රට රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට….

කැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් කැනඩාවේ  රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගෙන ඇත.

මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි විදේශ රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත  ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් වරකාපොල, අඹගලකන්ද ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදී  ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදීමට රු.75,000 බැගින් ලබාගත් ගිවිසුම් 3ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17ක මුදලක් වංචාකළ කාන්තාවක්ද පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබේ.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාරිය කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර, රැකියාව ලබා නොදීම හේතුවෙන් ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

එම කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහජන සම්බන්ධතා නිළධාරිනියක වශයෙන් සේවය කරන තැනැත්තියක් වන අතර,අදාල පැමිණිල්ල මත සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඇය නිළධාරීන් මග හැර සැඟව සිට ඇති බව සඳහන්වේ.

පසුව අදාල සැකකාරිය සේවය කරන පුද්ගලික රෝහලේ සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාල කාන්තාව මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

TNA මන්ත්‍රීවරු ජනපති හමුවෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව  පැවැති බව සඳහන්වේ.

මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල  පැන නැගී ඇති අර්බුධ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ  ඇති වී ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිගේ අවධානයට යොමුකළ මන්ත්‍රීවරු එය වැළැක්වීම සඳහා ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳවඳ  ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිල  Facebook පිටුවේ සටහනක් තබා තිබුණි.

එය පහතින් දැක්වේ.

දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ හමුවකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ එක්වීමි.

පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් මම පෙන්වා දුන්නෙමි.

උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නෙමි.

එමෙන්ම, රට තුළ ජාතිවාදී අවස්ථා නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද මම අවධාරණය කළෙමි.

පනත් කෙටුම්පත් දෙකකට COPF සභාවේ අනුමැතිය…..

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන 4ක් එකතු වන බවය.

පසුව මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සිදු වන අතර මේ මගින් දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළුවීමේ බද්ද එක්සත් ජනපද ඩොලර් 50ක සිට 100 දක්වා ඉහළ නැංවීම සිදු වනු ඇත.

මේ අනුව මේ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ අනුමතිය හිමි විය.

තවද 2004 අංක 11 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ මගින් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු ගෙවීමේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීම සිදු වේ.

මීට අමතරව (52 වන අධිකාරිය වූ) සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු 32වන වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පවනා ඇති රීති සම්බන්ධයෙන්ද කාරක සභාව සලකා බලන ලද අතර කෙසේ වුවද ඒ සඳහා කරක සභාවේ අනුමතිය හිමි නොවීය.

කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සුදුසු විශ්ලේෂණයක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරියේදී මෙය සලකා බලීම සිදු කරනු ලබන බවත්ය.

මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ – අමාත්‍ය චන්දන අබේරත්න…..

නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මහාචාර්ය චන්දන අබේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෙැමැති බවද ඔහු මෙහිදී අවධාරණය කරයි.

මෙහදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“අපි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. ඊට අදාළ නීතිමය කරුණු ටිකක් විසඳගන්න තියෙනවා. ඒකට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියනවා,පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට. අවශ්‍ය කටයුතු කරලා අපිට ජන්දය තියන්න පුලුවන්.

ඔබතුමන්ලා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවා. දන්නවා ඇති අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. අපිට කඩිනමින් විසඳුම් දෙන්න බෑ. අපි විධිමත් ක්‍රමවේදයකට අනුව අවශ්‍ය මැදිහත්වීම් කරලා ජන්දය පවත්වනවා. ඒ පිළිබඳ සැකයක් තියා ගන්න එපා.”

විදෙස් මත්පැන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට….

රුපියල් මිලියනයකට අධික විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු දෙහිවල දී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය මගින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී විදෙස් මත්පැන් බෝතල් 180ක ප්‍රමාණයක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, එක් පුද්ගලයෙකු සතුව තබාගත හැක්කේ මත්පැන් ලීටර 80ක් පමණක් බවය.

එවන් පසුබිමක මෙම පුද්ගලයා සතුව ඊට වැඩි ප්‍රමාණයක් ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සඳහා ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති සරත් වෙත්තසිංහ, සුරාබදු පරීක්ෂක, ජී. රෝහණ, සුරාබදු කෝප්‍රල් හර්ෂ කුමාර, උපුල් නිලන්ත රාජපක්ෂ, රමේෂ් වික්‍රමසිංහ, චම්පික මානවඩු හා සුරාබුදු රියදුරු චමත් යන අය එක්වූහ.

කන්ටේනර් නිදහස්කිරීම ගැන තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනාවක්….

නිසි ක්‍රමවේදයකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන සොයාබලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් අදාළ යෝජනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

හිටපු ජනපති රනිල්ට එරෙහිව ඉහළ අධිකරණයක නඩු…..

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට මේ බව දැනුම් දුන්නේ, මෙම නඩුවට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෝසමක් මගින් කර තිබූ ඉල්ලීම අද සලකා බැලුණු අවස්ථාවේදීය.

කෙසේවෙතත් පැමිණිල්ල විසින් නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන බව අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් සිය සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස කර තිබූ ඉල්ලීම ඉවත්කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පියවර ගත්තේය.

මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩු විභාගය ඇරඹෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අයථා ලෙස වක්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව මර්වින් සිල්වා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ගොනුකිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබා ගත් බව සඳහන් කළේය.

එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් ඇය සඳහන් කර සිටියාය.

එහිදී විත්තිකරු සිය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කෙරුණු බවත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ විය.

2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට…..

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති බව වාර්තා වේ.

කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධිචෝදනා භාරදෙයි….

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු විය.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා  යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම චෝදනා භාරදී ඇත.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කර ඇත.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාරදීම සිදු කළේය.

ඉන් අනතුරුව ඔවුන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කර ඇත.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියෝග කළේය.

එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි 20 වනදා කැඳවීමට ද එහිදී නියෝග කෙරිණි.

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අයථා ලෙස වත්කම් හා දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩු ගොනු කර තිබෙන බව වාර්තා වේ.