තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ කජ්ජා සිට ඇතැයි අනාවරණයක්……

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා අද අනාවරණ කළේය.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.

කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරින් දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ සිරුර හමුව තිබුණේ 2012 වසරේ මැයි 17 වෙනිදාය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මුල් අවස්ථාවේ විමර්ශන තුළින් එම මරණය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බවට පොලිසිය පැවසුවද එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඥාතීන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු 2015 වසරේදී තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹි අතර 2015 ජුලි 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන්නේ තජුඩීන්ගේ මරණය මිනී මැරුමක් යැයි කරුණු අනාවරණය වී ඇති බවය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනුණත් පසුව ඇප මත මුදාහැරුණි.

කෙසේ වෙතත් අනුර සේනානායක සහ ආනන්ද සමරසේකර යන සැකකරුවන් නීති කෘත්‍යය ක්‍රියාත්මකවන අතරවාරයේ මියගියේය.

මෙවන් වාතාවරණයක වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් තජුඩීන් සිද්ධියේ විමර්ශන ගැන කරුණු අනාවරණයක් කළේය.

කජ්ජාගේ බිරිඳට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වන ලද  තාජුඩීන් හැව්ලොක් සිටි සංකීර්ණය අසළ වෙළෙඳසැලකින් වතුර බෝතලයක් මිලට ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන නරඹා ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තාජුඩීන් පිටුපස සිට ඇති පුද්ගලයා තම ස්වාමියා බවය.

ඇය එලෙස එම පුද්ගලයා නිසැකවම තම සැමියා වන කජ්ජා බවට හඳුනාගෙන ඇත්තේ ඔහුට දීර්ඝ කාලයක පටන් තිබූ කොන්දේ අමාරුවක් හේතුවෙන් සහ ඔහුගේ ඉරියව් හේතුවෙන් බවය.

වතුර බෝතලය මිලට ගැනීමෙන් අනතුරුව තාජුඩීන් පිටුපසින් පැමිණි සැකකටයතු වාහනයකට කජ්ජා අත දමා ගොඩ වී ඇති බවත් ඉන් විනාඩි 20කට පසු තාජුඩීන් ඝාතනය සිදුවූ බවත් බිරිඳ ප්‍රකාශ ලබාදෙමින් පවසා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ජපාන සංචාරය අදින් අවසන් වේ.

ජපාන රජයේ ආරාධනයෙන් ජපානය ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවර්ධනය වෙළඳාම ආයෝජන ආර්ථික සහයෝගීතාවය හා කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන ලදී.

ප්‍රධාන සාකච්ඡා හා ගිවිසුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ අවසන් දිනට පෙර ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මහතා සමග ටෝකියෝ නුවරදී දෙරට අතර දීපාර්ශික සාකච්ඡා පැවැත්වූ අතර එරට ආරක්ෂක හාමුදා ගෞරව සහිතව අගමැති කාර්යාලයේදී ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

එහිදී දෙරට අතර සංවර්ධන සහයෝගීතාවය පුළුල් කිරීමේ අරමුණින් සංකේතයක් ලෙස ගිවිසුම් ලේඛන අත්සන් කරන ලදී.

එම ගිවිසුම ශ්‍රී ලංකාවේ කිරිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් සහ නිල ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වෙයි.

ආර්ථික සහයෝගීතාව සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය

IMF සහාය ලබන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අගය කළ අතර ජපානයේ අඛණ්ඩ සහයෝගය එරට අගමැති විසින් යළි තහවුරු කළේය. ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපති ලෙස ජපානයේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ පළමු ද්වි පාර්ශ්වික ණය හිමියා වීම පිළිබඳ ජපානයට ශ්‍රී ලංකා ජනාධිපති සිය කෘතඥතාවය පළ කළේය.

ප්‍රධාන ව්‍යාපෘති සහ ආධාර


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ: බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන අදියර නැවත ආරම්භ කිරීමට එකඟතාව පළ විය.


රූපවාහිනී ඩිජිටල්කරණය සහ විදුලි සංදේශ ව්‍යාපෘතිය: මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය විය.


නාවික නිරීක්ෂණ ධාරිතාව: ජපාන ආධාර යටතේ රුපියල් බිලියනයකට අධික අරමුදල්වලින් නව මිනිසුන් රහිත යාත්‍රා 10ක් ලබා දීමෙන් නාවික නිරීක්ෂණ ධාරිතාව ශක්තිමත් කිරීමට එකඟ විය.

ආයෝජන සහ දූෂණ විරෝධී මුලපිරීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන පරිසරයේ දියුණුව පිළිබඳව අගමැති ඉෂිබා මහතාට දැනුම් දෙන ලදී. ජපාන සමාගම්වලට ලංකාවේ ආයෝජන අවස්ථා නිරීක්ෂණය කිරීමට ද ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ක්‍රියාකාරකම් සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව සහතික කරන ලදී.

කලාපීය සහයෝගීතාවය

ජාත්‍යන්තර සමුද්‍ර නීතියට හා ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට මුල් තැන දෙමින් ඉන්දු පැසිපික් දැක්ම යටතේ සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ කලාපීය ආරක්ෂාවට වැදගත් පිටිවහලක් වනු ඇතැයි මෙම සංචාරය මගින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත සහයෝගීතාව සඳහා නව මාවත් විවෘත වනු ඇතැයි විශ්වාස කෙරේ.

කොලින් හරිශ්චන්ද්‍ර

දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව විවෘත කරයි..

දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 29 වන දින විවෘත කරන ලදි.

වර්ග අඩි 14,000 ක වපසරියකින් යුත් මෙම ලංකා සතොස නව මෙගා ශාඛාව තුළ ආපන ශාලාව, බේකරි නිෂ්පාදන අලෙවි සැල, ධාන්‍ය අලෙවිසැල, කරවල අලෙවිසැල, මාංශ අලෙවිසැල, නැවුම් පළතුරු යුෂ අලෙවිසැල, නැවුම් එළවළු සහ පළතුරු අලෙවිසැල, අක්ෂි දෘෂ්ටි විශේෂඥ ස්ථානය (ඇස් පරීක්ෂා කිරීමේ ස්ථානය), ඔසු සැල, බැංකු ශාඛා, ඇඳුම් විලාසිතාගාරය සහ තවත් වෙළෙඳ සැල් ගණනාවකින් ද සමන්විත වේ.

එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ගොවීන් වෙනුවෙන් ද මෙහි අලෙවි සැල් නිර්මාණය වී ඇති අතර රජයේ මූලික අරමුණක් වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළ තුළ සුලභ කිරීම සහ අවම මිලක් යටතේ එම භාණ්ඩ පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් නවීන වෙළෙඳ පොළ තත්වයන් අනුව පාරිභෝගික ජනතාවට අවශ්‍ය සියලු පාරිභෝගික ද්‍රව්‍ය එකම වහලක් යටින් මිලදී ගැනීමට හැකිවන පරිදි මෙම ලංකා සතොස exclusive ශාඛාව ඉදි කර තිබේ.

එමෙන්ම මෙම ලංකා සතොස exclusive බදුල්ල මෙගා ශාඛාව විවෘත කිරීමට සමගාමීව, බදුල්ල ප්‍රදේශයේ බෝගහකුඹුර ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල විවෘත කිරීමේ කටයුත්ත ද සිදු විය. ඒ අනුව බෝගහකුඹුර ප්‍රදේශයේ ජනතාවට ද සුපිරි වෙළෙඳ සැලක අවශ්‍යතාවය ලංකා සතොස ආයතනය විසින් ඉටු කර දී ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සංචාරක නියොජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් ද, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, බදුල්ල මහා නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුලු බදුල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා, ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ඩන්ස්ටන් මාලගේ මහතා ඇතුලු ලංකා සතොස ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ජාතික සතොස සභාපති කෝසල විල්බාව මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු විය.

 

ඒක අත්වැරදීමක් – ඇමති හඳුන්නෙත්ති….

ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ මෙරට තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසියකදි නිව් විතානකන්ද සිලෝන් කළු තේ සඳහා ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් වාර්තා අතර එක් වූ බවය.

කෙසේ නමුත් ඒ සම්බන්ධව අදහස් දැක්වීමේදි තමා අතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධව තමන් කනගාටු වන බවද අමාත්‍යවරයා සිය සටහනේ සඳහන් කර ඇත.

අමාත්‍යවරයාගේ සම්පූර්ණ සටහන පහතින්,

“ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කනගාටු වෙමි.

මේ වනවිට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කනගාටු වෙමි.”

රේගුව රඳවාගත් වාහන ගැන අධිකරණයෙන් නියමයක්…

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන, සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයාබලා ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (30) ශ්‍රී ලංකා රේගුවට නියම කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් 15ක් පමණ අද සලකාබැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පොදුවේ අධිකරණය හමුවේ අවධාරණය කළේ, තම සේවාදායකයින් විසින් ආනයනය කළ මෙම වාහන රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

මෙම වාහන සියයට 35ක අධිභාරයකට යටත්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට පෙත්සම්කරුවන් සියලුදෙනා තරයේ විරුද්ධ වන බවත් එම නීතිඥවරුන් තර්ක කළේය.

මෙම වාහන ආනයනය කිරීම සිදුකර තිබෙන්නේ රේගුව විසින් අනුමත රෙගුලාසි හා ගැසට් නිවේදනවලට අනුකූලව බවත් ඒවා රඳවාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එම නීතිඥවරුන් තර්ක කළේය.

මෙහිදී පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන දිගින් දිගටම රේගුව විසින් රඳවා ගැනීම නිසා තම සේවාදායකයින්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි සඳහන් කළේය.

මෙම වාහන අනාරක්ෂිත ආකාරයෙන් රේගුව තුළ රඳවා තිබෙන බවත් මේ හේතුවෙන් ඒවාට අව් රශ්මියෙන් මෙන්ම වෙනත් බාහිර සාධකවලින් හානි සිදුවීමට හැකියාව තිබෙන බවත් ඔහු පෙන්වාදුනි.

මෙසේ සිදුවන හානිවලට රක්ෂණ වන්දි අය කරගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා මෙම වාහන පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් සඳහන් කර සිටියේය.

මෙහිදී විනිසුරු මඩුල්ල, ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට පෙන්වා දුන්නේ මෙම වාහන මුදාහැරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන සියයට 35ක අධිභාරය පැනවීමේ යෝජනාව සම්බන්ධයෙන් සමථයක් ඇති කරගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසය.

ඒ අනුව මෙම නඩුකරවල පෙත්සම්කරුවන් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් සංවිධානය කර මෙම ගැටළුව සමථයට පත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුනි.

එමෙන්ම මේ වනවිට රඳවාගෙන සිටින අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ පෞද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රේගුවෙන් විමසා ඒ පිළිබඳව ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට නියම කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් සියල්ල සලකාබැලීම සඳහා ඔක්තෝබර් මස 22 වනදා කැඳවීමටද අභියාචනාධිකරණය දින නියම කළේය.

රෝහිතගේ මන්ත්‍රීකම බල රහිත කරන්නැයි ඉල්ලූ රාජිතගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි….

ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේට ඇප….

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේ මහතාවට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහුව බන්ධනාගාරගත කර තිබුණි.

ශ්‍රමදානයක් අතරතුර රෝගී වූ දරුවන් 40ක් රෝහලට…..

මැදිරිගිරිය මණ්ඩලගිරිය ජාතික පාසලේ සිසු දරු දැරියන් 40කට අධික පිරිසක් ශ්‍රමදානයක් අතරතුර හදිසියේ රෝගීවීම හේතුවෙන් අද (30) උදෑසන මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

උදෑසන පාසලේ පන්ති කාමර අවට පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කැසීමේ රෝග ලක්ෂණ ඉස්මතු කර ඇති අතර, පසුව ඔවුන්ගේ කිහිපදෙනෙකුට මෙම රෝග ලක්ෂණ කැපී පෙනීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.

මේවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධව මේ වන විටත් පාසලේ විදුහල්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයෙන් සරසවි කටයුතු අඩාළයි…..

තම ගැටලුවලට රජයෙන් විසඳුම් නොලැබුණු බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) සියලු විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක නිරත වේ.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල දේශන ඇතුළු කටයුතු ක්‍රියාත්මක කෙරුණේ නැත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැරයාම මෙන්ම ඔවුන් නිසි ලෙස බඳවා නොගැනීමේ පසුබිම තුළ මතුව ඇති ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් ගැටලුව, විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු නොවීම, පර්යේෂණ වෙනුවෙන් වන ප්‍රතිපාදන තවදුරටත් පහළ මට්ටමක පැවතීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ තම ගැටලු පිළිබඳව අවස්ථා ගණනාවකදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවය.

එක්දින වැඩවර්ජනය හේතුවෙන්, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක දේශන පැවැත්වීම ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අඩාල වී තිබේ.

මේ අතර, තම ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්නැයි ඉල්ලා ආචාර්යවරුන් අද දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වුණි.

ජනපති අනුර ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි….

ජපන් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි.

විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී පැවති මෙම හමුවට ජපානයේ  ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් එක්ව සිටී අතර ජපාන බාහිර වෙ‍ෙළඳ සංවිධානය (JETRO), ආර්ථික, වෙ‍ෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI), සමඟ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ජාතික ඩිජිටල්කරණය ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ උපායමාර්ගික මුලපිරීම් පෙන්වා දී ඇත.

දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රවල වර්ධනය සඳහා පවතින අවස්ථා පෙන්වා දුන්නේය.

මීට අමතරව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ජපන් ආයෝජන සඳහා ප්‍රමුඛතාවය දී ඇති ප්‍රධාන අංශ වන නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී පැහැදිලි කරන ලදී.

එමඟින් ශක්තිමත් ප්‍රතිපත්තිමය සහාය සහ විධිමත් ක්‍රියාවලීන් හරහා ආයෝජන අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ සූදානම අවධාරණය කෙරිණ.

ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින් සහ ජපන් ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් අතර කේන්ද්‍රීය ජාලකරණ සැසියක්ද මීට සමගාමීව පැවැත්විණි.

මීට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ JETRO හි සභාපති ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර පාලමක් ලෙස කටයුතු කිරීමට ඇති කැපවීම JETRO හි සභාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේය.