විණි.

 ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ රජය ක්‍රියාත්මක කරන “එක්ව – අත් නොහැර ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් එක් ක්‍රමෝපායක් ලෙස සිත් රූ ප්‍රසංගය සංවිධානය කරනු ලබයි. එය මෙවර සංවිධානය කෙරුණේ වසර 06කට පසුව වීම විශේෂත්වයකි.

 ආබාධ සහිත  පුද්ගලයන් පුනරුත්ථාපනය, සවිබල ගැන්වීම හා රැකවරණය වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව  වෙත මෙවර අයවැයෙන් රුපියල් මිලියන 632ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

 “සිත් රූ 2025 පළාත් තරගාවලියෙන් ජයග්‍රහණය කළ ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානවල, ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සහ වෘත්තීය පුහුණු ආයතනවල දරු දැරියන් වෙත තිළිණ සහ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

 එම දරු දැරියන් සමඟ සුහද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපවලටද එක් විය.

 සිසුවියක් විසින් අඳින ලද,  ජනාධිපතිවරයාගේ රුව රැගත් ඡායාරූපයක්ද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

 ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න යන මහත් මහත්මීහු සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සීයයකට අධික සිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් නාරී 2025 ප්‍රසංගය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ ශ්‍රී සෝරත ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි….

රන්සිළු කලායතනය මගින් 2025.07.26 වන දින සීයයකට අධික සිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් නාරී 2025 නමින් නර්තන ප්‍රසංගයක් වේදිකා ගත කරන ලදී. මෙම ප්‍රසංගය අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ ශ්‍රී සෝරත ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උඩරට අධ්‍යනාංශයේ හිටපු අධ්‍යනාංශ ප්‍රධානී , මහාචාර්ය ධම්මිකා ලංකාතිලක මහත්මියයි.. ඊට අමතරව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ,නර්තන ගුරුවරුන් සහ නර්තන ශිල්පීන් රැසක් මෙම අවස්ථාව ඒකාලෝක කිරීමට සහසම්බන්ධ විය. උඩරට, පහතරට, නිර්මාණ, භරතනාට්‍යම් සහ නව නිර්මාණ යන නර්තන අංග රැසකින් මෙම ප්‍රසංගය වර්ණවත් විය. මෙහි සියලු නර්තන නිර්මාණයන්හි නර්තන රචනය නෘත්‍ය විශාරද, රන්සිළු කලායතනාධිපති මේධනී මධුශානි අමරතුංග මහත්මිය විසින් සිදු කිරීම විශේෂත්වයකි. දරුවන්ගේ නව්‍ය චලන ප්‍රාසාංගික වේදිකාවට ගෙන එමින් ඔවුන්ගේ නර්තන කුසලතා සමාජගත කිරීම මෙම ප්‍රසංගයේ අරමුණ විය. එය ඉතා සාර්ථක අයුරින් මෙලෙස දිගහැරුණි..

 

IMA_1652 IMA_1969 IMA_2785 IMB_6933 IMB_7902 IMB_8209

මහනුවර ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය ඇරඹෙයි…..

රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය.පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතිනි.පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා සහ කෝට්ටේ රාජා හස්තීන් ගමන් කළේය.පළමු දිනයේ පෙරහර නැරඹීමට දේශීය සැදැහැවතුන් මෙන්ම විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියේය.ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වනදා වීථී සංචාරය කිරීමට නියමිතය.

YouTube අවකාශය තුළ (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ‘MrBeast’ යූ ටියුබ් චැනලය පත්වෙයි…

YouTube අවකාශය තුළ ග්‍රාහකයින් (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ජේම්ස් ස්ටීවන්  ඩොනල්ඩ්සන්ගේ ‘MrBeast’ යූ ටියුබ් චැනලය පත්ව තිබේ.

