අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි….

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ.

දරුවාගේ මෘත ශරීරය මහවැලි ගඟේ හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබිය දී අද (10) පෙරවරුවේ සොයාගෙන ඇත.

එලෙස මෘත ශරීරය හමුව ඇත්තේ,  රවිචන්ද්‍රන් ජෙගදිස් නැමති 14 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවාගේය.

ඊයේ (09) දිනයේ දී පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වුණි.

මෙලෙස අතුරුදන්ව සිටියේ මහනුවර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිටි තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 09වන වසරේ සහ 08 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්.මිලාන් නැමැති සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා ඊයේ පස්වරුවේ නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සුරතල් මසුන් මිලදී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසමිනි.

මේ අතර,  ඊයේ (08) පස්වරුවේ මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස ගල්තලාවක සිටි බව එම ප්‍රදේශයේ ධීවරයෙකු පොලීසියට පවසා ඇත.

මෙම ධීවරයා සිසුන් දෙදෙනාට ගඟට නොබසින ලෙසට අවවාද සිදුකළත් ඔවුන් ධීවරයාට පවසා ඇත්තේ තමන්ට පිහිනීමට හැකි බවය.

නමුත් පසුව බලන විට වර්ෂාවත් සමඟ ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවත් සිසුන් දෙදෙනා එම ගල්තලාවේ නොසිටි බැවින් ඔවුන් ගඟෙන් එගොඩ වන්නට ඇති බව තමන් සිතූ බවත් ධීවරයා පොලීසියට වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම තවත් කිහිපදෙනෙකු ද මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස සිටිනවා දුටු බව පොලීසියට පවසා ඇත.

නමුත් අතුරුදන්ව සිටින ජෙගදීස් සිසුවාගේ මව පවසා ඇත්තේ තම පුතුට පිහිනීමට නොහැකි බවත් කිසිවිටෙකත් සිය පුතු මහවැලි ගඟට දිය නෑමට නොයන බවත්ය.

මේ අතර, අතුදන්ව සිටින සිසුන් දෙදෙනාගේ යහලුවෙකුගේ පියෙකු පොලීසියට පවසා ඇත්තේ, මෙම සිසුන් දෙදෙනා සිය පුතුටද මහවැලි ගඟේ දිය නෑමට ආරාධනා කළ නමුත් ඔහු ඔවුන් සමඟ නොගිය බවය.

මහනුවර මූලස්ථාන පොලීසිය සහ බලගොල්ල පොලීසිය එක්ව අතුරුදන්ව සිටින සිසුන් සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්ම කළ අතර, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද යොදවා මහවැලි ගඟේ සෙවීමේ කටයුතු සිදුකළේය

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු…

විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව පැවසෙන ‘මහේෂ් බංඩාර’ ගේ මස්සිනා අවි හා තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් සිදුකළ මෙහෙයුමක දී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ (09) පන්නල පොලිස් වසමේ මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ අදාළ වැටලීම සිදුකර ඇත.

එහි දී පහත සඳහන් අවි ආයුධ සමඟ වයස අවුරුදු 46ක් වන මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :-

1) විදේශිය රටක නිශ්පාදිත රිපිටර් වර්ගයේ අවි 01 යි.
2 )විදේශීය නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවි 01 යි.
3) පිස්තෝල අවිය සදහා යොදන පතුරම් ගැබ් 01 යි.
4)9mm වර්ගයේ උණ්ඩ 07 යි.
5) බෝර 12 වර්ගයේ උණ්ඩ 09 යි.
6) කඩු 01 යි.
7) මුදල් රුපියල් 1,100 යි.
8) 791432553V දරණ ජාතික හැදුනම්පත සමග මුදල් පසුම්බි 01 යි.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දිනදෙයි…..

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 17 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.

නඩුව අද (10) කොළඹ මහාධිකරණ මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් මේ දක්වා ලබාදී නොමැති බව සඳහන් කළේය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කියා සිටියේ, අදාළ ලේඛන නොවැම්බර් මස තුන්වනදාට පෙර විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව දෙසැම්බර් මස 14 වනදා විභාගයට ගැනීමට දින නියම කළේය.

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බව දනිමින් ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84ක මුදලක් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදුකළ යැයි චෝදනාකොට අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

විදෙස් කතුන්ගෙන් බලෙන් මුදල් ගත් ත්‍රීවිල් රියදුරන් දෙදෙනා අත්අඩංගුවට….

සංචාරයන් සඳහා මෙරටට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසු වූ ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්ය.

ඔවුන් දෙදෙනා සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් රුපියල් 10,000ක් හා රුපියල් 30,000ක් ලෙස අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි 2ක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර රියදුරන් කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇත.

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ගැන කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්…..

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේය.

දරුවන්ට දඬුවම් කර නිවැරදි මාර්ගයට ගැනීමට හැකියාව තිබිය යුතු බවත් බටහිර ලෝකයේ සියලුම නීති ලංකාවේ අධ්‍යාපනයට අනුකරණය කළ යුතු නැතැයි ද උන්වහන්සේ පැවසීය.

