විදුලි ගාස්තු 20% කින් පහතට

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසම මේ බව සඳහන් කළා.

විදුලිබල මණ්ඩලය විසින් ගාස්තුවල කිසිඳු සංශෝධනයක් සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා කොමසමට යෝජනා කර තිබූ බවත් අනතුරුව මහජන උපයෝගීතා කොමිසම 11% ක ගාස්තු අඩු කිරීමක් යෝජනා කළ බවත් පසුව මහජන උපදේශනය ලබා ගැනීමෙන් අනතුරුව ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත් කළ බවයි බව මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස්, ඒකක 16,152.35 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අද දිනයේ ගනුදෙනු පිරිවැටුම ලෙස රුපියල් බිලියන 4.44 ක් වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන්.

සිමෙන්ති සඳහා සෙස් බද්ද අඩුකිරීමේ යෝජනාවට අනුමැතිය

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර, එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් පමණ අඩුවන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන්.

වාහන මිල සම්බන්ධයෙන් ගණනයක් කළ හැක්කේ ආනයනයෙන් පසුවයි – වාහන ආනයනකරුවන්

වාහන ආනයන බදු 400% ත් 500% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වාහන සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව එහි අඩංගුවන්නේ එක බදු වර්ගයක් පමණක් බවත් මෙයට තවත් බදු වර්ග 4 ක් එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ.

පැරණි වාහනවල මිලට වඩා නව වාහනවල මිල ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බවත් තවමත් නිවැරදි ගණනය කිරීමක් සිදු කළ නොහැකි නිසා පෙබරවාරි 1 වනදා වාහන ආනයනය කරන තෙක් ඉවසීමෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

වාහන ආනයනයෙන් පසුව වාහනවල මිල සම්බන්ධයෙන් අදහසක් ලබාගැනීමට හැකි බවත් එතෙක් කිසිඳු පුද්ගලයෙකුට අත්තිකාරම් මුදල් ගෙවීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු ඉහළ දමමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

Starlink පැකේජ 05 ක් සඳහා TRCSL අනුමැතිය

Starlink සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව Starlink පැකේජයන් 05 ක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

Residential (Fixed), Residential Lite (Fixed), Priority (Fixed), Roam (Mobility), Mobile Priority (Mobility) ලෙස මෙම පැකේජ නම් කර තිබෙනවා.

අදාළ පැකේජ ගාස්තු සම්බන්ධ විස්තර පහතින්.

677ce8a95f364pdf_page_0

ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඒකක 403.94 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරමින්, දිනය අවසානයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් සියලු ඒකක 16,341 ක් ලෙස වාර්තා වී තිබුණා.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 12 සීමාව අභිබවා යාමද තවත් සුවිශේෂී සිදුවීමක් වෙනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර්තාගත ආදායමක් ලබා තිබෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා.

පසුගිය 23 වනදා වන විට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 4,427 ක් උපයා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දෙපාර්තමේන්තුවට අයත් ආයතනවලින් වැඩිම ආදායමක් ලබා ඇත්තේ පින්නවල අලි සුරක්ෂිතාගාරය බවත්, එය උපයා ඇති ආදායම රුපියල් මිලියන 876 ක් බවත් දැක්වෙනවා.

කොටස් වෙළෙඳපොළ අදත් ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන්වී තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට

වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශ දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් බවයි සඳහන් වෙන්නේ.

2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමක් බවයි ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.