ඒ අනුව ඔහු වෙනුවෙන්ම නවතම මාදිලියෙන් යුත් Play Button එකක් නිර්මාණය කර, YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් මහතා විසින් ඔහුට ලබා දී ඇත.

අමෙරිකානු ජාතිකයෙකු වන මේ වනවිට 27වන වියේ පසුවන ඩොනල්ඩ්සන්ගේ මෙම ‘MrBeast’ නාලිකාව 2012 වසරේ දී ආරම්භ කර වූවකි.

එයට 2016 වසරේදී ග්‍රාහකයින් ලක්ෂය සම්පූර්ණ කිරීමට හැකි වූ අතර, 2017 වසරේ දී මිලියනය සම්පූර්ණ කරගත හැකිවිය.

සිය ග්‍රාහකයින් සංඛ්‍යාව අධිවේගයෙන් ආකර්ෂණය කරගත් ඔහු 2018 වසරේදී මිලියන 10 සීමාව සම්පූර්ණ කළ අතර, 2021 වසරේ දී මිලියන 50 සීමාව පසුකර ගියේය.

එමෙන්ම වසරක් තුළ දී එනම්, 2022 වසරේ දී ඔහුට මිලියන 100 සීමාව දක්වා සිය නාලිකාව වැඩිකරගැනීමට හැකිව තිබේ.

මේ වනවිට වීඩියෝ 888කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති ‘MrBeast’යූ ටියුබ් චැනලය බිලියන 91කට වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියයි.

ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් අත්අඩංගුවට

ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් ගුවහාටි පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇය පැදවූ බව කියන මෝටර් රථයක ගැටීමෙන් 21 හැවිරිදි සිසුවෙක් මියයාමේ සිදුවීමට සම්බන්ධවයි.

පසුගිය 25 වැනිදා දින අලුයම 3.00ට පමණ ගුවහාටිහි දඛින්ගාඕන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

රංගන ශිල්පිනිය මෙම අනතුර සිදු කර පලා යන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

අනතුරෙන් පසු, සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ මියගොස් තිබේ.

මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන් සදහන් කළේ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ හිසට දරුණු ලෙස තුවාල සිදුවී ඇති බවත් ඔහුගේ කකුල් දෙකෙහිම අස්ථි බිඳීම් සිදුවී තිබූ බවත් ය

ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටයට ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයක්

ප්‍රවීණ අධ්‍යක්ෂක ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ Asian New Talent කාණ්ඩයෙන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබෙනවා.

එහිදී හොඳම කැමරාකරණය වෙනුවෙන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් ද හොඳම තිර පිටපත වෙනුවෙන් අධ්‍යක්ෂක ලලිත් රත්නායකද සම්මානයෙන් පිදුම් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

රිවස්ටන් චිත්‍රපටයට ශ්‍යාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර සහ රන්දික ගුණතිලක ඇතුළු ළු නිලියන් රැසක් රංගනයෙන් දායක වනවා.

news images

news images

200+; Beyond the Struggle ඡායාරූප ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සංවිධානය කරන මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය හෙට (23) සහ අනිද්දා (24) දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මලයහ තමිල් ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ඉක්ම ගොස් ඇති අතර ශ්‍රී ලාංකේය නාමය ලොව ඉදිරියේ සනිටුවන් කිරීමෙහිලා තේ කර්මාන්තය වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ සිය ශ්‍රමය කැප කරන මලයහ තමිල් ප්‍රජාවගේ ජීවිත සමාජීය, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන් තවමත් උසස් තත්ත්වයට පත්ව නොමැති අතර මලයහ තමිල් ප්‍රජාව මුහුණ දෙන ගැටලු, ඔවුන් අත්පත්කරගෙන ඇති සංවර්ධනයන්, ජයග්‍රහණ සහ ඔවුන්ගේ දායකත්වයන් යන තේමා ඔස්සේ මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙසෙන මලයහ තමිල් තරුණ තරුණියන් විසින් ලබාගත් ඡායාරූප කතන්දර 25 ක් (ඡායාරූප 250 ක්) සහ කෙටි වීඩියෝ පට 20 ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.

හෙට උදෑසන 11 ට මෙම ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.

news images

news images

අපේ සංගීතය ලෝකයට ගෙන යා යුතුයි. සංගීත අධ්‍යක්ෂක- ශබ්ද ඉංජිනේරු සංජුල හිමාල

වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන පිරිස කෙමෙන් කෙමෙන් ඉහළ යමින් පවතී. නිසි අධ්‍යයනයක් ඇතිව, පුහුණුවීමක්, දැනුමක් සහිත එන පිරිස අතර සංගීතය පිළිබද කිසිදු දැනුමක් නැතිව එන පිරිසද ඒ අතර වේ. ඇතැම්හු අය තම මව්පියන්ගේ උරුමයෙන් සංගීත ක්ෂේත්‍රයට පා තබති. තවත් පිරිසක් රියැලිටි වැඩසටහන් වලින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙති. ඇතැමෙක් විනෝදාංශයක් ලෙස එයට යොමු වේ. කුඩා කල සිටම සංගීතයට ඇලුම් කරමින් තම සහජ දක්ෂතාව වර්ධනය කරගනිමින් සංගීත ලෝකයට පිවිසෙන පිරිසක්ද සිටිති.

එවැනි දක්ෂතා වලින් පිරිපුන් තරුණයෙකු පසුගියදා සරසවිය හමුවට පැමිණියේය. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙකි. ශබ්ද ඉංජිනේරුවරයෙකි. ප්‍රසිද්ධිය පසුපස හඹා නොයා හිමින් සීරුවේ හරවත් දෙයක් සංගීත ලොවට දායාද කිරීම ඔහුගේ එකම අරමුණයි. ඔහු සංජුල හිමාල. ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ශබ්ද ඉංජිනේරුවරයෙකි.

කුඩා කල සිට සංගීතයට ඇලුම් කල සංජුල සංගීත අධ්‍යක්ෂකවරයෙක් දක්වා ආ ගමන් මඟ ගැන තොරතුරු සරසවිය හමුවේ මෙසේ අනාවරණය කළේය.

මගේ ගම මහනුවර. ඉගෙන ගත්තේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. මම කුඩා කල සිටම සංගීතයට ඇලුම් කළ කෙනෙක්. සංගීතය මුසුවූ වටපිටාවක මම ජීවත් වුණේ. මගේ මව පෙරදිග සංගීත ගුරුවරියක්. මගේ සංගීත දිවියට ඇගෙන් ලැබුණ ආභාසයත් ඉවහල් වුණා. මම පාසැලේදී හැදෑරුවේ බටහිර සංගීතය. පාසැලේ බාහිර වැඩ වල මම ඉතා උනන්දුවෙන් නිරත වුණා. මම වැඩිපුර සවන් දුන්නෙත් බටහිර ගීත වලට. මයිකල් ජැක්සන්, ක්‍රිස් බ්‍රවුන් වැනි ගායකයන්ට මම ඉතා ප්‍රිය කළා. අ.පො.ස. සාමාන්‍ය පෙළ කාලයේදීම තමයි මම සංගීත අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණේ. පාසැල් යන වයසේදීම මම වෘත්තීය මට්ටමේ සිටින සංගීත ශිල්පින් සමඟ වැඩ කළා.

අ.පො.ස උසස් පෙළ නිමවෙනවාත් සමඟම මම ගීතයක් නිර්මාණය කළා ප්‍රදීප් රංගනට. ඔහු රියැලිටි වැඩසටහනකින් ජයග්‍රහණය කළ කෙනෙක්. ඔහුගේ පළමු ගීතයේ සංගීතය නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඉන්පසු 2014 දී ප්‍රදීප් රංගනගේ ” පෙම් සිහිනේ” ගීතයට තනුව යෙදුවා. එය අතිශයින් ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. ගීත අසන සංගීත ලෝලීන් මාව හඳුනාගත්තේ ප්‍රදීප් රංගනගේ පෙම් සිහිනේ ගීතය නිසා. ඉන්පසු තරුණ ගායක ගායිකාවන් කිහිප දෙනෙකුටම ගී තනු නිර්මාණය කළා.

ජනප්‍රිය යොවුන් ගායක ධනිත් ශ්‍රී ගායනා කරන පන්දම, සඳගනාව, රෝජා, නිවාලන්න මා, ආදරියේ නෞකාව, එහෙම දේවල් නෑ හිතේ මගේ යන ගීත වලට තනු නිර්මාණය කරන්න මට හැකිවුණා. ඒ වගේම වර්තමානයේ ජනප්‍රිය ගායිකාවක් වන කාංචනා අනුරාධිටත් මම ගී තනු නිර්මාණය කර සංගීතවත් කර තිබෙනවා. උදුරාවී, හදිසිද මන්දා, කාලී ඒ මියුරු ගීතයි. ඒ වගේම රහල් අල්විස් ගයන මගේ සෝ සුසුම් සහ දුලාන් ගයන මන්දීරේ හදේ සහ ශෝභාවී යන ගීත නිර්මාණත් කළේ මා විසින්. යොවුන් ගායක ධනිත් ශ්‍රී සඳහා තනුව සහ සංගීතය කළ පන්දම ගීතය 2014 දී අතිශයින් ජනප්‍රිය වුණා.

මම ගීතයකට තනුව සහ සංගීතය කරද්දී විවිධ අත්හදා බැලීම් කරනවා. අපි නිතර අලුත් දේ හඳුන්වා දෙන්න උත්සාහ කළ යුතුයි. කාංචනා අනුරාධී ගයන ‘ කාලී’ කියන ගීතයට මම බෙර, යක් බෙරය වගේ දේශීය වාද්‍ය භාණ්ඩ පාවිච්චි කළා. ඇයගේම තවත් ගීතයක් වන උදුරාවී ගීතයත් ජනප්‍රිය ගීත බවට පත්වුණා. එයට මම ඉන්දියානු ආභාසය මුසු කළා. මම නිර්මාණය කරන කිසිම ගීතයකට වෙන ගීතයක් අනුකරණය කරමින් තනු යොදන්නේ නැහැ. නමුත් විවිධ රටවල භාවිතා කරන සංගීත ශෛලීන් භාවිතා කරනවා. කලින් සඳහන් කළ ධනිත් ශ්‍රීගේ පන්දම ගීතය විවිධ සංගීත ශෛලීන් අනුව නිර්මාණය වූවක්. එයට අපේ දේශීය සංගීතය මෙන්ම පොප් යන ශෛලීන් මිශ්‍ර කළා.

මම ගායකයෙක් ලෙසත් ගීත කිහිපයක් ගායනා කරල තියෙනවා. රූරා, දැනුණු ආදරේ, මේ වාරේ, ගැට දොඩම්, ආල ලවන් වැනි ගීත මා ගායනා කළා. මම සංගීත ක්ෂේත්‍රයට ඇවිත් වසර 15ක් පමණ වෙනවා. 2021 දී මගේම ගීතයක් වූ රූරා ගීතය ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. ටෙලිනාට්‍ය කිහිපයකටත් මම තේමා ගීතවලට තනුව සහ සංගීතය යොදා තිබෙනවා. ඒවායින් කිහිපයක් තාම විකාශය වුණේ නැහැ. ඒ වගේම කළුහිම චිත්‍රපටයේ ගීත දෙකකට මම සංගීත අධ්‍යක්ෂණය කළා. එහි ගීත ගායනා කළේ ප්‍රදීප් රංගන සහ මීනා ප්‍රසාදිනී. මා සංගීතවත් කළ චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම දකුණු ඉන්දියානු චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය සඳහා මට ආරාධනා ලැබී තිබෙනවා.

මම මගේ සංගීත කටයුතු කරගෙන යන්නේ මගේම තැනක. අඥචලධද අඥජධපඤඵ නමින් මහනුවර සහ හෝමාගම මගේම ස්ටූඩියෝ දෙකක් පවත්වාගෙන යනවා. මියුසික් වීඩියො ප්‍රඩක්ෂන්, මියුසික් මාකටිං, ආර්ටිස්ට් මැනේජ්මන්ට් වැනි කටයුතු මම කරන්නේ. සංගීත අධ්‍යක්ෂණය වගේම ශබ්ද ඉංජිනේරුවෙක් විදිහටත් මම කටයුතු කරනවා.

අපි සංගීත ක්ෂේත්‍රයට පැමිණි කාලයට වඩා අද තාක්ෂණය දියුණුයි. තමන්ගේ ගීත ජනප්‍රිය කරගන්න සමාජ මාධ්‍ය තියෙනවා. එසේ වුවත් තමන්ගේ ගයන, ගීතයේ ගුණාත්මක බවක් තිබිය යුතුයි. සමහර උදවිය සංගීතය කරන්නේ විනෝදයට. එහෙත් එසේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සංගීතය කියන්නේ. එය පුළුල් විෂයයක්. එය හැදැරිය යුතු දෙයක්. ඇතැම් අය සල්ලී වියදම් කරල ගීතයක් පටිගත කර ගන්නවා. ඉන්පසු එය කෙසේ හෝ ජනප්‍රිය කරගන්නවා. එහෙත් එය පවතින්නේ ඉතාමත් සුළු කාලයයි. කෙසේ ජනප්‍රිය කර ගත්තත් එහි ගුණාත්මකභාවය නැත්නම් එය පවතින්නේ නැහැ. අසන්නන් ගීතයක් අසා තෘප්තිමත් වෙන්නේ නැත්නම් කොතරම් සල්ලි වියදම් කර ගීතයක් හැදුවත් වැඩක් නැහැ. ක්ෂේත්‍රයේ පවතින්න නම් දක්ෂතාවය තිබිය යුතුමයි.

අද හැදෙන බොහෝ ගීත වලට වීඩියෝවකුත් හැදෙනවා. එය ගීතය ජනප්‍රිය වෙන සාධකයක් බවට පත්වෙලා. ඇතැම් මියුසික් වීඩියෝ ප්‍රමිතියෙන් උසස්. නිර්මාණශීලියි. ඒත් ඇතැම් ගීත මියුසික් වීඩියෝ නැතිවත් ජනප්‍රිය වෙන අවස්ථා තිබෙනවා. අතීතයේ අපේ ප්‍රවීණයන් ගැයූ ගීත අදටත් අපේ මතකයේ රැඳී තිබෙනවා. රූප රචනය කියන්නේ එක් මාධ්‍යයක් පමණයි. එය ගීතයේ රසය මදක් වැඩිවෙන එක පමණයි සිදුවන්නේ. ගීතයක් ගයන්න විතරක් සූදානම් වුණාට මදි. මුලින්ම බලන්න ඕන තමන් ඒ ගැන තෘප්තිමත් ද කියලා.

අද තාක්ෂණය දියුණු නිසා ඕනෑම දෙයක් කළ හැකියි. හඬ පවා අවශ්‍ය විදිහට සකස් කරන්න පුළුවන්. ඉස්සර එවැනි පහසුකම් තිබුණේ නැහැ. එදා තිබුණේ ටේප් රෙකෝඩින්. එක පාර ගීතය පටිගත කළේ. අද වගේ හඬ හදන්න බෑ. එකල සිටි ප්‍රවීණයන් ගීතයක් පටිගත කර ගන්න ලොකු මහන්සියක් ගන්න ඇති. වික්ටර් රත්නායක , එච්. ආර් ජෝතිපාල , අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායකයන්ට මම ඉතා ප්‍රිය කරනවා. එදා ලියැවුණ ගීත රචනා පවා අති විශිෂ්ටයි.