“දරුවා සහ දෙමාපියන් අතර මේ ගට්ටනය ඇති කරලා, දෙමාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද? ගුරුවරුන්ට හිතන්නවත් බෑනේ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා. මෙහෙම කියලා ගුරුවරයාව අත්අඩංගුවට ගන්න පුළුවන් ලු. ඒක වැරදි වැඩක්. මේවා අපිට පිළිගන්න බෑ. බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි කියලා. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා කරන්න එපා.”

දේශබන්දුට එරෙහි නඩුවක් කල්යයි…..

වැලිගම W15 හෝටලය ⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17වනදා දින නියම කර ඇත.

එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) කැඳවනු ලැබීය.

නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

වැඩි මිලට වතුර බෝතල් වික්ක ව්‍යාපාරික ස්ථානයකට රු ලක්ෂ 6ක දඩයක්…

පාලන මිලට වඩා ඉහළ මිලකට පානීය ජල බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

සැකකාර ව්‍යාපාරික ආයතනය විසින් මිලිමීටර් පන්සීයේ පානීය ජල බෝතලයක් සඳහා වූ පාලන මිල ලෙස රුපියල්  70/- නියම කර තිබියදී එම ජල බෝතලය  රුපියල් 90/- කට විකිණීම තුළින් වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකාර ආයතනය අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබීය.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් මෙම වරද සඳහා රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පනහක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බව පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම ව්‍යපාරික ආයතනයට රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කළාය.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පෙදරේරුවාට වසර 10ක සිරදඬුවම්….

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් ඊයේ බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම නියම කර තිබේ.

මෙසේ  දඬුවම් නියම වූයේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකුටය.

2022 වසරේ නොවැම්බර් මස 03 වනදා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය විසින් මන්නාරම, එලුතූර් හන්දිය අසලදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව 2008 අංක 1 දරන මදන ඖෂධ සහ මනෝවර්ථක පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබුණි.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව සනාථ වී ඇති බවය.

ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

අද දිවුරුම් දුන් කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න…..

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් ඒ අනුව වෙනස් වී ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව තිබේ.

ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇත.

මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු පහතින් දැක්වේ.

 

01. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය 

02. අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය 

02. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය 
නියෝජ්‍ය අමාත්‍යවරු 
01. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

02. ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

03. එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 

04. එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 

05. වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය 

06. අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය 

07එච්.එම්. දිනිඳු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

08. යු.ඩී. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

09. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

10. එම්. එම්. අයි. අර්කම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

අභිරහස් ලෙස මියගිය මල සිරුරක්‌ මතුගම,පාන්තිය මාර්ගය අසල කානුවක…..

අභිරහස් ලෙස මියගිය මල සිරුරක්‌ මතුගම,පාන්තිය, ශ්‍රී සාරානන්ද මාවත මාර්ගය ආසන්නයේ පිහිටි කානුවක තිබී හමුවී ඇතැයි මතුගම පොලිසිය පවසයි.

මෙසේ මරණයයට පත්ව ඇත්තේ (21) හැවිරිදි අනගිපුර, සාරානන්ද මාවත , ප්‍රදේශයේ පදිංචි උමේෂ් පැතුම් නැමති අවිවාහක පුද්ගලයෙකි.

අද(9) දින 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු දුරකථන ඇමතුමක් මත මල සිරුර සොයාගෙන ඇත.මුහුණ ප්‍රදේශය සහා අත් ජලයට දියවී ගොස් තිබේ.දින කිහිපයක් තිස්සේ ප්‍රදේශයේ දුගදක් හමමින් තිබී ඇති අතර එම ආසන්නයේ පිහිටි නිවසෙහි තරුණයෙකු විසින් අද උදැසන අවට සෝදිසි කිරිමේදී මෙම මල සිරුර හමුවී ඇත.

මියගිය පුද්ගලයාට මතුගම අධිකරණයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු කිහිපයක් ද ඇති අතර මෙම මරණය ඝාතනයක් ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇත

සිරුරේ වම් අත ආසන්නයේ කිසියම් කැපුම් සහිත තුවාලයක් දක්නට ලැබෙන අතර කළු ඩෙනිස් කොට කලිසමක් පැලද ඇත.

මතුගම වැඩබලන මහේස්ත්‍රාත් කපිල වෛද්‍යතිලක මහතා විසින් ස්ථානීය පරීක්ෂණ සුදු කල අතර කළුතර අපරාධ පරීක්ෂණාගාලා නැතිකාරීන් පැමිණ පරීක්ෂණාරම්භ කර ඇත

සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා නාගොඩ ශික්‍ෂණ රෝහල
වෙත රැගෙන යන ලදී.

මතුගම පොලිසිය ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක ෂුෂ්ප ජයතිලක
ප්‍රධානත්වයෙන් පරීක්ෂණ මෙහෙයවයි.

කළුතර ගල්පාත – චන්දන පෙරේරා