මම ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලට තනුවක් යොදා ගීතයක් නිර්මාණය කළා. “සංසාර මාවතේ ” කියන ගීතය. ඒක යුග ගීයක්. මහාචාර්‍ය නිමල් සේනානායක ඇයට සහය ගායනයෙන් සම්බන්ධ වුණා.

මම සංගීත කටයුතු සඳහා නිතර විදෙස් ගතවන කෙනෙක්. ලෝකයේ විවිධ රටවලට මම යනවා. විවිධ මිනිසුන් මට මුණගැසෙනවා. ඔවුන් ලංකාවේ සංගීතය ගැන මා සමඟ කතා කරනවා. පසුගිය කාලයේ ජර්මනියේ ජීවත්වන ශී‍්‍ර ලාංකික ගායිකාවක් වන අනලී අතුරුගිරියට මම ගීතයක් නිර්මාණය කළා. මන්ද මෙසේ නමින්. ඒ ගීතය ජර්මනියේ රසිකයන් අතර ඉතා ජනප්‍රිය වුණා. ඇයට ජර්මනියේ තිබෙන විශාලම රංග ශාලාවක එම ගීතය ගයන්න අවස්ථාව ලැබුණා. විසිදාහක පමණ පිරිසක් එයට සහභාගී වී තිබුණා.

අපේ රටේ ඉන්නවා ඇත්තටම දක්ෂ පිරිසක්. පුදුම හිතෙන දක්ෂතා පෙන්වන කුඩා ළමුන් පවා ඉන්නවා. මම දැක තිබෙනවා සමාජ මාධ්‍යවල එවැනි දරුවන්ගේ දක්ෂතා හුවමාරු වෙනවා. සංගීතය නොමැතිව ඉතාමත් ලයාන්විතව ගායනා කරන කුඩා දරුවන් ඉන්නවා. ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් කළානම් ඔවුන්ට සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යා හැකියි.

එක රාමුවකට කොටු නොවී විවිධ අත්හදා කිරීම් කරමින් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කළොත් අපේ සංගීතයට අන්තර් ජාතික මට්ටමේ පිළිගැනීමක් ලැබෙනවා.

ඉන්දියාවේ සිනමාව, සංගීතය කර්මාන්තයක් විදිහට පවත්වාගෙන යනවා. ඒත් අපේ රටේ තාමත් ඒ තත්වය උදාවෙලා නැහැ. ගායක ගායිකාවන්, ගී පද රචකයන්, සංගීත අධ්‍යක්ෂකවරයන් අතර ප්‍රශ්න ඇතිවෙන්නේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම නිසා. අලුතින් ක්ෂේත්‍රයට එන ඇතැම් තරුණ ගායක ගායිකාවන් ජනප්‍රිය වෙන්නේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කිරීමෙන්. ඔවුන් ඒ මඟින් මුදල් උපයනවා. ඒ නිසාත් සංගීත ක්ෂේත්‍රයේ විවිධාකාර ගැටලු මතුවී තිබෙන්නේ. පිටරටවල නම් ඒවාට නීති මාලාවක් තිබෙනවා. එමනිසා අපේ රටේත් නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු සිදුවෙනවා නම් අපේ රටේ ගීත කලාව මීට වඩා දියුණුයි.

අපේ සිනමා සංගීතයේත් වෙනසක් ඇතිවිය යුතුයි කියල මම හිතනවා. හොලිවුඩ් , බොලිවුඩ් සිනමාවේ සංගීතය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. අපිටත් පුළුවන් ඒ මට්ටමට පැමිණෙන්න. ලංකාවේ ඉන්නවා දක්ෂ තරුණ ශිල්පීන් රැසක්. සිනමා සංගීතය කියන්නේ වෙනස්ම රිද්මයක්. උත්සාහ කළොත් අපිට පුළුවන් ප්‍රමිතියෙන් උසස් සංගීතයක් සිනමාව සඳහා භාවිතා කරන්න.

මම නිතරම උත්සාහ කරන්නේ මා සතු දැනුමෙන් සහ මා ඉගෙන ගත් දෙයින් සංගීත ක්ෂේත්‍රයට අර්ථවත් දෙයක් ලබා දෙන්න.

මට පසුගිය මාසයේ උතුම් වැඩ කටයුත්තකට දායක වෙන්න ලැබුණා. පසුගිය මාසයේ රටේ මහජනතාවට ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබුණා. මම භාග්‍යවන්ත වුණා ඒ උතුම් කටයුත්ත වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න. මම ආඩම්බර වෙනවා මම මහනුවර ඉපදුණ කෙනෙක් විදිහට එවැනි දෙයක් ඉටුකරන්න ලැබීම ගැන.

මා මුලින් සඳහන් කළාක් මෙන් සංගීතයට මම දැඩි ලෙස ඇලුම් කරනවා. මගේ ආසාවක් තිබෙනවා ගීත ඇල්බමයක් නිකුත් කරන්න. මේ දිනවල ඒ සඳහා සූදානම් වෙනවා. මේ මාසයේ එය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම නිර්මාණය කළ මියුසික් වීඩියෝ කිහිපයක් ඉදිරියේදී එළිදැක්වෙන්න තියෙනවා. ලංකාවේ ජනසංගීතය සමඟ ඇෆ්‍රෝ පොප් සංගීතය මිශ්‍ර කරල ගීත කිහිපයක් හදලා තිබෙනවා. ඒ සඳහා මම රැප් ගායකයෙක් සම්බන්ධ කර ගත්තා.

මට මගේ හැකියාවන් වර්ධනය කරගෙන මෙපමණ දුරක් එන්න මගේ පවුලේ අයගෙන් විශාල සහයක් ලැබුණා. මගේ පියා ගිය වසරේ ජීවිතයෙන් සමුගත්තා.

මගේ අම්මා සහ අක්කා ගෙන් සහයෝගයක් ලැබෙනවා. සංගීතය සමඟ දිගටම රැඳී සිටින්න මම බලාපොරොත්තු වෙනවා. මා කෙසේ හෝ අපේ සිංහල සංගීතය නව ආරකින් ලෝකෙට ගෙන යනවා.

අපේ රටට අවශ්‍ය මෙවන් කලාකාමී තරුණයන්ය. දියුණු වෙන ලෝකයත් සමඟ උරෙන් උර ගැටෙමින් නිර්මාණකරණයේ දෙයෙන මෙවන් තරුණයන් ගැන කතා කළ යුතුයි. ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවට ඉඩදිය යුතුයි. ප්‍රසිද්ධවීමට උත්සාහ නොකරන සංජුල සංගීත ක්ෂේත්‍රයට හරවත් ගුණාත්මක යමක් කිරීමට නොපැකිළව ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා ඔහුට දොරටු විවෘත වී හමාරයි. සංගීත ක්ෂේත්‍රය තුළ විවිධ අත්හදා බලමින් නිර්මාණකරණයේ යෙදෙන සංජුල ඔබට තවත් බොහෝ කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නියැලීමට හැකියාව ලැබේවා.

Copied: https://sarasaviya.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba%e0%b7%94/

සෝණා හෙට සිට දිවයින පුරා

ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා චිත්‍රපටයේ ප්‍රචාරක පටය හා ගීත එළිදැක්වීම පසුගියද නවලෝක ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
මහිතරු නිෂ්පාදනයක් වන සෝණා චිත්‍රපටය වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයකි.